ජාතික ආණ්‌ඩුවක්‌ අවශ්‍ය ඇයි?

කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක අවශ්‍යතාවය පිළිබඳව සමාජමය කථිකාවතක්‌ මේ වන විට ගොඩනැගෙමින් පවතී. 20 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට නොඅඩු බහුතරයකින් සම්මත කරලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජනාධිපතිතුමන් කටයුතු කරනු ඇතැයි බොහෝ ජන කොටස්‌ තුළ පවතින විශ්වාසය වේ.

වර්තමාන ජනාධිපතිතුමන් ජනපති නිලවරණයට පිවිසෙන ආරම්භක අවස්‌ථාවේදී ඉදිරිපත් කරන ලද "100 දිනකින් අලුත් රටක්‌ හදන දින පොත" මගින් දින සියයක්‌ තුළ වැඩ සියයක්‌ නිම කරන ආකාරය විස්‌තර කරයි. එතුමන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් වහාම පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක තුමන් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරලීමටත් පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්‍ෂ වල මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සර්ව පාක්‍ෂික කැබිනට්‌ මණ්‌ඩලයක්‌ පත්කිරීමටත් පොරොන්දුවක්‌ ලබාදීම හා එය ඉටුකරලීම හේතුවෙන් "ජාතික ආණ්‌ඩු සංකල්පය" කරලියට පැමිණීම කාලෝචිත අවශ්‍යතාවයකි.

දින සියය හා වැඩ සියය නිමවූ පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර රජයක්‌ යටතේ නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පැවැත්වීමටත්, එහිදී වැඩිම ආසන ගණනක්‌ ලබා ගන්නා පක්‌ෂයට අග්‍රාමාත්‍ය ධුරයත්, ඊළඟ පක්‌ෂයට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයත් ලබාදී සියලුම පක්‌ෂ නියෝජනය වන ආකාරයට සර්ව පාක්‌ෂික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට වත්මන් ජනපතිතුමා විවෘත වූ පොරොන්දුවක්‌ ජනතාව වෙත ලබාදී ඇත. මෙම "සර්ව පාක්‌ෂික ආණ්‌ඩුව" යනු ජනතාවගේ පොදු හඬින් කියවෙන ජාතික ආණ්‌ඩුව ලෙස හැඳින්වීමේ වරදක්‌ දැකිය නොහැකිය.

වත්මන් ජනාධිපතිතුමන් අවස්‌ථා කිහිපයකදීම ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ අවශ්‍යතාවයත්, අඩු වශයෙන් වසර දෙකක්‌වත් ජාතික ආණ්‌ඩුවක පාලනයක්‌ පැවතිය යුතු බවත් අනාවරණය කර ඇත. වත්මන් අග්‍රාමාත්‍යවරයාද අවධාරණය කර ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂ රජයක්‌ පිළිබඳව නොව මුළු පාර්ලිමේන්තුවම සම්බන්ධ කෙරෙන පාලනයක්‌ ගොඩනැඟීමේ අවශ්‍යතාවය වේ. 1948 න් පසුව රාජ්‍ය පාලනය භාරව පත්වුණු ආණ්‌ඩුවලට අදාළව දේශපාලන පක්‍ෂ විසින් රටේ ජනතාවගේ ආකල්පවලට ඇතුල් කරන ලද "පක්‌ෂ භේද" දැක්‌ම විසින් ඉතාමත් අහිතකර දේශපාලන සංස්‌කෘතියක්‌ නිර්මාණය වී පවතී. ඒ මගින් ජනතාව ඒ ඒ නායකයන්ගේ පැත්ත ගනිමින් ඇති කර ගන්නා විනාශය වටහා දීම වෙනුවට පක්‌ෂ නායකකාරකාදීන් කරනු ලබන්නේ තමන්ට ගැතිවූ අන්තගාමී පිරිසක්‌ බවට ඡන්දදායකයන් පත්කරලීමය. එම පසුබිම උපකාරී කර ගැනීමට වඩාත් හිතකර වාතාවරණයක්‌ "මනාප ඡන්ද" ක්‍රමය තුළින් උදාවේ. අන්තවාදී පිරිස්‌වලට විවිධ වූ වරදාන ලබා දෙමින්'මනාප ක්‍රම' ඔස්‌සේ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වල නියෑළී ධනය රාශිකරණය කරගත් පිරිස්‌ පාර්ලිමේන්තුව තරණය කරති. වැඩි මුදල් මතින් වැඩි බලය නිර්මාණය කර ආණ්‌ඩු බලය ලබා ගැනීම හේතුවෙන් උගත් බුද්ධිමත් ජනතාවාදී ආකල්පයන්ගෙන් සමන්විත වූ පක්‍ෂවලට ආණ්‌ඩු බලය ලබා ගැනීම, අසීරු ව්‍යායාමයක්‌ව පවතී.

