පැරණි ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය

මහාචාර්ය
ඒ. ආනන්ද ජයවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලය


ලංකාවේ අධ්‍යාපනයෙහි ස්‌වර්ණමය යුගය ලෙස දැක්‌වෙන්නේ අනුරාධපුර යුගයයි. අනුරාධපුර යුගයෙහි පැවති උසස්‌ අධ්‍යාපනය ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. පොළොන්නරු යුගය දක්‌වා පැවති උසස්‌ අධ්‍යාපනය තුළ ශාස්‌ත්‍රීය හා වෘත්තීය (ශිල්පීය) වශයෙන් විෂයමාලා පැවතුණි. ඊට අමතරව විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව විශේෂඥ මට්‌ටමේ අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසු උසස්‌ අධ්‍යාපනය අවසන් වේ (රුබේරු, 1968ත ජයසූරිය, 1962, ආනන්ද ජයවර්ධන, 2012)

ලංකාවේ අනුරපුර යුගයේ පැවති අභයගිරිය, මහාවිහාරය, ඡේතවනය යන විශ්වවිද්‍යාල උසස්‌ අධ්‍යාපනය ලබා දුන් ආයතන වේ. පොළොන්නරුවේ පැවති ආළහන පිරිවෙන 12 වන සියවසේ පැවති ඉතාම සාර්ථකව පැවති විශ්වවිද්‍යාලයකි. ඔක්‌ස්‌µර්ඩ්, කේම්බ්‍රිඡ් හා ඉතාලියේ පාදුවා, ප්‍රංශයේ අඡේ යනාදී විශ්වවිද්‍යාලවල ආරම්භය සිදුවෙන අවස්‌ථාව වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ඉතාම දියුණු අයුරින් ක්‍රියාත්මක වෙමින් පැවතුණි. මහාවිහාරය ද ඉතා දියුණු අධ්‍යාපනයක්‌ ලබා දුන් විශ්වවිද්‍යාලයකි. බුද්ධඝෝෂ හිමියන් ලියූ විසුද්ධිමග්ගය ද මහාවිහාර විශ්වවිද්‍යාලයට ලබා දුන් නිබන්ධයක්‌ බව රෝලන්ඩ් සිල්වා (2000) පවසයි.

ලංකාවේ අනුරාධපුර යුගයේ පැවති විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රධාන කාණ්‌ඩ දෙකක්‌ යටතේ ක්‍රියාත්මක විය.

1. ථේරවාදය මුල් කර ගත් මහා විහාරය විසින් ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්තිය වූයේ තුන්තරා බෝධියෙන් නිර්වාණය ලබා ගනු පිණිස එයට උපකාරී වන පර්යාප්ති ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන අංගලක්‌ෂණවලින් සමන්විත වූ අධ්‍යාපනයක්‌ ලබා දීමයි.

2. මහායානය මුල් කර ගත් අභයගිරියෙහි හා ඡේතවනයෙහි අධ්‍යාපන ප්‍රතිපත්තිය වූයේ එහි විෂයමාලාව හා සම්බන්ධ වූ භාෂාව, බෝධිසත්ව සංකල්පය, ශාස්‌ත්‍රීය හා වෛද්‍ය වෘත්තීය වැනි අංගලක්‌ෂණවලින් සමන්විත අධ්‍යාපනයක්‌ ලබා දීමයි.


