පහන් ගලේ ගල්දොර ඇරෙන්නෙ
බිල්ලක්‌ ඕන උනාමලු


'ජෝන් අයියා ඔය අත්භූත කතා විශ්වාස කරනවද..' කතාව හොඳට අහගෙන ඉඳලා වික්‍රමසිංහ මහත්තයා හිනා වෙලා එහෙම අහනවා. හොල්මන් අවතාර ගැන වික්‍රමසිංහ මහත්තයාගේ විශ්වාසයක්‌ නෑ. ඒත් අවතාර ගැන පරීක්‍ෂණ කරන්න, හොල්මන් කතා රසවිඳින්න වික්‍රමසිංහ මහත්තයගේ දැඩි ආශාවක්‌ තිබුණා.

'ඔය වතුර ගත්තා කියන හිඳෙන්නේ නැති ගල් ළිඳ තියෙන්නේ අපේ ගෙට උඩ..' ජෝන් අයියා කැලෑ රොදට අත දිගු කළාය.

'එහෙම නම් අපි ඒ ළිඳ බලන්න යමුද..' වික්‍රමසිංහ මහත්තයා ගල් තලාවෙන් නැඟිට කැලෑ රොද දෙසට පියවරක්‌, දෙකක්‌ තබනකොට අපිත් එතුමා අනුගමනය කළා. කැලෑ රොද මැදින් ළිඳ ළඟට පැහැදිළි අඩි පාරක්‌ තිබුණා. ගල් තලාව තරමක්‌ උසයි, විශාලයි. ගලේ උසම ස්‌ථානයේ තමයි ළිඳ පිහිටලා තියෙන්නේ. අපි ගල් තලාව අසලට යනකොටත් ළිඳ පිටාර ගලනවා. වික්‍රමසිංහ මහත්තයා පුදුමයෙන් වගේ ටික වේලාවක්‌ ළිඳ දිහා බලාගෙන හිටියා.

'මේ ළිඳ කොච්චරක්‌ විතර ජඹුර ඇති ද..' වික්‍රමසිංහ මහත්තයා ජෝන් අයියා දිහාට හැරුණා.

ජෝන් අයියා ප්‍රමාණයක්‌ කියන්නේ නැතුව, දිග රිටක්‌ කපලා ළිඳ තුළට දැම්මා.

'හ්ම්... මනුස්‌සයෙක්‌ පොව්වන්නේ නැති තරමට ජඹුරයි. ඒ වුණාට පතුළ පේන්නේ අත පොව්වන මානයෙන්..' වික්‍රමසිංහ මහත්තයා එහෙම කියාගෙන, පාත් වෙලා වතුර දෝතක්‌ ගෙන මුව කට සෝදා ගත්තා. වතුර ටික නිල් කැටේට දිළිහෙනවා.

'දාහය නිවෙන්නත් එක්‌ක වතුර ටිකක්‌ නා ගත්තොත් හොඳ නැද්ද..' ජෝන් අයියගේ අත රැඳුණු පනිට්‌ටුව අතට ගෙන මම එහෙම කිව්වා.

'ඒක හොඳ අදහසක්‌... තව හවස්‌ වෙනකොට දිය නාන්න එන අයගෙන් මෙතැන පිරෙනවා. අපේ ගෙවල්වල අය විතරක්‌ නෙමෙයි වෙන දූපත්වල පදිංචි අයත් වතුර ටිකක්‌ නාගන්න එන්නේ මෙතැන' දියට අඳින්න රෙදි, සබන් ජෝන් අයියා ගෙනැවිත් තිබුණා. අපි ගිය හැමෝම ගල් ළිඳෙන් නෑවත් බිඳුවක්‌වත් වතුර අඩු වුණේ නෑ. පෙර විදිහටම ළිඳ පිටාර ගලනවා..'

