අසහනයක්‌ වූ සහනාධාරය

වි රජයේ පොහොර සහනාධාරය ගැන හැමෝම ඒ දවස්‌වල කතා කෙරුවා. ඒත් මේ දවස්‌වල ඒක ගැන කතා කරන්නේ ගොවියෝ ටිකයි ගොවි සංවිධාන විතරයි. කොයි ආණ්‌ඩුව ආවත් ගොවීන්ට කිලෝ පනහක පොහොර මල්ලක්‌ රුපියල් තුන්සිය පනහ ගණනෙ දෙනවා කියලා හැමෝම කිව්වා. ඒත් ගොවියෝ කියන්නේ තමන්ගෙ නම විකුණලා හැමෝම ලෝකෙටම පොහොර සහනාධාරය දෙනවා කියලා කිව්වත් මේ පොහොර සහනාධාරය තමන්ට නම් කරුමයක්‌ කියලයි.

උතුරේ ගොවි සංවිධාන නියෝජිතයෝ මේ දවස්‌වල රජයේ බලධාරීන් සොයාගෙන උදේ පාන්දරම උන්නැහැලගෙ කන්තෝරුවලට යනවා. ඒත් වැඩක්‌ වෙන්නේ නැහැ. අපි අර මුලින්ම කිව්වා වගේ ගොවි සංවිධාන නියෝජිතයෝ ආපහු එන්නේ පස්‌ස විතරක්‌ නොමෙයි හැම එකක්‌ම පරවගෙන. ඇත්තෙන්ම මේ දවස්‌වල මොකද මේ පොහොර සහනාධාරයට වෙලා තියෙන්නේ. මේ ගොවි සංවිධානවල අවනඩුවයි.

"මෙදා පාර යල් කන්නයේ කුඹුරු වගා කරන්න කන්න රැස්‌වීම් තියනකොට වැව්වල වතුර තිබුණේ නැහැ. වැව්වල තිබුණු වතුර ප්‍රමාණය දිහා බලලා බෙත්ම ක්‍රමයට කුඹුරු බෙදලා දුන්නා. අක්‌කර තුනක්‌ කුඹුරු තිබුණු අයට ලැබුනේ අක්‌කර බාගයයි. ඒ අක්‌කර බාගේ හරි කුඹුරු කරන්න ඕනේ කියලා ගොවියෝ කුඹුරු හාන්න පටන් ගත්තා.

කුඹුරු හාන්න පටන් අරන් දවස්‌ දෙකයි ගතවුණේ ඉන්දියාව හරහා ආපු කුණාටුවක්‌ හින්දා දවස්‌ ගාණක්‌ම එක දිගටම වැස්‌සා. වැහි වතුර ඇවිල්ලා වැව් පිරිලා වාන් දාන්න වුණා. ඊට පස්‌සෙ ගොවියෝ බෙත්ම ක්‍රමය අතඇරලා දාලා තමන්ගෙ කුඹුරු සේරම හාන්න පටන් අරන් පොහොර හොයාගෙන ගියා.

දැන් නිලධාරියෝ කියන්නේ කන්න රැස්‌වීම් වලදී වගා කරනවයි කිව්ව කුඹුරු ටිකට විතරයි පොහොර දෙන්න පුලුවන් කියලා. අලුතෙන් වගා කළ කුඹුරුවලට පොහොර දෙන්න ක්‍රමයක්‌ නැහැ කියනවා.

නිලධාරීන් තමන්ගේ නීතිරීති පොඩ්ඩක්‌ වත් වෙනස්‌ කරන්නේ නැහැ. මනුස්‌සකම, සාධාරණය, මානුෂිකත්වය කියන මේ කිසිම දෙයක්‌ ඒ අය ළඟ නෑ. හිතුවක්‌කාර කම තමයි අහස උසට තියෙන්නේ. පොහොර නැති එකෙන් තමන්ට උදාවෙලා තියෙන තත්ත්වය ගොවි සංවිධාන නියෝජිතයෝ විස්‌තර කළා.

