රුවළ ඉරා තැනුව ඇඳුම
ඩෙනිමේ විකාශය සහ විලාසිතාව

විලි වසා ගැනීමේ අවශ්‍යතාවය ඇති එකම සත්වයා වන්නේ මිනිසාය. පරිණාමය විසින් අපිට දායද කළ විලි බිය නැමති ගුණාංගය මිනිසා ඇඟලුම් කෙරෙහි යොමු වීමට බලපෑ මූලික හේතුව විය. එහෙත් දැන් එකී විලි වහගන්නට පමණක්‌ ඇඟලුම් භාවිතා කල යුගය අවසන් වී බොහෝ කල් ගත වී ඇත. ශත වර්ෂ ගණනාවක සිටම කතුනගේ රුව ඔප දමන්නට, පිරිමින්ගේ පෞරුෂය විදහා දැක්‌වීමට, තරාතිරම් අනුව අනන්‍යතාවයක්‌ ගොඩනගා ගැනීමට මෙන්ම තව බොහෝ අරමුණු ඇතිව ඇඟලුම් භාවිතා කරනු ලබයි. විලි වසා ගැනීමට භාවිතයට ගත් ඇඟලුම් අද දින කලාවක්‌ බවට පත්ව ඇත.

මෙකී ඇඟලුම් කලාව දැන් හඳුන්වනු ලබන්නේ විලාසිතා නමිනි. කාලයෙන් කාලයට දේශයෙන් දේශයට සංස්‌කෘතියෙන් සංස්‌කෘතියට විලාසිතාවන් වෙනස්‌ මුහුණුවරවල් ගන්නා අතරම එය නිරතුරුව වෙනස්‌ වීම් වලට බඳුන් වන්නකි. එකක්‌ පරයා එකක්‌ ලෙසින් නැග එන විලාසිතා අතර ආරම්භයේ සිටම තම ස්‌ථානය නිසි ලෙසම රැක ගෙන සිටින අරුම පුදුම විලාසිතාවක්‌ ලෙස ඩෙනිම් ඤ [ Denim] ඇඟලුම් හැඳින්විය හැකිය. සියලු සමාජ තල අතර සියලු දේශයන්හි සැරිසරන මේ පෙරලිකාර විලාසිතාව පිළිබඳ ඉතිහාස කතාවන් රාශියක්‌ම වේ.

අධිරාජ්‍යයන්ගේ අනුදැනුම ඇතිව නව ලෝකය සොයා ඇරඹුණු යුරෝපීය නාවිකයන්ගේ ගමනාගමනය, දාහත් වන සියවස වනවිටදී විශාල ලෙස දියුණු වී පැවතිනි. නමුත් ඉතාලියේ හය වන විශාලම නගරය වන ජිනෝආ [Genoa] හි නාවිකයන් තම යාත්‍රාවන්හි රුවල ලෙස යොදා ගැනුම පිණිස වඩාත් හොඳ විකල්පයන් කෙරෙහි උනන්දුවෙන් සිටියේය. ඔවුන් විසින් Ôkaia [Jeans] නම් රෙද්දක්‌ ඒ සඳහා යොදා ගත් බව කියවේ. එයම තවත් නූල් වර්ග කිහිපයක එකතුවෙන් පසු කාලයේදී එය ඩෙනිම් පිළිය ලෙස විකාශනය වූ බව සැලකේ. සුළඟ සමඟ පොර බදිමින් යුරෝපීය කරදියෙහි පාවෙමින් තිබූ සුදු පැහැති ඩෙනිම් රෙද්ද ඇඟලුමක්‌ බවට පත් වීමේදී එයට ඒ සඳහාම අවේනික වූ ඉන්ඩිගෝ නිල් පැහැය පොවා ඇත්තේ භාවිතයට ගැනීමේදී සුදු වර්ණය නිබඳවම අව පැහැ ගන්නා බැවිනි. පසුව යුරෝපය පමණක්‌ නොව ඇමරිකාව හා ඈත පෙරදිග දක්‌වාම ඩෙනිම් ව්‍යාප්ත විය.

දකුණු ප්‍රංශයේ නිම්ස්‌ [Nimse] ගම්මානයේ ඇන්ඩ් [ Andre Family] පවුලේ සාමාජිකයන් විසින් මුලින්ම ඩෙනිම් පිළි නිපදවූ බවටද තවත් මතයක්‌ ඇත. එය සර් ඩි නිම්ස්‌ [ Serge de Nimes] ලෙස හඳුන්වනු ලැබූ අතර එය උච්ච්චාරණයට පහසු ලෙස ඩෙනිම් බවට පත් විය. සුව පහසු, දිගු කලක්‌ භාවිතා කල හැකි, විවිධ කාලගුණ තත්ත්ව යටතේ වුවත් සිරුර විඩාබර නොකරන ඩෙනිම් ඇඟලුමේ ආරම්භය පිලිබඳ බොහෝ දෙනෙක්‌ පිලිගනු ලබනුයේ එහි ප්‍රංශ උපතයි. මේ අතරම පෙරකී එහි තිබෙන වාසි දායක තත්ත්වයන් නිසාම ඇමරිකා එක්‌සත් ජනපදයේ , බොහෝ ජනපදවල වෙසෙන පතල් කම්කරුවන් හා ගොපලු ප්‍රජාව අතරද ඩෙනිම් සීග්‍රයෙන් ව්‍යාප්ත වූයේය. රළු පාවිච්චිය හා තම රැකියාවන් සඳහා මනා ලෙස යෝග්‍යය වීම මෙයට ඇති ඉල්ලුම ඉහල යාමට හේතූ වී තිබුණි. විශේෂයෙන්ම ගොපලු කොලුවන්ගේ [Cow boys] පාරාදීසයක්‌ බඳු ටෙක්‌සාස්‌හි , ජනපදික ගොපල්ලන්ගේ නිල නොලත් නිල ඇඳුම බවට පත්ව තිබුණේද ඩෙනිම් පිළියෙන් මැසූ ඇඟලුම්ය .

