"අප්පට පුතේ කී ඔයත්" නෑසූ
නෙළුම් ගමේ හැඬුම


හිරු ගිනියම් වී ඇත. එනිසාම වාතලයද උණුසුම්ය. නිවෙස්‌ වහල සෙවිලි කළ ටකරන් තහඩුද ගිනියම් වී නිවෙස්‌ උණුසුම් කොට නිවැසියන් වෙහෙසට පත් කරවයි. පොසොන් සමයේ "දුවන වැහි" වලින් දින කීපයකට පෙර පොළව ලාවට තෙත් කර තිබුණද මහ අව්ව මොහොතකින් ඒ දියපොද අහසට ඇදගනීs.

මා දැන් සිටින්නේ නෙලුම් ගමේය. වාච්‍යාර්ථයෙන්ම කියෑවෙන පරිදි ගමේ නෙලුම් මල් පිපී පිරී තිබිය යුතුය. අසල වැවක හෝ තිබිය යුතුය. කුඩා වැව කොටුවක නෙලුමක්‌ දෙකක්‌ නම් තිබේ. ඒද ගම පුරා ඇත්තේ වේදනාවේ හැඬුම්ය. සුසුම්ය. පහන් හැඟුම් වෙනුවට ඔවුන්ගෙ සිත් පුරා ඇත්තේ දින දින පරාජිත වෙමින් බිඳ වැටෙන ජීවිත පැතුම්ය.

ඔවුන්ද මිනිසුන්ය. මේ මිනිසුන් මෙතරම් වේදනා විඳින්නට වුවමනා මිනිසුන් කොට්‌ඨාසයක්‌ නම් නොවේය. දුකක්‌, කරදරයක්‌ නොමැතිව නිවී හැනහිල්ලේ තම ජීවනයන් අපූරුවට සිදු කරගෙන ගිය රටට බරක්‌ කරදරයක්‌ නොවූ මිනිසුන් පිරිසක්‌ වූ ඔවුන් බලෙන් වාගේ මෙහි ගෙනැවිත් "අතැර" දමා තිබේ. ඔවුන්ගේ වත්මන් ජීවන කතාව අපි කියවමු.

ජලාශ ඉදිකිරීම, අප රටට අලුත් දෙයක්‌ නොවේය. පුරාණ රජදරුවන්ගේ සිට වත්මන් රාජ්‍ය පාලකයන් දක්‌වා කාලය තුළ අප රටේ මිනිස්‌සු වැව්, ජලාශ ඉදිකළහ. විදේශ ආධාරද, තාක්‍ෂණයද අප පැරැණි තාක්‍ෂණ විධික්‍රමද යොදා ගනිමින් මෙකල ජලාශ රට පුරා ඉදිකර තිබේ. රටට අලුතින් ලද මහඟු සම්පත වූයේ දැදුරුඔය ජලාශයයි. මහ මුහුදට ගලාගිය මහා ජල කන්දරාවක්‌ වාරියපොල ප්‍රදේශයේදී කොන්ක්‍රීට්‌ වේල්ලකින් හරස්‌ කිරීමෙන් දැදුරුඔය ජලාශය ඉදිකෙරී තිබේ.

මොරොන්කන්ද ප්‍රදේශයේ සිට කිලෝමීටර් එකසිය හතළිස්‌ තුනක පමණ (143) දුර ගෙවා හලාවත ප්‍රදේශයේ දී සිය ලෙහි රඳවා ගත් ජලකඳ මහ සයුරු හිමි සමග බෙදා හදා ගන්නා දැදුරුඔය කොමළිය, නාරි ලාලිත්‍ය ගමනින් ඇදෙමින් ගම්මාන සිය දහසකට, පිපාසාවටද, ජීවනයටද කෘෂිකර්මාන්තයටද දියවර සපයමින් ඔවුන්ද, ගමද, රටද පෝෂණය කරවයි. අතීත ජන උපහැරණවල දැදුරුඔය හැඳින්වෙන්නේ "අප්පට පුතේ කියූ ඔය" ලෙසය. වරෙක කරත්ත රැගෙන වෙළෙ¹මේ ගිය පිරිසක්‌ දැදුරුඔය දෑලේ වාඩි ලා ගැනීමට සූදානම් වූයේ රෑ බෝවූ නිසාය. උයා පිහා කා නිදා ගැනීමට සැරසුණු කණ්‌ඩායමේ සිටි පියෙකුට පුතා පවසා සිටියේ "ඔය ගැන එතරම් විශ්වාසයක්‌ තැබිය නොහැකි බවත්, මොහොතින් වෙනස්‌ වී දෙගොඩ තලන බවත්, එනිසා උස්‌ තැනක මිස වැලි තලාවේ නිදා නොගන්නා ලෙසත්ය. පුතුගේ කීම නාසා වැලි තලාවේ පියා ඇතුළු කීප දෙනෙක්‌ නිදාගත් අතර පුතු හා තවත් කීප දෙනෙක්‌ ඔය ඉහළ උස්‌ තැනක නිදා ගත්හ. මහ රැයේ දෙගොඩ තලා ආ ගංවතුරට පියා ඇතුළු පිරිස හසුවූහ. පියා, පුතුට කෑගැසුවද සැඩ පහරට ඔහු ගසාගෙනම ගියේය. පුතු තම පියාට කෑගැසුවේ "ඕක තමයි පුතේ මං උඹට කිව්වේ... කෝ උඹ ඇහුවයෑ... දැන් පුතේ මට උඹව බේරන්නත් බැරියෝ..." කියාය.