ඒ සිරිසේන මහතාගේ හැත්තෑව දශකයේ මතකයන්ය. අදටත් ගන්දූවේ ගල් ළිඳ පිටාර ගලන්නේය. පසුගිය දිනක කොට්‌ටව සිරිසේන සමග අප ගන්දූවේ ගල් ළිඳ අසලට යන විටත් ළිඳ පිටාර ගලන්නේය. එහෙත් ජෝන් අයියලාගේ කාලයට වඩා මෙදා ගල් ළිඳ පිරිසිදු නැත. ළිඳට වැටුණු කොළ රොඩු තැම්බී වතුර කසාය හට්‌ටියක්‌ සේ දිස්‌ විණි. ගල් තලාව නොපෙනන තරමට ඒ වටා කැලෑ රොද උස්‌ මහත් වෙලාය. ගල් තලාව අසලට අප ගමන් කළේ ද ජෝන් අයියාගේ ලොකු පුතා සනී අඩි පාර එළිපෙහෙළි කිරීමත් සමගය.

'දැන් මිනිස්‌සු මේකෙ නාන්න එන්නේ නෑ... මේ ගල් තලාව සම්බන්ධ කරලා එක, එක කතා පැතිරිලා. මෙතැන නිධානයක්‌ තියෙනවාලු... ළිඳ බිලි ගන්නවාලු... නාගයන් ඉන්නවාලු... ඔය කතා නිසා මිනිස්‌සු මෙතැන නාන්න එන්න බයයි. අපි නම් ඔය කතාවලට බය නෑ. අපි පුංචි කාලේ ඉඳලා නෑවේ මේ ළිඳේ. ඒත් අපේ දරුවො මෙතැනට ඇවිත් නාන්නේ අපි ආවොත් විතරයි..' සනී ගල් ළිඳ අභාවයට යැමට බලපෑ හේතු රැසක්‌ම අපට විස්‌තර කළේය. නාගයින් සිටින කතාව නම් විශ්වාස කිරීමට හැකි සාධක ගල් තලාව වටෙන්ම පෙනේ. දකින දකින තැන හුඹස්‌ය. ඒ හුඹස්‌වල සතුන් සිටිනවාද නැද්ද කියා නම් අපි නොදනිමු. ගල් ළිඳ අසලින් නික්‌මුණු අපි කොග්ගල ඔයේ වටයක්‌ යැමට සනී අයියගේ ඔරු කඳට ගොඩ විමු.

මධ්‍යහ්න අහස ගැබ්බරය. කොයි මොහොතක වැස්‌ස කඩාහැළේද කිව නොහැකිය. එහෙත් බුරන අහසට බියේ අපි ගමන පස්‌සට අදින්නේ නැත. මහ වැසි මැද කොග්ගල ඔය මැද ඔරු පැදීමත් අපට අත්දැකීමකි. විනෝදයකි.

'ඒ කාලේ විතරක්‌ නෙමෙයි අදටත් ඔයේ අවතාර ගමන් කරනවා මිනිස්‌සු දැකලා තියෙනවා. අවතාර නම් මම දැකලා නෑ. දේවතා එළි නම් මාසෙකට දෙතුන් දවසක්‌ දකිනවා..' සනී ඔරුව ඉදිරියට යැමට හබල් ගාන අතරේ හොල්මන්, අවතාර කතා අතරට දේව කතාවක්‌ද එකතු කළේය.

'සමහර කෙම්මුර දවස්‌වලට රතු පාට, නිල් පාට එළි විදිලි වගේ යනවා. සී... ගලා ශබ්දයක්‌ විතරක්‌ ඇහෙන්නේ. ඇසි පිය ගහන සුනංගුවට එළිය ඈතට දුවනවා. මේ දූපත්වල ජීවත් වෙන පුංචි උන්ටත් දේවතා එළි නම් අලුත් දේවල් නෙමෙයි..'

