අපගේ මුහුණුවල කීඩෑවන් වැහි වැහැලා

කීඩෑවන් (mite) යනු පියවි ඇසට නොපෙනෙන කෘමීන් වර්ගයකි. මෙම කෘමීන් සිය ගණනක්‌ අපගේ මුහුණුවල, ඇස්‌ බැමිවල, හා කන් කුහරවල ජීවත් වෙන බව කීවොත් ඔබ විශ්වාස නොකරනු ඒකාන්තය. එහෙත් කතාව ඇත්තය. මෙම කෘමි කතාව කියන්නේ අප නොවේ. සුප්‍රසිද්ධ විද්‍යාඥයන් පිරිසක්‌ විසිනි.

විද්‍යාඥයන් පිරිසක්‌ විසින් මෑතකදී කරන ලද සමීක්‍ෂණයකදී අපගේ මුහුණුවල අපට නොපෙනෙන පුංචි කෘමීන් සිය ගණනක්‌ ජීවත් වෙන බව සොයා ගෙන තිබේ. මෙම කෘමීන් ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන්නේ microscopic mite නොහොත් පියවි ඇසට නොපෙනෙන කෘමීන් ලෙසිනි.

පාද අටකින් යුත් මෙම කෘමීන් මකුළුවන්ගේ හැඩය ගන්නා බව මෙම විද්‍යාඥයන් කියා සිටිති. මෙම කෘමීන් අප ජීවත් වන තාක්‌ කල් අප සමග අපගේ මුහුණුවල රැඳී සිටින බවද ඔවුහු වැඩි දුරටත් මත පල කරති.

මෙම කෘමීන් කන්නේ බොන්නේ, මළ පහ කරන්නේ අනිත් සියලුම කටයුතු කරන්නේ අපගේ මුහුණු වල ජීවත් වෙමින් යෑයිද ඔවුහු වැඩි දුරටත් මත පළ කරති. අපගේ මුහුණුවල රැඳී සිටින මෙම කෘමින්ගෙන් අපට කිසිම හිරිහැරයක්‌, කරදරයක්‌ නොවන බවද මෙම විද්‍යාඥයන් වැඩි දුරටත් කියා සිටිති.

දැනට සොයා ගෙන ඇති තොරතුරු අනුව කෘමීන් වර්ග දෙකක්‌ අපගේ මුහුණුවල ජීවත් වෙන බව පෙනේ. මෙයින් එක්‌ කෘමීන් වර්ගයක්‌ හඳුන්වනු ලබන්නේ Demodex Folliculorum නමිනි. අනිත් කෘමීන් වර්ගය D. brevis නමින් හැඳින්වෙයි. මේ කෘමීන් දෙවර්ගයම මකුළුවන්ට හා කිනිතුල්ලන්ට නෑකම් කියන බව පෙනේ.

Demodex නමැති කෘමියාට කොට මහත පාද අටක්‌ ඇති අතර ඒවා පිහිටා ඇත්තේ උගේ හිස අද්දරය. පණුවෙක්‌ මෙන් උගේ ඇඟ දිගය.

මේ කෘමීන් දෙවර්ගයම ජීවත් වෙන්නෙ දෙතැනක බව විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ. Demodex නමැති කෘමියා අපගේ කෙස්‌ මුල ඇති කුඩා ග්‍රන්ථීන් හා කූපයන් අතර ජීවත් වෙන අතර D. brevis නමැති කෘමියා තෙල් සහිත ග්‍රන්ථීන් අතර ජීවත් වෙන බව සොයා ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම කෘමීන්ගෙන් වැඩි පිරිසක්‌ අපගේ මුහුණ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙන අතර ප්‍රජනන ඉන්ද්‍රියන් හා පයෝධර අසල ද ජීවත් වෙන බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

මිනිසාගේ උපතත් සමග මෙම කෘමීන් ඔහුගේ මුහුණට ආවාදැයි සොයා ගැනීමට විද්‍යාඥයන් තවමත් පර්යේෂණ පවත්වති. කෙසේ වෙතත් මෙම කෘමීන් මිනිසාගේ මුහුණට පැමිණ ඇත්තේ අනාදිමත් කාලයක සිට බව ඔවුහු සොයා ගෙන තිබේ. Demodex නමැති කෘමියා මිනිසා ආක්‍රමණය කර ඇත්තේ 1842 දී යෑයි ඔවුහු කියති.