එසේ "අප්පට පුතේ කියූ" ඔය හරස්‌ කිරීමෙන් වයඹ ජන දිවිය වෙනස්‌ කිරීමට සිතූ රටේ අප්පලාට නෙලුම්ගමේ මිනිස්‌සු කියන කතාද ඇසීම වටනේය.

දැදුරුඔය හරස්‌ වන්නේ වාරියපොළදීය. නෙලුම්ගම සෑදෙන්නේ ආණමඩුවේදීය. ජලාශය හරස්‌ කළ විට එහි ජල කඳට යටවන ධාරිතා ප්‍රදේශවල නැතිනම් ගම් බිම්වල මිනිසුන් ආණමඩුව ප්‍රදේශයේ පදිංචි කරවීමෙන් "නෙලුම්ගම" තැනී තිබේ.

තවද කරුවලගස්‌වැව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් පලීගම, රජවිගම ග්‍රාම නිලධාරි වසම්වලද මෙම විතැන් වූ පිරිස්‌ පදිංචි කරවා තිබේ. වරින් වර අදියර වශයෙන් ඔවුන් මෙහි ගෙනැවිත් පදිංචි කරවා ඇත. වල් අලින් ගැවසුණ, තණ උලා කෑමට දහස්‌ ගණන් හරක්‌ පට්‌ටි රැඳුණු මහ ඝන වනයක්‌ හෙළි පෙහෙළි කොට ඔවුනට ගම්මාන තනාදී තිබේ. පසුගිය රජය හා නිලධාරීන් මෙම සිදුකළ සංවර්ධන කාර්යයන් පිළිබඳව අබමල් රොනක දොස්‌ දැකීම අපගේ මුඛ්‍ය අරමුණ නොවේ. එහි පවත්නා තවත් අඩුපාඩු පෙන්වාදී නව ගම්වාසීන්ට තිරසාර ජීවනයක්‌ උදා කිරීම සඳහා වන ප්‍රයත්නයකි.

මා මුලින්ම හමුවුණේ නෙලුම්ගම ශ්‍රී බෝධිරුක්‌ඛාරාමයේ විහාරාධිපති රාජාංගනයේ මයුරවංශ හිමිය. උන්වහන්සේ පොල්අතු සෙවිලි කළ බිම මැටි ගෑ ආවාස අතු පැලක සිට ගම්මුන් සේම දුක වළඳති. මේ කර්කශ ජීවනයද මහා දුක්‌ කන්දරාවටද උන්වහන්සේ හුරුපුරුදු වෙමින් සිටිති.

"මං මෙහෙට එනකොට මෙහේ අලි. දවසක්‌ පන්සල් බිමට අලි ඇවිත් මහ රෑ මම ටෝච් එකක්‌ දල්වාගෙන ගමේ උදවිය සමග ගොස්‌ අලින්ට කෑගහලා කිව්වා "ආයිත් මේ පැත්තට ඇවිල්ලා කරදර කරන්න එපා.... මේක පන්සලක්‌. මම හාමුදුරුවෝ ඇවිල්ලා මේ කියන්නේ..." කියලා. උන් රෑම ආපහු හැරුණා. එදායින් එදා අද වෙන තුරු පැත්ත පළාතේ ආවේ නෑ. ගම්මුන් දෙන දාන වේල සතුටින් ලබාගෙන මම මේ පන්සල දියුණු කරන්නට උත්සාහ කරනවා.