මහාවිහාරික විෂයමාලාව දේශීය අවශ්‍යතා හා අනන්‍යතාවලට ප්‍රධාන ස්‌ථානය දෙමින් සකස්‌ වූ බව පෙනේ. ෆාහියන් හිමියන්ගේ වාර්තාවල මහාවිහාරයෙහි භික්‌ෂුන් 5000 ක්‌ පමණ ද අභයගිරියෙහි භික්‌ෂුන් 3000 ක්‌ පමණ ද වාසය කළ බව දැක්‌වේ. මහාවිහාරයෙහි ගිහි හා පැවිදි අය අධ්‍යාපනය ලබා තිබේ. සංඝතිස්‌ස, සංඝබෝධි, ගෝඨාභය, ධාතුසේන ආදී රජවරුන් මහාවිහාරයෙන් අධ්‍යාපනය ලබා ඇත. මහාවිහාර විෂයමාලාවට ථේරවාදී බුදු දහම ඇතුළත් වූ අතර පාලි ත්‍රිපිටකය, භාෂාවන්, සූත්‍ර, විනය, අභිධර්ම, සිංහල, පාලි, සංස්‌කෘත, අපබ්‍රංශ, පෛෂාවි, ගෞරසේනි, දෙමළ, වේද, වේදාංග, වෛද්‍ය විද්‍යාව, නක්‌ෂත්‍රය, භූතවිද්‍යාව, ඡන්දස්‌, අලංකාර, කාව්‍ය, නාටක, භාෂා සාහිත්‍ය, ඉතිහාසය, පුරාවිද්‍යාව, අර්ථ ශාස්‌ත්‍රය, චිත්‍රකර්මය, ලලිත කලා, යුද්ධ ශිල්පය, ධනු ශිල්පය, කඩු ශිල්පය ආදිය විෂයමාලාවට අයත් විය (යසස්‌සි හිමි, 2014).

සාරානන්ද හිමි (2006) දක්‌වන්නේ මහාවිහාරික විශ්වවිද්‍යාලයීය විෂය මාලාව පහත සඳහන් අයුරිනි.

1. ආගමික (බෝධිසත්ව සංකල්පය, විනය ඉක්‌මවා ධර්මයට මූලිකත්වය, පිරිත්, අභිධර්මය). 2. සාමාජික 3. භාෂාව (සිංහල, පාලි, සංස්‌කෘත, දෙමළ, චීන) 4. ඉතිහාසය 5. සෞන්දර්යය (ඡන්දස්‌, අලංකාර, චිත්‍ර, මූර්ති, කැටයම්) 6.ගණිතය 7. නීතිය 8. වෛද්‍ය ශාස්‌ත්‍රය 9. තර්කය යන විෂයයන් මහාවිහාර විශ්වවිද්‍යාලයෙහි ඉගැන්වූ බවයි.

මහාවිහාර විශ්වවිද්‍යාලය දේශීය මෙන්ම විදේශීය සිසුන් ද අධ්‍යාපනය ලැබූ ජනප්‍රිය විශ්වවිද්‍යාලයක්‌ විය. මහාවිහාරයට ථේරවාදය ඉගෙනීම සඳහා පැමිණි විදේශීය සිසුන් රැසක්‌ ගැන වාර්තා වේ.

1. බුද්ධඝෝෂ හිමි 4. ධම්මපාල හිමි

2. විශාඛ 5. ජප්පට හිමි

3. පීතිමල්ල 6. බුද්ධදත්ත හිමි


මහාවිහාර භික්‌ෂූන් මහායාන අදහස්‌ ථේරවාදී බුදු සමයට එකතු නොකිරීමට වගබලා ගත් බව පෙනේ. මහාවිහාරයට අධ්‍යාපනය ලැබීමට පැමිණෙන සෑම අයෙකුම ද්වාර පණ්‌ඩිත හිමියන් පවත්වනු ලබන පූර්ව පරීක්‌ෂණයකට පෙනී සිටිය යුතු විය. බුද්ධදත්ත හිමියෝ දකුණු ඉන්දියාවේ චෝල දේශයෙන් පැමිණි අතර මහාවිහාරයේ පූර්ව පරීක්‌ෂණයෙන් අසමත් වීම නිසා හෙළඅටුවා ඉගෙනගෙන නැවත දකුණු ඉන්දියාවට ගියහ.