උතුරු කැරොලිනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන මෙගාන් තියෝමියස්‌ සිය ගෝලයන් සමග කරන ලද සමීක්‍ෂණයකදී මිනිසුන් සියයට දාහතරකගේ මුහුණවල සිටින්නේ ඇසට පෙනෙන කෘමීන් යෑයි කියා සිටියි.

Demodex කෘමියකු බිත්තර දමද්දී තමන් එය කැමරාවට හසුකර ගත් බව කියන මහාචාර්ය තියෝමියස්‌ එය " යූ ටියුබ්" මගින් නැරඹිය හැකි යෑයිද කියා සිටියි. මෙම කෘමීන් විසින් පිට කරනු ලබන සියලුම ආපද්‍රව්‍යයන් පසු කලකදී බැක්‌ටීරියා බවට පත් වෙන බවද ඇය සඳහන් කරයි. සමහරු Rosacea නමැති රෝගයෙන් පෙළෙන්නේ Demodex. කෘමීන් මුහුණේ වැඩි වශයෙන් ගැවසෙන නිසා යෑයිද මහාචාර්ය තියෝමියස්‌ කියා සිටියි. මෙම Rosacea රෝගය වැළඳුන විට මුහුණේ ලේ නාල විශාල වී මුහුණට රෝස පැහැයක්‌ දෙන තත්ත්වයක්‌ උදා වන්නේ යෑයිද ඇය සඳහන් කරයි.

සමහරුන්ගේ මුහුණේ ලප කැළැල් සහ කුරුලෑ ඇති වෙන්නේද මෙහි ප්‍රතිඵලයක්‌ නිසා යෑයිද මහාචාර්යවරයා කියා සිටියි.

කෙනකු වයසට යැමත් සමගම සමේද වෙනසක්‌ ඇති වෙන බව කියන අයර්ලන්තයේ මේනුන් විශ්වවිද්‍යාලයේ කේවින් කවනාගා එය ඇති වෙන්නේ කාලගුණික තත්ත්වයන් නිසා යෑයිද එයට ශරීරයේ සිටින කෘමින්ගේ බලපෑමක්‌ ඇතැයිද සඳහන් කරයි. මුහුණෙහි උත්කෝෂණය (කැසීම) දැක්‌වෙන්නේ එහි සිටින කෘමින්ගේ අඩු වැඩි වීම නිසා යෑයි කියන කවනාගා කෘමීන් වැඩි වශයෙන් සිටින්නේ නම් මුහුණේ උත්කෝෂණය වැඩි වෙන බවද ඔහු කියා සිටියි.

කෘමීන් මිය යන විට උන්ගේ ශරීරය තුළ තිබෙන සියලුම අපද්‍රව්‍ය පහකරන බව කියන කවනාගා මෙම අපද්‍රව්‍යවල තිබෙන බැක්‌ටීරියා සහ ටොක්‌සින් නිසා මුහුණේ දැවිල්ලක්‌ හා උත්කෝෂණයක්‌ ඇති වෙන බවද සඳහන් කරයි. ඒඩ්ස්‌ සහ පිළිකා වැනි රෝගයන්ගෙන් පෙළෙන රෝගීන් ගැන සඳහන් කරන කවනාගා මෙවැනි රෝගීන්ගෙන් කෘමීන් ඉවත් වෙන බවද මත පලකර සිටියි. මෙම කෘමීන්ගෙන් මිනිසාට හානියක්‌ නොවන බවද කවනාගා වැඩිදුරටත් කියා සිටියි. අප කිසිවකු නොදැන සිටියත් කෘමීන් දහස්‌ ගණනකගේ වාසස්‌ථානය බවට පත් වී ඇත්තේ අපගේ මුහුණ සහ අනිත් අවයවයන් බවද කවනාගා සඳහන් කරයි. (අනුග්‍රහය BBC)

Ö ආතර් යූ. අමරසේන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.