ලෝකයේ වඩාත් භයානක පොත මයින් කම්ප්

අඩොල්ෆ් හිට්‌ලර්ගේ මගේ සටන යන අරුත ගෙනෙන මයින් කම්පෆ් සැලකෙන්නේ ලොව භයානක පොතක්‌ ලෙසටය. ජර්මනියෙ නාසි ආධිපත්‍යයේ මතවාදයේ කේන්ද්‍රීය කොටස බවට පත් වූ එය බයිබලය වෙනුවට හිලව් කිරීමට ඔවුන්ට උවමනා විය. මිලියන ගණන් මිනිසුන් මරා දැමුණේ මිලියන ගණන් මිනිසුන්ට හිංසා කෙරුණේ සහ සියලු ප්‍රදේශ යුද්ධයෙන් වසා ගත්තේ එම පොතේa ප්‍රතිඵලයක්‌ වශයෙනි.

මයින් කම්ප්ෆ් සම්බන්ධයෙන් ජර්මනියට ඇති ප්‍රකාශන අයිතිය මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වීමට නියමිතය. ඉන්පසු එයට කුමක්‌ වනු ඇත්දැයි බොහෝදෙනාගේ කතා බහට ලක්‌ වී තිබේ. බලධාරීන්ට තවදුරටත් එහි ප්‍රකාශනය සහ බෙදා හැරීම පාලනය කළ නොහැකි වූ විට ඕනෑම අයෙකුට ඔවුන්ගේ මයින් කම්ප්ෆ් සංස්‌කරණයක්‌ ජර්මනියේ ප්‍රකාශනයට පත් කිරීමේ හැකියාව ඇති වෙනු ඇත. එවිට පොතේ වගන්ති ඉවත් කරනු ඇතැයි බොහෝ දෙනා බිය පළ කරයි. වැරදි ලෙස වගන්ති අර්ථකථනය කිරීමේ අවදානමක්‌ද පවතී.

බීබීසී ගුවන්විදුලියේ මයින් කම්ප් පබ්ලිෂ් ඕ බර්න් වැඩසටහනේ අධ්‍යක්‌ෂක ජෝන් මර්ෆි පවසන ආකාරයට මයින් කම්ප්ෆ් නිබන්ධනය භයානක වගන්ති ඇතුළත් වන්නකි. ඔහු දක්‌වන ආකාරයට හිට්‌ලර්ගේ ඉතිහාසය ඔහුව අඩුවෙන් තක්‌සේරු කළ ඉතිහාසයකි. එසේම ජනතාව මෙම නිබන්ධනයද අඩුවෙන් තක්‌සේරු කර ඇත. මයින් කම්ප් වැරදිලෙස අර්ථකථනය කළ හැකි නිසා එය බරපතල දෙයක්‌ ලෙස සැලකීම අවශ්‍යය. හිට්‌ලර් මයින් කම්ප් ලියුවේ 1920 ගණන් වල වුණත් ඔහු එහි පවසන බොහොමයක්‌ දේවල් ඉදිරියට කරගෙන ගියේය. එම කාලයේ ජනතාව වැඩිපුර සැලකිල්ලක්‌ එම නිබන්ධනයට දැක්‌වූවා නම් ඔවුන්ට එහි ඇති භයානක බව තේරුම් ගැනීමට හැකියාව තිබුණි.

අඩක්‌ නිබන්ධනයක්‌ වන අඩක්‌ ප්‍රචාරක කටයුත්තක්‌ වන මයින් කම්ප් වැල්වටාරම් දොඩවන දිගින් දිගට යන හෑල්ලක්‌ වැනිය. හිට්‌ලර් එය ලියන්නට පටන් ගත්තේ සිර දඬුවම් විඳිමින් සිටින විටදීය. ඔහුට සිරදඬුවම් විඳින්නට සිදු වූයේ 1923 දි බලය අල්ලා ගැනීමට කළ කුමන්ත්‍රණයක්‌ අසාර්ථක වීම හෙAතුවෙනි. සිරගෙය තුල හිට්‌ලර් දිගින් දිගටම ලිවීමේ නිරත වන විට එය වෙලුම් දෙකක කාර්යයක්‌ බව තේරුම් ගෙන සිටියේය. මයින් කම්ප්ෆ් පළමු වෙලුqම 1925 දිත් දෙවන වෙලුම 1926 දිත් ප්‍රකාශනයට පත් කෙරුණි. නිබන්ධනයේ සංස්‌කරණය සිදුවූයේ හිට්‌ලර් ගේ දෙවනියා රුඩොල්a හෙස්‌ අතිනි. දශකයකට පසුව හිට්‌ලර් බලයට පැමිණි පසු ඔහුගේ නිබන්ධනය ඉතා ප්‍රධාන නාසි පෙළ පොතක්‌ බවට පත් විය. මයින් කම්ප් පිටපත් මිලියන ගණනින් මුද්‍රණය කළ අතර රජය මඟින් අලුතින් විවාහ වූ යුවල වලට එය ලබාදීම කෙරුණි.