ලංකාවේ පාලි අට්‌ඨකථා ලිවීම මහානාම රජු කල පැමිණි බුද්ධඝෝෂ හිමියන් සිදු කළ බව පිළිගැනේ. බුද්ධඝෝෂ හිමියන් මෙරටට පැමිණ හෙළ අටුවා පාලියට පරිවර්තනය කළ අතර මේ සඳහා මහාවිහාරයේ අනුමැතිය ලබා ගන්නා ලදී. මහාවිහාරික භික්‌ෂුන්වහන්සේලා විසින් කටපාඩමෙන් රැගෙන ආ ත්‍රිපිටකයට අටුවා සිංහල භාෂාවෙන් රචනා කර ඇති බවත්, එසේ රචිත සිංහල අටුවා කථා කෘති හතක්‌ ක්‍රි.ව. 5 වන සියවස වන විට මහාවිහාරයේ පැවති බවත් (යසස්‌සී හිමි, 2014) දක්‌වයි. ඒවා නම්,

1. මහාට්‌ඨ කථාව

2. මහා පච්චරියට්‌ඨ කථාව

3. කුරුන්ද්‍රි අට්‌ඨකථාව

4. අන්ධට්‌ඨ කථාව

5. සංකෙපට්‌ඨ කථාව

6. පොරාණට්‌ඨ කථාව

7. පුර්බට්‌ඨ කථාව

ථේරවාදී මහා විහාර විශ්වවිද්‍යාල (තෘතීය අධ්‍යාපන උසස්‌ අධ්‍යාපන)

සම්ප්‍රදාය හා ලක්‌ෂණ


මිහිඳු හිමියෝ වඩාත් යෝග්‍ය ස්‌ථානය ලෙස මහාමේඝවනය තෝරා ගත්හ. මහාවිහාරය එහි ප්‍රථමයෙන්ම ඇරඹුණ අධ්‍යාපන මධ්‍යස්‌ථානය / පිරිවන වන අතර එය ක්‍රමයෙන් උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ දක්‌වා වර්ධනය වූ බවත් ඔවුන්ට සම්බන්ධ අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාව පුරා පැතිර තිබුණු බවත් පෙනේ. කෙසේ වෙතත් මුල සිටම මහා විහාරය තම අධ්‍යාපන ක්‍රියාවලිය ථේරවාදය මුල් කරගෙන පවත්වාගෙන ගිය බවත්, ඔවුන් එය ඉක්‌මවා යාමට කිසි විටෙකත් උත්සාහ නොකළ බවත් පෙනේ. මහා විහාරය සියවස්‌ දොළහකට අධික කාලයක්‌ ලංකාවේ අධ්‍යාපනය ලබා දුන් කීර්තිමත් ආයතනයකි. මහාවිහාර අධ්‍යාපන රටාව තුළ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන අංශයන්ට ප්‍රමුඛස්‌ථානය ලබා දෙන ලදී. ඒ අනුව මහා විහාරය ථේරවාදය අනුව යමින් තුන්තරා බෝධියෙන් නිර්වාණය ලබා ගැනීම සඳහා උක්‌ත අංශ තුනට අනුව ක්‍රියා කළ බව සාරානන්ද හිමි, (2006.) දක්‌වයි. එමෙන්ම මෙම මහා විහාරික අධ්‍යයන රටාව දේශීය අනන්‍යතාවලට ගරු කරන ලදී.

සිංහල බෝධිවංශයට අනුව මහා විහාර විශ්වවිද්‍යාල ආයතනයට ප්‍රධාන ගොඩනැගිලි හතක්‌ තිබුණු බව පැවසේ.

1. භික්‌ෂූන්ගේ විනය කර්ම සඳහා විචුල මාලකය

2. ජන්තාඝරය හෙවත් ගිනිහල්ගෙය

3. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටුවීම හා ආශ්‍රිත ගොඩනැගිලි

4. ලෝවාමහාපාය නම් ස්‌ථානයෙහි උපෝසතාගාරය

5. භික්‌ෂු පිරිකර බෙදන පැනමළුව

6. භික්‌ෂු දන් ශාලාව

7. මහා ස්‌තූපය පිහිටුවීම ආශ්‍රිත ගොඩනැගිලි


සිංහයකුගේ හැඩරුව එන පරිදි මහා විහාරයෙහි සියලු අංග භූමි ස්‌ථාපනය කර ඇති බව බෝධිවංශය දක්‌වයි. මේ අනුව මහා විහාරය විශාල ප්‍රදේශයක පැතිරී තිබුණි.

