සස්‌වාමිකද අස්‌වාමිකද දැනගත හැකි කේෂාලංකාරය

අප්‍රිකාවේ උතුරු නැම්බියාව ප්‍රදේශයේ වෙසෙන "හිම්බා" ගෝත්‍රිකයන්ගේ ගහනය 50,000 ක්‌ පමණ වෙනවා. මේ අයගෙන් වැඩි සංඛ්‍යාවක්‌ වාසය කරන්නේ "බොට්‌ස්‌වානා" ප්‍රදේශයේය. ගව සහ එළුවන් පාලනය ඔවුන්ගේ ප්‍රධාන ආර්ථිsක කටයුත්ත විදිහට සැලකෙනවා.

කාන්තාවන් තමන්ගේ දරුවන් රැක බලා ගැනීමේ සම්ප්‍රදායික කටයුත්තට අමතරව දර දිය ඇදීම, ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා.

හිම්බා කාන්තාවන් ඇඳුම් අඳින්නේ ඉතා අඩුවෙන්. නමුත් හිරු එළියෙන් ආරක්‌ෂාව ලැබීම වෙනුවෙන් බටර් සහ මැටි ආලේප කරනවා. මේ සඳහා රතුපාට මැටි යොදා ගන්නා අතර ඒවා සිරුරේ පැහැයෙන් යුක්‌තයි. අලංකාර ප්‍රිය කරන කාන්තාවන් ඖෂධ පැළෑටි මගින් සුගන්ධයන් සකසා ගන්නවා. ගැහැනු සහ පිරිමින්ගේ ගොමස්‌කඩ බවට පත් ඇඳුම් අඳින අතර උඩුකය නිරාවරණයි. කාන්තාවන් ආභරණ වෙනුවෙන් ප්‍රියතාවන් දක්‌වනවා.

කුඩා පිරිමි දරුවන් බාල කාලයේදී හිස මුඩු කොට තබන අතර වැඩිහිටි වෙත්ම කොණ්‌ඩය එක්‌ කරලක්‌ ලෙස ගොතනවා. තලප්පාව පිරිමින්ගේ අනන්‍යතාවක්‌. ඔවුන් ජීවිත කාලයටම තලප්පාව හිස දරන අතර අවමංගල්‍යයක්‌ වෙනුවෙන් සහභාගි වෙන විට මෙම තලප්පාව ගලවා තබන්න තරම් විනය ගරුකයි. විවාහයට පත් පිරිමියකුගේ හිස තලප්පාව නැත්නම් එයින් අදහස්‌ වෙන්නේ ඔහුගේ බිරිඳ මියගිය බවයි.

පිරිමියකු හෙවත් පවුලේ ප්‍රධානියා මියගියවිට ගොවිපොළ සතුන්ගේ අයිතිය ලැබෙන්නේ බිර්ගේ සහෝදරයාට මිස පිරිමි දරුවන්ට නොවේ.

ගැහැනු දරුවන් කොණ්‌ඩය කරල් දෙකකට ගොතන අතර එය තීරණය වෙන්නේ පිය පාර්ශ්වයේ කුලය අනුවයි. කොණ්‌ඩය එක්‌ කරලක්‌ නම් එයින් අදහස්‌ වෙන්නේ නිවුන් සහෝදරියක්‌ සිටින බවයි.

මල්වර වූ දැරියන්ගේ කොණ්‌ඩ මෝස්‌තරය සඳහා බටර් එළු ලොම් සමග ගුරු පාට පස්‌ යොදා ගන්නවා. මෙම මෝස්‌තරය කල් තබා ගැනීමට ඔවුන් ප්‍රවේසම් වෙනවා. නිදා ගන්නෙත් ලෑලි මත. තරුණියක්‌ විවාහකද, අවිවාහකද බව මේ හිස කෙස්‌ මෝස්‌තරයෙන් දැන ගත හැකිය. විවාහයෙන් වසරකට පසුව හෝ ප්‍රථම දරුවා ලැබීමත් සමග කාන්තාවන්ගේ හිස පළඳනාවට අතිරේකයක්‌ ලෙසින් සත්ව හම්කඩක්‌ එක්‌ කරනු ලබනවා.

හිම්බා ගෝත්‍රිකයන් ගින්දර දේවත්වයෙන් සලකනවා. මුකුරු දෙවියන් වෙනුවෙන් ගිනි දෙවියන් පුදමින් ආශීර්වාදයන් ප්‍රාර්ථනා කරනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.