ඔබේ හිසට අලුත් කයක්‌ !

ඉතාලි ජාතික ස්‌නායු ශල්‍ය වෛද්‍ය සර්ජො කනවේරො ව විවේචනය කරන අය ඔහුව හඳුන්වන්නේ ෆ්රැන්කන්ස්‌ටයින් යන නමිනුයි. ඒ ඔහු ලොව පළමු වරට මිනිස්‌ හිසක්‌ බද්ධ කිරීමේ කටයුත්තකට සූදානම් වෙමින් සිටින නිසාය. එයට මුහුණ දීම සඳහා ස්‌වේච්ඡාවෙන් ඉදිරිපත් වූවෙකුද ඔහුට සිටී. ඒ තිස්‌ හැවිරිදි රුසියානු ජාතික පරිගණක විද්‍යාඥයකු වන වැලරි ස්‌පිරිදොනොව්ය. රෝද පුටුවකට බැඳී සිටින ස්‌පිරිදොනොව් භයානක මාංශපේශී දුර්වලවීමේ රෝගයකින් පීඩා විඳිමින් සිටින්නෙකි. දොස්‌තර කනවේරො දක්‌වන ආකාරයට ස්‌පිරිදොනොව්ගේ හිස අලුතින් මිය ගිය දානදායක සිරුරකට බද්ධ කිරීමට ගතවන්නේ පැයකටත් අඩු කාලයකි. නමුත් සම්පූර්ණ සැත්කම සඳහා මුළු දවසම ගතවිය හැකිය.

ජුනි 12 දින මෙම බද්ධ කිරීමේ ක්‍රියාපිළිවෙළේ සියලුම තාක්‌ෂණික විශේෂත්වයන් පිළිබඳව එක්‌සත් ජනපදයේ ස්‌නායුවේදීය සහ විකලාංග ශල්‍යවෛද්‍යවරුන්ගේ ඇමෙරිකානු ඇකඩමියට කරුණු දක්‌වන දොස්‌තර කනවේරො විද්‍යාත්මක සමාජයේ අනුබලය බලාපොරොත්තුවෙන් සිටින්නේaය. ඔවුන්ගේ යහපත් ප්‍රතිචාර මත දොස්‌තර කනවේරොගේ සැලසුමට අනුව සියල්ල ඉටුවුණොත් සැත්කම 2017 වසරේ සිදුවනු ඇත.

එහි සාර්ථකත්වයේ තේරුම වන්නේ කුමන හේතුවක්‌ නිසා හෝ ශරීරය අකර්මණ්‍ය වන අයට තම හිස වෙනත් සිරුරකට බද්ධ කරගෙන ජීවිතය ගෙනයාමේ හැකියාව ලැබෙනවා යන්නයි.

මිනිස්‌ හිසක්‌ බද්ධ කිරීමට සැරසෙන පළමු වැන්නා දොස්‌තර කනවේරො වුණත් ඔහු හිස්‌ බද්ධ කිරීමේ පළමු වැන්නා නොවේ. පළමු හිස්‌ බද්ධ කිරීම කළේ 1954 සෝවියට්‌ ශල්‍ය වෛද්‍ය ව්ලැදීමීර් දෙමිකොව් විසිනි. ඔහු විශාල බල්ලෙකුගේ සිරුරකට බලු පැටවෙකුගේ හිසක්‌ බද්ධ කළේය. ඔහු බල්ලන් යොදා ගනිමින් තවදුරටත් සැත්කම් කීපයක්‌ම කළ මුත් ඒ සෑම අවස්‌ථාවකම බල්ලන් වැඩිම වශයෙන් දින 6 කට වඩා ජීවත් නොවීය. 1970 ඇමෙරිකානු ශල්‍ය වෛද්‍ය රොබට්‌ වයිට්‌ගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායමක්‌ වඳුරන් දෙදෙනකු යොදා ගනිමින් හිස්‌ බද්ධ කිරීමක්‌ කළේය. එහිදී කශේරු දාම යා කිරීමට වෑයම් නොකිරීම නිසා වඳුරාට බෙල්ලෙන් පහළ සිරුර සෙලවීමට නොහැකි විය. ඌ ආශ්වාස ප්‍රශ්වාස කළේ කෘත්‍රිම ආධාරකයකිනි. වඳුරාට ඇසීමේ, ඉව ඇල්ලීමේ, රස විඳීමේ සහ ඇස්‌දෙකෙන් යමක්‌ ලුහුබැඳීමේ හැකියාව විය. නමුත් උගේ ප්‍රතිශක්‌ති පද්ධතිය මඟින් හිස ප්‍රතික්‌ෂේප කිරීම නිසා දින 9කට පසු ඌ මිය ගියේය. ඊට පසුද සතුන් යොදා ගනිමින් හිස්‌ බද්ධ කිරීමේ සැත්කම් බොහොමයක්‌ ලොව සිදු කර තිබේ.

පැහැදිලි ලෙස පෙනෙන අවදානම නොසලකා ආබාධිත පුද්ගලයකුට අලුත් කයක්‌ ලබා දීම නිවැරදි දෙයක්‌ බව දොස්‌තර කනවේරො පවසා සිටී. ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක්‌ වැයවන බද්ධ කිරීමේ සැත්කම පෙරළිකාර ක්‍රියාවක්‌ සේම සාර්ථක වූවහොත් වෛද්‍ය ඉතිහාසයේ විශාල ජයග්‍රහණයකි. එයින් නිසැකවම මොස්‌කව් නුවර පරිගණක විද්‍යාඥයාට අලුත් ජීවිතයක්‌ ලැබෙන්නේය. එසේම ධනවතුන්ට තරුණ කයකින් සදාකාලික බව ලබන්නට මාර්ගයක්‌ විවෘත වන්නේය. දැනට නම් ප්‍රවීණයන් දකින්නේ දොස්‌තර කනවේරො ගෙ සැලැස්‌ම අපූරු සිහිනයක්‌ ලෙසටය. මොස්‌කව් නුවර එක්‌තරා ඉහළ ශල්‍ය වෛද්‍යවරයකු දොස්‌තර කනවේරොගෙ හිස්‌ බද්ධ කිරීමේ සැලැස්‌ම ඔළමොට්‌ටල දෙයක්‌ ලෙස පහත හෙළා තිබුණි. ඔහු පවසන්නේ දොස්‌තර කනවේරො එවැනි සංකීර්ණ සැත්කමක්‌ කිරීමට සූදානම් වී නැති බවයි.

දොස්‌තර කනවේරො නම් තමාගෙ සැලැස්‌ම සාර්ථක වන බව තදින් විශ්වාස කරයි. පිටත ලෝකය තමා ගැන සිතන ආකාරය ගැන ඔහු කරදර නොවේ. ෆ්රැන්කන්ස්‌ටයින් වැනි ඔහුට පටබඳින විකට නම් ඔහු දකින්නේ විනෝදයක්‌ ලෙසටය.

නිල්මිණි රාජපක්‍ෂ රදලගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.