දෙවන ලෝක යුද්ධය අවසානයේ එක්‌සත් ජනපද හමුදාව නාසින්ගේ ප්‍රකාශකයා වූ ඒහර් ෆ්ලාග් අල්ලා ගත් පසුව මයින් කම්ප් වෙනුවෙන් ඇති අයිතිය බවේරියන් අධිකාරින් වෙතට මාරු විය. විශේෂ කාරණාවක්‌ මත ජර්මනියේ පමණක්‌ මයින් කම්ප් නැවත මුද්‍රණය කිරීමට ඔවුන් වගබලාගෙන තිබුණි. එය සම්බන්ධයෙන් බවේරියන් අධිකාරින්ගේ පාලනය 2015 දෙසැම්බර් මාසයෙන් පසුව නිමා වේ. ඇතැමුන් ප්‍රශ්න කරන්නේ මයින් කම්ප් ප්‍රකාශනයට පත් කිරීමට කාටවත් උවමනාද යන්නයි. නිව්යෝක්‌ සඟරාවට අනුව මයින් කම්ප් පුරසාරම්, තේරුම් ගැනීමට අපහසු වගන්ති, ඓතිහාසික සුළු තොරතුරු සහ පැටලුණු මතවාද වලින් පිරුණකි. සඟරාව දක්‌වන්නේ නව නාසින් සහ වැදගත් ඉතිහාසඥයින් යන දෙගොල්ලම එය මඟහැරීමට නැඹුරුවක්‌ දක්‌වන බවයි. එසේ නමුත් මයින් කම්ප් ඉන්දියාවේ නම් ජනප්‍රිය වී තිබේ. හින්දු දේශපාලඥයින් එයට වැඩි කැමැත්තක්‌ දක්‌වයි. එය සැලකෙන්නේ බොහෝ සුවිශේෂ ස්‌වයං උපකාර පොතක්‌ ලෙස බව මැන්චෙස්‌ටර් සරසවියේ දේශකයෙකු වන අට්‌රායී සෙන් පවසයි. සැමිටික්‌වාදයට එරෙහි මූලද්‍රව්‍ය ඉවත් කළ විට මයින් කම්ප් ලෝකය ජය ගැනීමට සිහින දුටු සහ ඒ සඳහා කටයුතු කළ සිරගෙයි විසූ කුඩා මිනිසෙකු පිළිබඳ කතාවකි.

ප්‍රකාශන අයිතිය ඉක්‌මවූ පසු මියුනික්‌ නුවර සමකාලීන ඉතිහාසය සඳහා ආයතනය මයින් කම්ප්හි අලුත් මුද්‍රණයක්‌ ගෙන ඒමට අදහස්‌ කර ඇත. එහිදී මුල් පෙළපොත සමඟ අඩුපාඩු සහ සත්‍යය විකෘති කිරීම් පෙන්වාදෙන විස්‌තර ප්‍රකාශයක්‌ ඇතුළත් කිරීමටද නියමිතය. නාසින් නිසා කරදර වලට මුහුණ පෑ සමහරුන් එවැනි මුද්‍රණයකට එරෙහිව සිටී. සමූලඝාතනයෙන් නොමැරී ඉතිරිව සිටින අයගේ විවේචන නිසා බවේරියන් රජයද එම ආයතනයට සහයෝගය දැක්‌වීමෙන් වැළකී සිටී. රජය සැලසුම් කර තිබෙන්නේ ප්‍රකාශන හිමිකම ඉකුත් වූ පසුව නිබන්ධනය සම්බන්ධ කාරණා වලදි ජාතිවාදි වෛරය පෙළඹවීමට එරෙහි නීතිය යොදා ගනිමින් දඬුවම් කිරීමටය. අපේ දෘෂ්ටිකෝණයෙන් හිට්‌ලර්ගේ මතවාදය පෙළඹවීමේ අර්ථ දැක්‌වීමකට සමාන වුණත් එය වැරදි පුද්ගලයා අත ඇති විට භයානක පොතක්‌ බව බවේරියන් අධ්‍යාපන සහ සංස්‌කෘතික අමාත්‍යාංශයේ නියෝජිත ලුඩ්විග් උන්ගර් පවසයි. කෙසේ වෙතත් ලෝක ව්‍යාප්තව මයින් කම්ප් තහනම් කිරීම නම් කළ නොහැකි දෙයක්‌ බව ජෝන් මර්ෆි අඟවයි. බවේරියන් අධිකාර§ය විරුද්ධව නැඟී සිටියත් එයින් නූතන ලෝකයේ මිනිසුන් මයින් කම්ප් පරිශීලනය කිරීම වැළැක්‌වීම කළ නොහැකි වනු ඇත.

නිල්මිණි රාජපක්‍ෂ රදලගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.