"රජයෙන් කිලෝ ග්‍රෑම් පනහක පොහොර මල්ලක්‌ දෙන්නෙ රුපියල් 350 කටයි. ඒක කුඹුරට ගේනකොට රුපියල් 400 ක්‌ 500 ක්‌ විතර වෙනවා. මේ සහනාධාරයට පිටින් පොහොර ගන්න ගියාට පිට කඩවල කිලෝ 50 ක මල්ලක්‌ රුපියල් 1600 ක්‌ වෙනවා. ඒක කුඹුරට ගේනකොට රුපියල් 2000 ක්‌ විතර වෙනවා. සමහර ගොවිජන සේවා මධ්‍යස්‌ථාන වලින් සහන මිලට කියලා රුපියල් 1200 කට පොහොර ලැබෙනවා. ඒත් ඕනේ තරම් ගන්නත් නෑ. හැම ගොවිජන සේවා මධ්‍යස්‌ථානයෙම පොහොර ඇත්තෙත් නැහැ.

මේ පොහොර සහනාධාර ක්‍රමය ඇත්තටම ගොවීන්ට ලොකු සහනයක්‌. ඒත් වෙලා තියන්නේ මේකේ කිසිම ක්‍රමයක්‌ නැහැ. කොටින්ම කියනවනම් අංගපුලාවක්‌ නැහැ. නිලධාරියා ගන්න තීරණය තමයි අවසාන තීරණය. ඒ අය ගොවීන්ගේ කුඹුරු අක්‌කර ගාණට ඕන පොහොර ටික දෙන්නේ නෑ.

කුඹුරු අක්‌කර ගාණ මහත්තයෝ හොර කරන්න බෑනේ. ඒක කුඹුරු ලේඛනයේ තියෙනවා. කුඹුරු පැටව් ගහන්නෙත් නෑනේ. ඒක හින්දා මේ කුඹුරු අක්‌කර ගාණට ඕනේ පොහොර ප්‍රමාණය හැම අවුරුද්දකම හැම කන්නයකම ස්‌ථිරයි. ඉතිං එහෙම තියන පොහොර ටික හරියට ගොවීන්ට දෙන්න බැරිනම් මේ නිලධාරීන්ගෙන් ඇති පළේ මොකක්‌ද?

උතුරේ ගොවියන්ට මේක මෙහෙම දැණුනත් රජයේ පොහොර සහනාධාරෙට විතරක්‌ නොවෙයි රජයේ හැම දේටමත් විදිහක්‌, ක්‍රමයක්‌ පිළිවෙළක්‌ නැහැ. ගොවියෝ කියන්නේ පොහොර සහනාධාරෙට කිසිම අංගපුලාවක්‌ නෑ කියලා. ඒ ගොවියන්ගෙ පැත්තෙන්. ඒත් අනික්‌ හැම දේටමත් කිසිම අංගපුලාවක්‌ නැහැ. ඒක තේරෙන්නේ ඒ ඒ අංශවල අය ඒ ඒ අංශවල වැඩ රාජකාරි කරන්න ගියහම තමයි.

නිලධාරීන් මේ දවස්‌වල කියන්නේ යල්කන්නයේ අලුතින් වගා කළ කුඹුරුවලට පොහොර දෙන්න බැහැ කියලනේ. ඒත් ගොවි සංවිධානවල අය කියන්නේ මහ කන්නෙටත් ඒ අය පොහොර දෙනකොට කරන්නේ මේකමයි කියලා.

"අපි පොහොර ඉල්ලුම් පත්තර පුරවගෙන උදේට එනවා ගොවිජන සේවා මධ්‍යස්‌ථානවලට. නිලධාරීන් එන්නේ 10 ත් පහුවෙලා. එනකොට එන්නේ එ අය මූණ ඇඹුල් කරගෙන හරියට කෑම වේලක්‌ ඉල්ල ගන්න හිඟන්නෝ රැළක්‌ ඇවිත් ඉන්නවා වගේ තමයි ඒ අය අපි දියා බලන්නේ.

"හ්ම් පොහොර තවම ආවෙ නෑ. ඉල්ලුම් පත්තර දීලා යන්න. පොහොර ආවහම තමයි පොහොර දෙන්න පුලුවන්. හැබැයි එන දවසක්‌ කියන්න බැහැ."