'අර පේන්නේ පහන් ගල..' සනීගේ කතාවට බාධා කරමින් කොට්‌ටව සිරිසේන අත දිගු කර ඔය මැද උස්‌ වූ ගලක්‌ අපට පෙන්නුවේය. සනී අයියා ඔරුව පදවන්නේ ද ඒ දෙසටය. ගමන තරමක්‌ සෙමෙන්ය. අපේ දෙනෙත් ඈත, මෑත දූපත් අතර දුව යමින් තිබිණි. ඇස ගැටෙන දූපත් බොහෝමයක විසල් ගොඩනැඟිලි දිස්‌ වන්නේය. වැඩ නිම කළ ගොඩනැඟිලි මෙන්ම, බාගෙට වැඩ කරගෙන යන ගොඩනැඟිලි ද ඒ අතර තිබේ. ඈත, මෑත දිස්‌ වන ඇතැම් දූපත්වල හිස බූ ගෑ තට්‌ට ගෙඩි මෙන් දර්ශනය වූ ස්‌ථාන ද තිබිණි. රටේ සංවර්ධනයට පිටිවහලක්‌ වන්නේ නම්, කඩොලාන පරිසරයට හානියක්‌ නොවෙන්න ගොඩනැඟිලි ඉදිකිරීමේ වරදක්‌ නැත. එහෙත් ඇස ගැටෙන දර්ශනයන් අනුව නම් කඩොලාන පරිසරය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති සේය. ඔය වටා දුවන දෙනෙත් පහන් ගලේ බ්‍රාහ්මී අක්‌ෂර මත නතර විණි. අකුරු පේළි තුනක්‌ දර්ශනය වේ. එහෙත් ඒ වචනවල සඳහන්ව ඇති දේ තේරුම් ගැනීමට හැකි බ්‍රාහ්මී අක්‌ෂර කියෑවීමට හැකි විද්වතුන්ට පමණි.

'දවසක්‌ වික්‍රමසිංහ මහත්තයට පහන් ගල බලන්න ඕනා කිව්වහම අපි එතුමත් එක්‌ක මෙතැනට ගියා..' සිරිසේන මහතා නැවත අතීතයට ගියේය.

'සිරිසේනලා මේ ගල ළඟ තිබිලා මොනවද හොයාගත්තා නේද ඒවා පරණවිතානට දාන්න. මමත් මතක්‌ කරන්නම්..'

වික්‍රමසිංහ මහත්තයා එහෙම කිව්වේ 1970 ගණන්වල ගාල්ලේ හිටිය මහා දිසාපති පී. ඒ. ටී. ගුණසිංහ මහතා මේ ස්‌ථානයේ සමීක්‍ෂණයක්‌ කළා. එතකොට මම තමයි කොග්ගල ගම්මුලාදෑනියා විදිහට වැඩ කළේ. එතුමාට ඒ වැඩ කරගෙන යන්න අවශ්‍ය මිනිස්‌සු හොයලා දීලා මමත් ඒ කටයුත්තට දායක වුණා. වැඩේ ලේසි පහසු වුණේ නෑ. ගල ළඟ බහිරව පූජාවකුත් දෙන්න වුණා. ඒ අවස්‌ථාවේ මෙතැන තිබිලා තඹ පෙට්‌ටියක්‌ හොයාගත්තා. ඊ තල යුගලක්‌, හෙල්ලක්‌, සිංහ රූපයක්‌, තඹ කාසි විශාල ප්‍රමාණයක්‌, පිත්තල පහන් ගොඩක්‌ම හොයාගත්තා. මම මේ කියන සියලුම කතාවල ලිත සාක්‍ෂි මා සතුව තියෙනවා. යම් කෙනෙකුට මේ කතා සම්බන්ධයෙන් ගැටලුවක්‌ තියෙනවා නම් මට දන්වන්න. මම කියන දේවල්වල සත්‍යතාව තහවුරු කර පෙන්වන්න නම්..'

'ඒ කාලේ දූපත්වල මිනිස්‌සු පුද පූජා කරලා, බාරහාර වෙලා තියෙන්නේ මේ පහන් ගලට. මිනිස්‌සුන්ට දුක්‌ කරදර ඇති වෙච්ච වෙලාවක මෙතැනට බාර වුණහම ඒ දේවල් මැකිලා යනවා කියලා දූපත්වාසීන්ගේ තදබල විශ්වාසයක්‌ තිබුණා. පැරණි කතාවල කියෑවෙන්නෙ ලංකාවට විජය රඡ්ජුරුව එන්න ඉස්‌සර ඉඳලා සමන කියන රජ කෙනෙක්‌ මේ කොග්ගල ප්‍රදේශය රජධානිය කරගෙන හිටිය කියලයි. ඒ රජතුමාගේ රන් ආභරණ, මුතු, මැණික්‌ නිධන් කරලා තියෙන්නේ මේ ගලේ කියලා තමයි, ගැමියන්ගේ විශ්වාසය. මේ ගල පැලිsලා තියෙන්නේ ඉස්‌සර කාලේ නිධන් හොරු නිධානය ගන්න ගලට බෙහෙත් වක්‌කරලා කියලත් ජන කතාවල තියෙනවා..' කොට්‌ටව සිරිසේන මහතා පහන් ගල ගැන එසේ අපට විස්‌තර කරන්නේය.