මාලබෙන් ආපු සැදැහැවත් පිsරිසක්‌ පන්සලේ චෛත්‍යරාජයාණන් හා ධර්ම ශාලාව, බුදුගේ තනවා දුන්නා. මට ඕනෑ මේ පොල්අතු ආවාසේ ඉඳලා හරි පන්සල ගොඩනඟන්න. මේ ගමේ අසරණ මිනිසුන් වෙනුවෙන්. මට ඔවුනට ආධාර දෙන්න කියලා කටක්‌ ඇරලා කියන්න බෑ. එහෙම රුපියල් පන්සීයක්‌ හරි ඒ උදවිය දෙයි. ඔවුනුත් තාම ජීවිතේ ගැට ගහගන්න මුලපුරන උදවියනේ.

දැදුරුඔය ජලාශය ඉදිකිරීම නිසා ගම්බිම් දේපළ යටවුණු මිනිස්‌සු පවුල් එකසිය විස්‌සක්‌ පමණ (120) විටින් විට මෙහි පදිංචි කරවලා තිබෙනවා. ඒත් ගමේ පවුල් 60-70 විතර ඉන්නේ. මෙහෙ තියෙන විවිධ අපහසුතා නිසා බොහොමයක්‌ තවමත් පරණ ගම්වල ඉඳලා ජීවිත ගැට ගහ ගන්නවා. ඔවුන් මේවා වැඩිදියුණු කිරීමට උත්සාහ කරනවා තමයි. ඔවුන්ගේ දහිරිය, වීරිය ඉහළයි. ඒත් තියෙන අඩුපාඩුකම් ඊටත් ඉහළයි.

ප්‍රධාන ප්‍රශ්නේ මේ ගම්මානයට එන පාර. ආණමඩුවේ ඉඳලා ඌරියාව, ස්‌වර්ණපාලීගම හරහා වෙල් කුඹුරු මැදින් තිබෙන මීඔය හරහා වැටුණු පාර තමයි කෙටිම පාර. ඒකේ මී හරක්‌ නාවන වළවල්. අර පුද්ගලික බස්‌රථයක්‌ එයාලා සිදු කරන මහා මෙහෙවරක්‌ විදියට මේ අබලන් වළවල් මාර්ගයේ අරගෙන එනවා. ඒක ගමට එන්න පැය ගාණක්‌ යනවා. මේ තොටිලි වළවල්වල වැටි වැටී හැප්පි හැප්පී එද්දි. අනේ ඒ මහත්තුරුන්ට පිං දෙන්න ඕනි. නැත්නම් අපේ උදවියට ආණමඩුව යන්න තියෙන්නේ ඔය වළවල්වල වැටි වැටී පයින්ම තමයි. තුන්වැනි අදියරේ ඉඩම් දුන්නු අයට අවුරුදු එකහමාරක්‌ ගිහිල්ලත් තවම කුඹුරු දීලා නෑ. ගොඩ ඉඩම අක්‌කර එකක්‌. බටු, කැකිරි, මුං, එළවළු වගා කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඔවුන්ට ජීවිතය ගැට ගහගන්න අමාරුයි. ස්‌වයං රැකියා වැඩ පිළිවෙලක්‌වත් තිබෙනවා නම් හොඳයි.

ජී. එච්. එම්. ගුණසේකර (55) අප හා කතා කළේය.

"වාරියපොළ, කිතුල්වැහැර ඉඳලයි මට මේ ඉඩම හම්බ වෙලා ආවේ. මගෙ එහේ පොල්, කජු තිබුණු වත්තයි කුඹුරයි අක්‌කර තුනක්‌ ජලාශෙට යටවුණා. වන්දි හම්බ වුණේ සොච්චමයි. පවුලත් එක්‌ක ආවා. පැල්පත් ආධාරය කියලා රු. දහසයදාහක්‌ (16000/}) දුන්නා. ඒකෙන් මොනවා කරන්නද?

මාසෙකට ජීවන දීමනා හැටියට රු. එක්‌දාස්‌ පන්සීයයි දෙන්නේ. මාස තුනකට පස්‌සේ කුඹුරු නෑ කියලා වගා දීමනා කියලා රුපියල් විසිදාහක්‌ දුන්නා.

