මාතලේ කෙල්ල

කෙනකුට තනිකම වඩාත් දැනෙන්නේ විදේශ ගත වූ විට ය. විශේෂයෙන් ම මැදපෙරදිග වැනි දැඩි කර්කෂ දේශගුණයක්‌ සහිත නුහුරු සංස්‌කෘතියක දී මෙම තනිකම දැඩිව දැනේ. එවන් අවස්‌ථාවක ලෙඩක්‌ දුකක්‌ ඇති වූ විට දැනෙන අසරණකම විග්‍රහ කළහැකි නොවේ. විදේශයක දී අසරණ වන විට ලාංකිකයන් බොහෝ දෙනෙක්‌ ලේ පෙරාගෙන වුවද දිව යන්නේ තමන් ගේ මහ ගෙදර වන තානාපති කාර්යාලයට ය. තානාපති කාර්යාලයක සරණ පතා යන ප්‍රතිශතය තීරණය කරන බොහෝ සාධක තිබේ. නමුත් ඒ ගැන කතා කරන්නට මේ වෙලාව නොවේ.

තම සේවා ස්‌ථානයේ කරදරයක්‌ සිදුවූ විට එය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට ඇති මාර්ග අවහිර නම් කාන්තාවෝ තානාපති කාර්යාලයේ පිහිට පතති. මෙසේ පිහිට පතා පැන එන අය අතර පහරදීම්, අඩන්තේට්‌ටම්, බිය වැද්දීම්, වැටුප් නොගෙවීම, ආහාර නොලැබීම, කොන්ත්‍රාත් කාලය අවසානයේ ලංකාවට යාමට ඉඩ නොදීම පමණක්‌ නොව, ලිංගික අතවරයට පත් වූ පිරිස්‌ ද වෙති. මෙසේ පැමිණෙන සිහි මද ගතියෙන් පෙළෙන කෙනෙක්‌ හෝ අසනීප තත්ත්වයක්‌ ඇති අයෙක්‌ රැඳවුම් නිවාසයේ තබාගෙන රැක බලා ගැනීම සීරුවට කළ යුතු කටයුත්තකි.

මෙය වසර දාහතරකට පමණ පෙර කුවේටයේ සිදුවූ සිද්ධියකි.

තානාපති කාර්යාලයේ රැකවරණය පතා පැමිණි එක්‌ කාන්තාවක්‌ සිහිමද ගතියකින් පෙළුණාය. ඇගේ හිසේ තුවාල සෑදී හිස කෙස්‌ අතර කුඩා සත්ව විශේෂයක්‌ ද දක්‌නට ලැබිණි. ඇයට ප්‍රතිකාර කළ රෝහලෙන් ලත් තොරතුරු මත එරට සෞඛ්‍ය අමාත්‍යාංශය තානාපති කාර්යාලයේ බෝවෙන රෝගීන් සිටිනවා යෑයි පවසා ලොකු ශබ්යදක්‌ ඇති කළේය. මේ රෝගියා ප්‍රතිකාර සඳහා මානසික රෝහලකට යොමු කරන ලදී. එහෙත් මාගේ බලවත් පරිශ්‍රමය මත ඇය විශේෂ වෛද්‍යවරයෙක්‌ වෙත යොමු කරන්නට හැකි විය. එවකට කම්කරු අංශයේ සේවය කළ කරුණාවන්ත මහතෙක්‌ වූ කුමාරප්පෙරුම මහතා සහ රැඳවුම් නිවස්‌න පාලිකාව විසින් දින කීපයක්‌ කැප කර රෝගියා වෛද්‍යවරුන් කීප දෙනෙක්‌ වෙත ගෙනගියහ. අවසානයේ තීරණය වූයේ ඇගේ හිසේ ගෙඩියක්‌ ඇති බවය. මම වෛද්‍යවරයා හමු වුණෙමි.

''ඉක්‌මනින් ම ඇයට ශල්‍යකර්මයක්‌ කළ යුතුයි. හැබැයි අපිට වගකියන්න බැහැ. මේ වාගේ ශල්‍යකර්ම සාමාන්‍යයෙන් මේ රටේ දී කරන්නේ නැහැ'' ඒ වෛද්‍යවරයා ගේ ප්‍රකාශයයි.

''අපි මේක කරමු. අපරාදේ ජීවියතයක්‌ නැති වෙන්න අරින්න බැහැ නේ'' කුමාරප්පෙරුම මහතා ගේ අදහස යි. ප්‍රශ්න කීපයකි. ලංකාවේ සිටින භාරකාරයන් ගේ අවසරය අවශ්‍ය විය. ඇගේ දෙමවුපියන් සිටියේ මාතලේ ප්‍රදේශයේ ය. අපි දෙමවුපියන්ට දැනුම් දීමක්‌ කෙළෙමු. දින දෙකක්‌ ගත විය. දෙමාපියන් ගේ අවසරය හෝ තොරතුරක්‌ නැත. ඇගේ තත්ත්වය ද යහපත් නැත. මම තීරණයක්‌ ගත්තෙමි.

මම ඇගේ භාරකරුවා ලෙස ලිපි ලේඛනවලට අත්සන් තැබුවෙමි. යම් කිසි විදිහකින් ඇගේ ජීවිතයට අනතුරක්‌ වුවහොත් මා හට මුහුණ පාන්නට සිදුවන තත්ත්වය ගැන ද කල්පනා නොකළා නො වේ. වැරදුණු විට පහර දෙන්නට සුදානම් පිරිස ගැන ද මම කල්පනා කෙළෙමි. පැය ගණනාවක ශල්‍යකර්මය අවසන් වනතෙක්‌ කුමාරප්පෙරුම මහතා ඇතුලු කීප දෙනෙක්‌ රෝහලේ රැඳී සිටියහ. ශල්‍යකර්මය කළ වෛද්‍යවරයා චෙකොස්‌ලොවැකියානු ජාතිකයෙකි. ශල්‍යකර්මය සාර්ථක විය. වෛද්‍යවරයාට අනුව ඇගේ හිසේ ගෙඩිය කාලයක්‌ තිස්‌සේ තිබුණකි.

සති දෙකකින් රෝහලෙන් පිටවූ ඇය තානාපති කාර්යාලයේ රැඳවුම් නිවස්‌නයේ තබාගෙන හෙදකම් කළෝ කාන්ති සහ චාන්දනී ඇතුළු පිරිසය.

තවත් මාසයකින් ඇය ලංකාවට යාමට සුදානම් ය. තානාපති කාර්යාලයට පැමිණෙන විට වයස්‌ගත කාන්තාවක ගේ පෙනුමෙන් යුතු වූ ඇය ඉතා රූබර තරුණියක්‌ බව අසනීප සුවවීමෙන් පසු අපට ප්‍රත්‍යක්‌ෂ විය. හිසේ තුවාල නැත. තමන් වසර ගණනක්‌ කාලකණ්‌ණි කළ රෝගයෙන් මිදුණු ඕ නව ජීවයක්‌ ලද අයකු වූවා ය. අප සියලු දෙනාට ඇති වූ සතුට නිම් හිම් නැති විය. වෛද්‍යවරයාට අනුව මෙය එරට දී කළ පළමු එවන් සාර්ථක ශල්‍යකර්මයයි. මාතලේ කෙල්ල අලුත් ජීවිතයක්‌ රැගෙන ලංකාවට ආවාය.

රංජිත් ගුණරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.