දේශපාලන පක්‍ෂයක්‌ ධන බලය හා ජනතා ආකර්ෂණශීලී පොරොන්දු මතින් බලයට පත්වන අතර, කුසලතාවන් පිරි පුද්ගලයන්ගෙන් සමන්විත ප්‍රධාන පක්‍ෂ හා සුළු පක්‍ෂ වල ජනතා නියෝජිතයන්ගේ හැකියාවන් රාජ්‍ය පාලනය සඳහා යොදා ගැනීමට මෙතෙක්‌ පැවති ආණ්‌ඩු යටතේ අවස්‌ථාවන් ගොඩනැගී තිබුණේ නැත. බලයට පත්වන රජය ප්‍රතිපක්‍ෂ නියෝජිතයන් පාලනයට හවුල්කර ගැනීම වෙනුවට ඔවුන් දේශපාලනිකවත්, සාමාජිකවත් විනාශ කිරීමට උත්සහ කරනු ලැබූ අවස්‌ථා ඕනෑ තරම් දැකිය හැකිය. මේ සමාජ වාතාවරණය වෙනස්‌ කර ප්‍රධාන පක්‍ෂ විසින් සුළු පක්‍ෂ හා සම්මුතියට පැමිණ සර්වපාක්‌ෂික වූ ජාතික ආණ්‌ඩුවක්‌ මීළඟ මැතිවරණයෙන් පසුව පිහිටුවීම යෝග්‍ය වන්නේ පහත කරුණු සැලකිය යුතුව පවතින නිසාවෙනි.

මැතිවරණ ගණනාවක්‌ පරාජය වූවා යෑයි හංවඩු ගසා දේශපාලනයෙන් දුරස්‌ථ කරන්නට කටයුතු කිරීම වෙනුවට එක්‌සත් ජාතික පක්‍ෂයේ සිටින කුසලතා පූර්ණ දේශපාලනඥයන් පාලනයට සම්බන්ධ කර ගැනීමට හැකි වීම.

දීර්ඝකාලීන සන්ධාන රාජ්‍ය පාලනය යටතේ කොන්වුණ එ.ජා.ප. ඡන්දදායකයන්ගේ ගැටලුවලට මැදිහත් වීමට ජාතික ආණ්‌ඩුවක්‌ යටතේ වැඩි අවස්‌ථාවක්‌ උදාවීම.

ජනතා නියෝජනයක්‌ නොමැතිව ව්‍යාජ නායක භූමිකාවන් ගොඩනඟා ගෙන සන්ධාන හරහා පාර්ලිමේන්තුව තරණය කර මැති ඇමැතිකම් වල රැඳී ජනතා මෙහෙවර වෙනුවට ස්‌වාර්ථයට කැපවුණ අයට එම අවස්‌ථාවන් වළකාලීම.

මේ වන විටත් ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කරන ලද නායකයන් හා ඔවුන්ගේ කසකරුවන් විසින් විවිධ උපායන් තුළින් බලයට ඒමේ සාහසික ප්‍රයත්නයන් වළකාලීමට හැකිවීම.

ජනතා විමුක්‌ති පෙරමුණ වැනි සුළු පක්‍ෂවලට තම මතයන් ජනතාව අබියසට පමුණුවා ඉදිරියේදී ශක්‌තිමත් දේශපාලන බලවේගයන් බවට පත්වීමේ අවස්‌ථාව උදාකර ගත හැකි වීම.

මේ වන විට ජනතාවට හිතකරවූ වැදගත් අණපනත් සම්මත කරගැනීමට රජය දරන වෑයම අසාර්ථක කිරීමට මූලික වන පරාජිත දේශපාලන චරිත විසින් තම තමන්ගේ පැවැත්ම හා ආරක්‍ෂාව උදෙසා විවිධ වූ භූමිකාවන්ට සාවද්‍ය වූ සන්දර්භයන් ආරෝපනය කරමින් ගිලිහුණු රාජ්‍ය බලය උදුරා ගැනීමට වෙහෙසෙන අයුරු දැකිය හැකිවේ. මෙම තත්ත්වය වළකාලීමට සර්වපාක්‌ෂික වූ ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවා මෛත්‍රීසහගත යහපාලනයක්‌ පිහිටුවීම වත්මන් ජනපතිතුමාට භාර කරමු.

ධනපාල හේරත්,
කුලියාපිටිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.