අපි ගෙනැල්ලා අතහැරියේ පාලු කැලේකට. අපිට මුල ඉඳලම හැඩ ගැහෙන්න වෙලා තිබුණා. වෙන ව්‍යාපාරවලට වඩා මේකෙදි අපටම ගොඩාක්‌ නැගිටින්න වෙලා තිබුණා. කටුකම්බි, උදලු, කැති දෙනවා කිව්වාට ඒවා තවම නෑ. මෙතෙක්‌ බීමට වතුර තිබුණේa නෑ. මෑතකදී ජල ටැප් දැම්මා. ඒ වතුර බොන්න බෑ කිවුල. බත් ඉව්වාම බත් කහ පාටයි. ඉතින් හැතැප්ම 6-7 ඈත තියෙන මුරියාකුලම පාසල ළඟ තිබෙන ළිඳෙන් බොන්ඩ වතුර අරගෙන එනවා. අලි කැලේ මැද්දෙන්. කොයි වේලේ අලියා ගහයිද දන්නේ නෑ. අපි බයෙන් බයෙන් තමයි මේ පාරේ යන්නේ.

ගම වටේටම අලි. අලි වැටකුත් ගහනවා කියනවා. ඒත් තවම අලි ගමේ. හරක්‌ ද එනවා. කෙසෙල්, පොල් පැළ කාලා විනාශ කරනවා.

ආණමඩුවට යන්න එන්න සිදු වනවා අපේ වැඩවලට. එළවළු විකුණ ගන්න යන පාර බොහෝම අබලන්. රාත්‍රියකට යන්නට අමාරුයි. පුද්ගලික බසයෙන් යන්නේත් එයාලගේ දක්‍ෂකමට. ඒකත් නැත්නම් ගම වනාන්තරේටම යාවි. මොකද අපිටත් ගම දාලා යන්න වෙන නිසා.

ඔය පාරේ වළවල්වල වැටී වැටී ගිහින් පපුවේ අමාරු ලෙඩ්ඩු තුන් හතර දෙනෙක්‌ මැරිලත් තියෙනවා. ඇයි පාරේ වළවල් විමානේ. ත්‍රිරෝද රථයකටවත් යන්නට බැරි තරමට පාර පුරාම වළවල්. හදිසි ලෙඩෙක්‌ ගේන්න තියෙන්නෙත් ආණමඩුව රෝහලට තමයි. පැය එකහමාරක්‌ තිස්‌සේ වළවල්වලට වැටි වැටී විසිවෙවී එද්දී ලෙඩ්ඩු මැරිලා ඉවරයි. ආණ්‌ඩු හැම එකකටම කිව්වා. ඒත් කොමිස්‌ නැති නිසාදෝ මේ ගමේ පාර හැදෙන්නේ නෑ. අමනුස්‌සයෝ ජීවත් වෙනවා ඇති කියලා ලොක්‌කෝ හිතාගෙන ඉන්නවා ඇති.

අපිට වෙච්චි දේ කියලා හිත හිත ඉන්නවා. එහේ බඩගින්නට කුරුම්බාගෙඩියක්‌ හරි කඩාගෙන බිව්වා. මෙහේ පොල් ගෙඩියක්‌ රුපියල් 45/}. අපි අපේ පරණ ගම්වල නිදහසේ සතුටින් හිටපු මිනිස්‌සු. තුන්වේල කාලා කරදරයක්‌ හිරිහැරයක්‌ නැතිව. අපිට අද හරි කරදරයි. හිරිහැරයි. ළමුන්ට ඉගෙන ගන්නට ඉස්‌කෝල මෙහි නෑ. ඉස්‌පිරිතාලයක්‌ කෙසේ වෙතත් ඩිස්‌පෙන්සරියක්‌ වත් නෑ. ගමේ වැව හාරලා නෑ. ඇතුලේ කටු පඳුරු. වැව ගොඩවෙලා. අපට තවම කුඹුරු නෑ. ඒ හින්දා බත නැහැ. මේ ගම්වල කුලී වැඩත් නෑ. ඉතින් කොහොමද අපි දියුණු වෙන්නේ. නිකං ඉන්න බැරි නිසා බොහෝ දෙනා ආපහු ගියා. ඇයි ඉතින් වියදම විතරනේ...