අවසානදී තීරණය වෙන්නේ සල්ලි බැඳපු ගොවීන්ට දෙන්න පුළුවන් විදිහට පොහොර දෙන්නයි. කිලෝ 400 ක්‌ ඉල්ලපු ගොවියට ලැබෙන්නෙ පොහොර කිලෝ ග්‍රෑම් 250 යි. එහෙමත් නැතිනම් ඊටත් ටිකක්‌ අඩුවෙන්. ගොයමට ඕනේ පොහොර වර්ග ගොඩයි. මඩ පොහොර, යූරියා, බණ්‌ඩි පොහොර මෙහෙම පොහොර වර්ග තුනක්‌ තියෙනවා. ඒත් ලැබෙන්නේ වර්ග එකයි. නැත්නම් දෙකයි. ඉතුරු ඒවා ලැබෙන්නේ ඊළඟ පොහොර ලොරිය ආවහමයි. ඒක එන්න තව සති දෙකක්‌ විතර යනවා. එතකොට ගොයම වැඩෙන්නේ පොහොර නැතුවයි. ඉතිං මොන සරු අස්‌වැන්නක්‌ද? වී බුසල් 100 ක්‌ ගන්න පුලුවන් කුඹුරෙන් ලැබෙන්නේ වී බුසල් 60 ක්‌ නැත්නම් 65 ක්‌. ඒක විකුණන්න වෙන්නෙ තුට්‌ටුවට දෙකටයි. ඒ හින්දා හැමදාම ගොවියා හිඟන්නා වෙනවා.

උතුරට පොහොර බෙදන්න ඒ වගකීම දරන මහත්තුරු ගොඩක්‌ ඉන්නවා. ගොවීන්ගේ මේ අවනඩුවත් එක්‌ක මම එක මහත්තයෙකුට කතා කළේ මොකක්‌ද මේ වෙන්නෙ කියලා බලන්නයි. මට කතා කරන්න ලැබුණේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වවුනියාව දිස්‌ත්‍රික්‌ සහකාර අධ්‍යක්‍ෂ බන්ධුල විඡේවර්ධන මහතාටයි. මුලින්ම මම ඇහුවෙ ඇයි මේ පොහොර ප්‍රමාද වෙන්නෙ කියලයි.

"පොහොර ලබාදීමේ කිසිම ප්‍රමාදයක්‌ නැහැ. නමුත් ගොවීන් පොහොර මිලදී ගැනීමේදී විශාල අඩුවක්‌ දකින්නට ලැබෙනවා. මෙවර වවුනියාව දිස්‌ත්‍රික්‌කයේ හෙක්‌ටයාර් 7000 ක ප්‍රමාණයකට පොහොර වෙන් වී තිබෙනවා. ගොවිජන සේවා මධ්‍යස්‌ථාන 8 ක්‌ හරහා තමයි මේ පොහොර බෙදීම සිදුවන්නේ. නමුත් ගොවීන්ගෙන් 30% ක්‌ පමණ තමයි මේ වනවිට බොහොර මිලදී ගෙන තිබෙන්නේ. ගොවි සංවිධාන නියෝජිතයෝ කියන්නේ ගොවීන්ට සල්ලි නැහැ කියලා. ඊට වඩා හේතුවක්‌ තියෙනවද කියලා මටත් හිතාගන්න බැහැ.

මේ යල් කන්නයෙදී පොඩි ප්‍රශ්නයක්‌ වුණා. කාලගුණික විපර්යාසය නිසා ගොවීන්ට අමතර කුඹුරු ප්‍රමාණයක්‌ වැඩ කරන්න අවස්‌ථාව ලැබුණා. ප්‍රාදේශීය ලේකම්වරු වර්තා කළ අන්දමට අමතර පොහොර හෙක්‌ටයර් 1000 කට අපි ලබාදෙන්න තීරණය කරලා තියෙනවා. මෙතන තියෙන ගැටලුව තමයි කලින් හෙක්‌ටයාර් 7000 පොහොර වලින් 30% ක්‌ විතරක්‌ මිලදී ගෙන තිබියදී තවත් අමතර පොහොර ප්‍රමාණයක්‌ ඉල්ලීම. කොහොම වුණත් පොහොර අවශ්‍ය ප්‍රමාණයට තිබෙනවා.

දිනසේන රතුගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.