මහා විහාර විශ්වවිද්‍යාලයෙහි ප්‍රධාන ඉගැන්වීම් කටයුතු කරන ලද්දේ ලෝවාමහා ප්‍රාසාදයෙහිය. මෙහි පැවති පංති හඳුන්වන ලද්දේ මණ්‌ඩල නමිනි. පඤ්චනිකාය මණ්‌ඩල, චතුනිකාය මණ්‌ඩල ආදිය නිදසුන් වේ. පංචනිකාය මණ්‌ඩලයෙහි පස්‌මහ ස`ගියත්, චතු නිකාය මණ්‌ඩලයෙහි සිව්මහා ස`ගියත් උගන්වන ලදී. මෙම පංති සමත් වූවන්ට එම නම්වලින් සහතික ප්‍රදානය කළ බවත් පෙනේ. නැතහොත් එම නාම පිරිනමා ඇත (විමලකිත්ති හිමි, 1960).

මහා විහාරය නිර්මල බුදු දහම හෙවත් ථේරවාදයෙහි මධ්‍යස්‌ථානය බව විදේශයන්හි පවා ප්‍රසිද්ධ වී තිබුණි. එබැවින් බුද්ධඝෝෂ හිමි, විසාඛ, පීතිමල්ල, ධම්මපාල, ජප්ප හිමි වැනි වියතුන් මහා විහාරය විශ්වවිද්‍යාල ආයතනය වෙත පැමිණ අධ්‍යාපනය ලබා ඇත. ෆාහියන් හිමි ත්‍රිපිටක පොත් සොයාගෙන ලංකාවට පැමිණියේ මහා විහාරය එකල ථේරවාදයට ප්‍රසිද්ධ වූ නිසාය. මහා විහාරය විශ්වවිද්‍යාලයක්‌ව පැවති බව තහවුරු වන්නේ බුද්ධඝෝෂ හිමි වැනි ප්‍රසිද්ධ වූ වියතුන් තව දුරටත් ඉගෙනීමට මහා විහාරයට පැමිණීම නිසාය. මහා විහාරයෙහි වැඩහුන් ආචාර්යවරුන් පිළිබඳව නිකාය සංග්‍රහය දක්‌වයි. ''මහින්ද, ඉට්‌ඨ§ය, උත්තිය, සම්බල, භද්දපාල, අරිට්‌ඨ, තිස්‌ස දත්ත, කායසුමන, දීඝසුමන, මහානාග, බුද්ධ රක්‌ත, තිස්‌සදේව සුමන, චූලනාග, ධම්ම පාලිත, ෙ€මය, උපතිස්‌ස, ඵුස්‌සදේව, සුමන, මහාසිව, උපාලි, පුප්පනාම, මහානාග, අභය තිස්‌ස, ඵුස්‌සනාම, චූලාභය, තිස්‌ස, චූලදේව, සිව ස්‌ථවිර'' යන ආචාර්යවරුන් නිකාය සංග්‍රහය දක්‌වන ආචාර්යවරුන් වේ.

ධර්මකීර්ති හිමි, (1991.) උක්‌ත මහා විහාරික ආචාර්යවරුන්ට අමතරව ත්‍රිපිටක චුල්ල සුධම්ම හිමි, ත්‍රිපිටක ධම්ම රක්‌ත හිමි, මහා සුධම්ම හිමි, ත්‍රිපිටක චුල්ලසුමන හිමි, චූළසමුද්ද හිමි, චතු නිකායක පණ්‌ඩිත තිස්‌ස හිමි, ත්‍රිපිටකධර වත්තබ්බත හිමි, නිග්‍රෝධ හිමි, මහාසෝර හිමි, ජාතිකභානක මහා පදුම හිමි, ආභිධම්මික ගෝදත්ත හිමි, ධම්මික ගෝධ හිමි ආදීන් ද ආචාර්යවරුන් ලෙස මහා විහාරයෙහි සේවය කළ බව සඳහන් කරයි.