මා ගිය දින බොහෝ දෙනෙක්‌ මා හමුවී පැවසුවේ... මේ අබලන් මාර්ගයේ ගමට අසල ඇති මී ඔය නැළවිල්ල වෙනුවට උස්‌ පාලමක්‌ ඉදිකර දෙන ලෙසයි. සෑම ගංවතුරකදීම මී ඔය දෙගොඩ තලා යයි. ඉඟිනිමිටිය ජලාශයේ වාන් ජලයද මී ඔයට වැටී ජල කඳ දෙගුණ තෙගුණ කරවයි. එවිට මෙම ගම්මානය ජලයෙන් යටවෙයි. අවට ගම් සමග සබඳතා දුරස්‌ වෙයි. අඩුම තරමින් ඒ සමයට කඩේක පාන් ගෙඩියත්, විස්‌කිරිඤ්ඤාවත් හිඟවෙයි. හාල් ගැන කවර කතාද? එසේ වුවත් අඩු තරමින් මේ ගම්මානවලට ගංවතුර සහනද නැත. පෝර්ම ලියාගෙන යන මුත් ඒවාට සිදු වුණේ මොනවාද ගම්මු නොදනිති.

ඔවුනට පොදු තැනක්‌ තිබුණේ නැත. එනිසා ඇළ අසල ඉඩමක්‌ කැලය කපා හෙළි කරද්දී එම ඉඩම කාර්මික නිලධාරි මහතෙකුගේ යයි පැවසුවේය. ගම්මු එය කණකටවත් නොගත්හ. තහඩු ගසා මැටි ගසා පොදු ශාලාවක්‌ තනා ගැනීමට ඔවුන් දැන් සූදානම්ය.

බීමට ජලය ගෙන ඒමට මුරියකුලම ළිඳට යැමද අවදානම් ගමනකි. අලි මඟ රැකසිටිති. එම පාරේම පාසල් දරුවන්ට පාසලට යැමට සිදු වෙයි. වල් අලින් වටේට හිඳිද්දී ළමුන් වැඩිහිටියන් මගතොට බසින්නේ කෙලෙසකද?

මට සිහිපත් වුණේ මෑතදී විල්පත්තු මහ වනය කපා මුසල්මානුවන් පදිංචි කරවීමට උළු නිවෙස්‌ තනාදී ඇති ආකාරයයි. ඔවුනට ස්‌ථිර නිවසක්‌ සමග අදාළ ජීවන දීමනා, උපකරණ, යටිතල පහසුකම් සියල්ල ලැබෙයි. නෙලුම් ගමේ උදවියට නිවාසයක්‌ තනා ගැනීමට පැල්පත් ආධාර රුපියල් දාසයදහක්‌ (16000). ඉන් පොල්අතු දාහක්‌ නම් ගත හැකිව තිබේ. මාසික යෑපුම් දීමනාව රු. 1500/} කි. දිනකට රුපියල් 100/} බැගින් වැය වූ විට ඉන් ජීවත් විය හැක්‌කේ දින පහළොවකි. ඉතිරි දින හුළංය.

යුද්ධයෙන් අවතැන්වූවන් සඳහා විල්පත්තු නිවහන් බෙදාදෙන බව කියෑවෙයි. නෙලුම්ගම සිටින්නෝද යුද්ධයෙන් නොමැති වුවත් රටේ අනාගතය උදෙසා මතු පරපුර උදෙසා මහා පරිත්‍යාගයක්‌කොට පැමිණි උදවිය ය. ඔවුන් තම වටිනා දේපළ ඉඩම් වස්‌තු ජීවනය, ජීවන පසුබිම, ළමා අධ්‍යාපන, රැකියා අවස්‌ථා ආදී කී නොකී අවස්‌ථා රැසක්‌ද මහ වතුරකට යටකොට පැමිණි උදවියයි. මන්නාරමෙන් එකල යුද්ධයෙන් අනාථ වූවනට දැන් පුත්තලමේද ගෙවල්ය. මන්නාරම විල්පත්තුවේද ගෙවල්ය. ඔවුන්ගේ පැරැණි ගම්මාවලද ගෙවල්ය. ඔවුනට යන්නට ඕනෑ තරම් තැන් තිබේ. ජීවත් වන්නට පහසුකම්ද සලසා දී තිබේ. ඒත් රට වෙනුවෙන් පරිත්‍යාග කළ නෙලුම් ගමේ වුනට අද ආපසු යැමට තැනක්‌ද කිරීමට දේද නැත. ඔවුහු මහ අව්වේ බඩගින්නේ තමනට වූ අබග්ගය ගැන අතීත ශ්‍රී විභූතිය ගැන මෙනෙහි කරමින් හූල්ලමින් සිටිති. හෑල්ලුවේ සිටි මිනිසුන්ට හූල්ලන්නට ඉඩ සැලසුවේ ඇයි...

ටෙරන්ස්‌ වනිගසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.