පෝලියෝ නැවතත්...?
මුඛ එන්නතට පෙන්ෂන්

පිකොර්නා වෛරස පවුලට අයත් පෝලියෝ රෝග වෛරසය රෝගියාගේ කැස්‌ස සහ මළපහ මගින් පරිසරයට එක්‌වෙනවා. අපිරිසිදු ආහාරපාන, හා ශ්වසන වායු හරහා පෝලියෝ රෝග කාරකයන්ගෙන් පුද්ගලයන් ආසාදිත වෙනවා. වෛරසයෙන් පුද්ගලයෙක්‌ ආසාදිත වුණත් 95% ක්‌ පමණ දෙනා රෝග ලක්‌ෂණ පෙන්වන්නේ නැහැ. නමුත් 5% ක්‌ පමණ දෙනා රෝග ලක්‌ෂණ පෙන්නුම් කරනවා. මෙම වයිරස ආසාදනයෙන් දින දහයක්‌ පමණ ගත වුණාම රෝග ලක්‌ෂණ මතු වෙනවා.

පෝලියෝ රෝගය මුලින්ම හඳුනා ගත්තේ 1840 වසරේ ඡේකබ් හෙයින්. 1908 වසරේදී කාල් ලෑන්ඩ්ස්‌ට විසින් මෙම රෝග කාරක වෛරසය හඳුනා ගත්තා. පෝලියෝ රෝගයෙන් කුඩා දරුවන් විශාල වශයෙන් අබ්බගාත තත්වයට පත් වුණ අතර ඇමරිකා එක්‌සත් ජනපදයේ 20 වන ශතවර්ෂයේ පැවැති භයානකම රෝගය ලෙස පෝලියෝ රෝගය බව වාර්තා වෙනවා. ජොනාස්‌ සෝල්ක්‌ නිව්යෝක්‌ විශ්වවිද්‍යාලයේ ක්‌ෂුද්‍රජීවි පිළිබඳ උපාධිය ලැබීමෙන් අනතුරුව ඉන්ෆ්ලුවන්සාව වෙනුවෙන් එන්නතක්‌ සොයා ගනු ලැබීමෙන් පසුව ඔහු පිට්‌ස්‌බර්ග් විශ්වවිද්‍යාලයේදී වෛරස පිළිබඳව පර්යේෂණයන් ආරම්භ කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක්‌ ලෙසින් 1952 වසරේ ජොනාස්‌ සෝල්ක සහ 1962 වසරේ ඇල්බට්‌ සැබින් විසින් ලෝකයට හඳුන්වා දෙන ලද ප්‍රතිශක්‌තිය නිසා පෝලියෝ රෝග තත්ත්වය වළක්‌වා ගැනීමේ හැකියාව ලෝකයාට ඇති වුණා.

මේ අතර පෝලියෝ රෝගය වෙනුවෙන් මුඛ එන්නත වෙනුවට කෘතිම රසායනික භාවිතයෙන් නව එන්නතක්‌ නිපදවීමට ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක්‌ ඉදිරිපත්ව සිටිනවා. ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේව් ස්‌ටුවර්ට්‌ සඳහන් කරන අන්දමට දැනට පකිස්‌ථානයෙන් රෝගීන් 350 වාර්තාව වෙනුවෙන් මුඛ එන්නත චෝදනා ලබන අතර නව එන්නත මගින් ඉදිරියේදී පෝලියෝ මුලිනුපුටා දැමීමේ හැකියාව ඇති වෙන බවයි. මෙම එන්නත වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ බිල් අන්ඩ් ගේට්‌ස්‌ මෙලින්ඩ් ගේට්‌ස්‌ පදනම ඇමරිකානු ඩොලර් 674,000 ක මුදල් පරිත්‍යාග ලෙස ලබා දී ඇත. මෙම එන්නතේ ප්‍රගතිය පිළිබඳව කැලිෆොaනියාවේ සැන් ජෝස්‌ හි පැවැති වෛද්‍ය පර්යේෂණ ප්‍රගතිය පිළිබඳ ඇමරිකානු සම්මේලනයේදී ඉදිරිපත් කර ඇත.

1910 වසර වන විට පෝලියෝ රෝගය ලොව පුරා ව්‍යාප්ත වෙන්නට පටන් ගත්තා. මේ නිසා පෝලියෝ රෝගයට එරෙහිව ප්‍රතිශක්‌තිකරණය වෙනුවෙන් ලෝකයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ උනන්දුව ගොඩනැගෙන්න පටන් ගත්තා. ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර රොටි සංගමය පෝලියෝ රෝගය පිටු දකින්න විශාල මෙහෙවරක්‌ ඉටු කරනු ලැබුවා.

2014 වසරේ පකිස්‌තානයෙන් පෝලියෝ රෝගින් 306 දෙනෙක්‌ හමුවීම නිසා නැවත ප්‍රතිශක්‌තිකරණ කටයුතු වේගවත්ව සිදු කිරීමට කටයුතු සංවිධානය කරනු ලැබුවා. නමුත් පකිස්‌තානයේ මව්පියන් අතරින් 471 දෙනෙක්‌ තම දරුවන්ට පෝලියෝ එන්නත ලබා දීම ප්‍රතික්‍ෂේප කරනු ලැබුවා. මහජන ආරක්‌ෂාවට එරෙහිව කටයුතු කිරීම නිසා මෙම මව්පියන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඔවුන් බන්ධනාගාරගත කරනු ලැබුවා. දරුවන් වෙනුවෙන් පෝලියෝ එන්නත ලබා දීමට විරුද්ධත්වයක්‌ නැතැයි වූ ලිත ලියවිල්ලක්‌ ඉදිරිපත් කරන තෙක්‌ මෙම මව්පියන් නිදහස්‌ නොකරන්න තරම් පකිස්‌තාන රජය දැඩි පියවරක්‌ ගෙන තිබෙනවා.

මේ අතර දැනට ලබා දෙන පෝලියෝ මුඛ එන්නත අවස්‌ථා පහකදී ලබා දෙනවා. මාස 2-4-6-18 සහ අවසාන අවස්‌ථාව ලෙස අවුරුදු පහ සම්පූර්ණ වෙන අවස්‌ථාවේදී මෙම මුඛ එන්නත ලබා දෙනවා. නමුත් දැනටමත් පකිස්‌ථානය, නයිජීරියාව, ඇෆ්ගනිස්‌ථානය සහ නයිජීරියාව වැනි රටවල්වලින් පෝලියෝ රෝගීන් වාර්තාවීම නිසා නික්‌ෂේපන එන්නතක්‌ හඳුන්වා දීමට ලොව පුරා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පර්යේෂකයන් උනන්දු වුණා. මේ අනුව ලබා දෙන නික්‌ෂේපන එන්නත දෙවැනි මාත්‍රාව සමග ලබා දීමට දැන් පියවර ගෙන තිබෙනවා. මේ අනුව 2018 වසර වෙන විට පෝලියෝ රෝගය මුලිනුපුටා දැමීමට හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්‌ෂා කරනවා.

පුන්‍යා චාන්දනි ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.