හරියටම අඩියක පමණ පරතරයකට ගල මැදින් දෙබෑ වී තිබේ. බැලු බැල්මට වට ප්‍රමාණයෙන් මහා විශාල ගලක්‌ නොවේ. ගල තරමක්‌ උසය. පරිවාර ගල් මෙන් තවත් පුංචි පුංචි ගල් කිහිපයක්‌ම පහන් ගල වටේට දකින්නට තිබේ.

'හුඟ දෙනෙක්‌ හොල්මන්, අවතාර දැකලා තියෙන්නේ මේ පහන් ගල කිට්‌ටුවදි තමයි. සමහර ධීවරයෝ කියනවා හරියටම දවල් දොළහට මේ ගල කිට්‌ටුවෙන් සුරූපී කාන්තාවක්‌ ඔරුවක්‌ පැදගෙන යනවා දැක්‌කා, කියලා. තව අය දැකලා තියෙනවා මේ ගල උඩ ලොකු කළු මිනිහෙක්‌ වාඩි වෙලා ඉන්නවා. ඒ අවතාර දැකපු හැම කෙනෙක්‌ම කලන්තෙ දාලා වැටිලා. ඒ අයම තමයි අපිට ඔය කතා කිව්වේ. රෑට මාළු අල්ලනකොට ගල උඩ රතු පාට ලොකු එළියක්‌ තියෙනවා මමත් අනන්තවත් දැකලා තියෙනවා. හරියටම පන්දම් එළියක්‌ වගෙයි. මම නම් කිට්‌ටුවටවත් යන්නේ නෑ. එහෙම දෙයක්‌ දැක්‌ක ගමන් දියෙන් ගොඩ එනවා. තව අය නිල් පාට එළිත් දැකලා තියෙනවා. රෑට මාළු අල්ලන සමහර අය දැකලා තියෙනවා ගල් දොරක්‌ වගේ දෙයක්‌ ඇරිලා ඒක ඇතුළේ රත්තරං, මැණික්‌ දිස්‌න දෙනවා. කවුරුහරි ඒවා ගන්න ගියොත් ගල් දොර වැහෙනවා. පහන් ගලේ ගල් දොර ඇරෙන්නේ බිල්ලක්‌ ගන්න ඕන වුණහම කියලා ධීවරයෝ දන්නවා. ඒක නිසා එහෙම දෙයක්‌ දැක්‌කොත් මාළු ඇල්ලීම පැත්තකට දලා ධීවරයෝ ගොඩ එනවා. ඒ විතරක්‌ නෙමෙයි සති දෙක තුනක්‌ යනකම් ආයෙත් ඒ පැත්තටවත් යන්නෙ නෑ..' දැන් දැන් සනී අයියත් දන්න සියල්ල අපට විස්‌තර කරන්නේය.

'සනීගේ තාත්තා ජෝන් අයිය දවසක්‌ මේ විදිහට වික්‍රමසිංහ මහත්තයා ඇතුළුව අපිත් එක්‌ක පහන් ගල ළඟට ආවා. ජෝන් අයියා මේ ගල ගැන ගොඩක්‌ දේවල් දන්නවා. ජෝන් අයිය අපට කිව්වා මේ ගල යට විශාල කඩුක්‌කන් ආඳෙක්‌ ඉන්නවලු. සමහර දවස්‌වල රෑට ආඳා ගල උඩට එනවලු. එතකොට උගේ කඩුක්‌කන් දෙක දිලිසෙනවා. ඕක දකින මිනිස්‌සු ගල උඩ එළියක්‌ පේනවා කියලා ළඟට යනකොට ආඳා ඇදිලා යනවා. ජෝන් අයිය දවසක්‌ ඒ ආඳාව දැක්‌ක කියලත් අපිට කිව්වා. ජෝන් අයියලා යකාටවත් බය නෑ. එහෙම බය තිබුණා නම් තනිපංගලමේ දූපතක වසන්න බැහැනේ..'

සිරිසේන මහතාගේ කතාවට සනී අයියා අඩම්බරයෙන් ඉපිලිනි.

ලබන සතියට...

තරංග රත්නවීර
ලලිත් චාමින්ද

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.