බැවේරියාවේ ඉපදී කැලිෆොaර්නියාවේ තම ව්‍යාපාර පවත්වාගෙන ගිය ලෙවී ස්‌ට්‌රාවුස්‌ [Levi Strarus] ඩෙනිම හා සම්බන්ධ වූයේ මේ අතරය. එය ඩෙනිමෙහි ඉරණම විප්ලවීය වෙනසකට මුල පිරුණු කරුණ විය. ඔහු හා එක්‌වුණු ජාකොබ් ඩේවිස්‌ [Jacob Davis] සන්නාලියා එම විප්ලවීය වෙනසට මහඟු ජවයක්‌ එන්නත් කළේය. ඔවුන් විසින් ලෙවි ස්‌ට්‍රාවුස්‌ර් නම් සන්නාමය යටතේ ඩෙනිම් ජීන්ස්‌ නිපදවීම ආරම්භ කළේය. එදා සිටම ඩෙනිම් රෙද්දේ හොඳම හා ජනප්‍රියතම හැඩය වූයේ ඩෙනිම් ජීන්ස්‌ හෙවත් ලෙවීගේ ඩෙනිම් කලිසමයි. දිගු කාලයක්‌ පුරා තම ඩෙනිම් ආධිපත්‍යය රැක ගෙන සිටීමට ලෙවීට හැකියාවක්‌ ලැබුණි. පියවරින් පියවර ඇඟලුම් ලොව අතික්‍රමණය කල මෙය, ඩෙනිම් උමතුව වැළඳුණු හොලිවුඩ් තාරකාවන් නිසාවෙන් ලොව දසත පැතිරී ඇති ඔවුන්ගේ රසික ප්‍රජාව වෙත සමාජ ගත වීමේ වේගය වැඩි විය. එය එකම හේතුව නොවුනත් ඩෙනිම සමාජ ගත වීමට තරාකවන්ගේ ඩෙනිම් භාවිතය ඉතා වැදගත් හේතුවක්‌ විය. මෙසේ ඩෙනිම් විලාසිතාවට පෙම් බැදි හොලිවුඩ් ලොව සුපතල තරු අතරින් .රිබල් විතවුට්‌ අ කේස්‌' [Rebel without a cause] හි කැරළිකාරයා ෙ-ම්ස්‌ ඩීන් [James Dean] , සිනමාවේ ගෝඩ් ෆාදර්, මාලන් බ්‍රෑන්ඩෝ [Marlon Brando] වැන්නන් ප්‍රමුඛ වේ. විවිධ වෙළඳ නම් හරහා වෙළඳ පොළ සිසාරා අත්පත් කර ගත් ඩෙනිමේ නව ප්‍රවණතා වේගයෙන් සමාජ ගත වීමට ජනමාධ්‍යද දක්‌වා ඇත්තේ විශාල අනුග්‍රහයකි.

යුරෝපයේ උසස්‌ ඩෙනිම් නිෂ්පාදන ආයතන වන ලෙවිස්‌ [Levis] , ගැප් [Gap] , ලී [Lee] , ඩීසල් වැනි සමාගම් වර්තමානයේ ලොව ඉදිරිපෙළ ඩෙනිම් සන්නාමයන් ලෙස පාරිභෝගිකයන් වැඩි පිරිසක්‌ හා ගනු දෙනු කරයි. නිම්ස්‌ ගම්මානයේ උපන් ඩෙනිම් රෙද්ද අද වන විට විවිධ අත්හදා බැලීම් හා පර්යේෂණ තුළින් තම නිමාව, විලාසිතා හා ගුණත්වය වැඩි දියුණු කරගෙන ඇත. වොෂ් ඩෙනිම්, ස්‌ට්‌රෙච් ඩෙනිම් ආදි විවිධ මාදිලියෙන් විවිධ වෙස්‌ ගෙන ඇත්තේ එම පර්යේෂණ වල ප්‍රතිඵලයක්‌ ලෙසිනි. නිල්, කලු, අලු, දුඹුරු සහ සුදු වර්ණවලින් යුත් ඩෙනිම් භාවිතයේ ඉහළ ප්‍රවණතාවයක්‌ මුල් කාලයේ තිබුණද මේ වන විට නොයෙක්‌ වර්ණ වලින් යුත් ඩෙනිම් තරුණයන් අතර පමණක්‌ නොව තරුණියන් අතරද ජනප්‍රියව ඇත. කෙමෙන් කෙමෙන් ඩෙනිම් ජීන්ස්‌ එකෙන් ඇඟලුම් ලොව ස්‌ථාවර වූ ඩෙනිම් රෙද්ද ඩෙනිම් ජැකට්‌, ඩෙනිම් කෙටි කලිසම්. ගවුම්, සායවල්, කාන්තා අත් බෑග්, මුදල් පසුම්බි මෙන්ම ඇතැම් ආභරණ සහ පාවහන් සඳහා වර්තමානයේදී භාවිතා කෙරේ. කිටි කිටියේ යොවුන් දෙපා හා නිතඹ අරා සිටින ඩෙනිම් කලිසම , ලොව බොහෝ දෑස්‌ දැකීමට වඩාත් ප්‍රිය කරන දසුන් අතරින් එකක්‌ බවට අද දින වන විට පත්ව ඇත.

ප්‍රවීණ සේනාධීර
වීණාවී සුලක්‌ඛනා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.