නිකාය සංග්‍රහයෙහි, (1934.) තව ප`ඩිවරුන් රැසක්‌ ගැන දක්‌වයි. ''සක්‌දාමලය, අසක්‌දාමලය, දැමිය, බැමිරිය, දළබිසෝය, අනුරුත් කුමරුය, දළසල කුමරුය, කිත්සිරි කුමරුය, පුරවඩු කුමරුය, සූරියබාහුය, කසුප්තොට ඈපාය'' යන අය දොළොස්‌මහා කවීන් ලෙස දැක්‌වේ.

මහා විහාර විශ්වවිද්‍යාලයීය ආයතනය මෙන්ම මේ ආයතනයට අයත් වූ පුස්‌තකාලය ද ඉතා වැදගත් වෙයි. එකල පැමිණි විද්වතුන් මෙම පුස්‌තකාලය ඇසුරින් අධ්‍යාපනය ලැබීමට දැඩි උනන්දුවක්‌ දැක්‌වූ බව පැහැදිලි වේ. ථේරවාදී සම්ප්‍රදායට අයත් සියලු කෘතීන් මෙන්ම වෙනත් දර්ශනවාදවලට අයත් කෘති ද තිබූ බව පෙනේ. ධර්මකීර්ති හිමි, (1991.) බුද්ධඝෝෂ හිමියන්ට ආචරියවාද, කේවිවාද, විතණ්‌ඩවාද ආදී ථේරවාදයට ඇතුළත් නොවූ පොතපත මහා විහාර පුස්‌තකාලයෙන් ලැබුණු බව දක්‌වයි. ධම්මකීර්ති හිමි (1991) දක්‌වන්නේ ගිහි උගතුන් ගැන සඳහන් නොවෙතත් නිකාය සංග්‍රහයෙහි දැක්‌වෙන ''සක්‌දාමලය, අසක්‌දාමලය, දැමිය, බැමිරිය, දළබිසෝය, අනුරුත් කුමරුය, දළහොත් කුමරුය, දළසල කුමරුය, කිතිපිරි කුමරුය, පුරවඩු කුමරුය, සුරියබාහුය, කසුප්තොට ඈපාය'' යන දොලොස්‌ මහා කවීන් මහා විහාර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලත් අය බවයි. මහා විහාර විශ්වවිද්‍යාල ආයතනයෙහි ද ලෞකික විෂයයන් ඉගැන්වූ බවට විවිධ ඉ`ගි ලැබේ. ලෝවාමහාපායෙහි සැලසුම භික්‌ෂූන් ඇඳ දුන් බව දැක්‌වීමෙන් ද රුවන්මැලිසෑයේ කර්මාන්ත භාරව මහාවිහාරික භික්‌ෂූන් කටයුතු කළ බව දැක්‌වීමෙන් ද මේ බව තහවුරු වේ යෑයි ධර්මකීර්ති හිමි (1991) දක්‌වයි. මුළුමනින්ම ලෞකික විෂයයන් මහා විහාර විශ්වවිද්‍යාලයෙන් බැහැර කළ බව මේ අනුව සිතීම අපහසුය. මොවුන් සියලූම විෂයයන් පොදු ජනතාවගෙන් දුරස්‌ථ කරන ලද්දේ නම් මහා විහාරය වසර දහසකට අධිකව පැවතිය නොහැකි වන අතර එය ඉක්‌මනින් පරිහානියට පත්වීමට ඉඩ තිබුණි. අභයගිරි විශ්වවිද්‍යාලය තරම් දැඩි ලෙස ලෞකික අංශයට මහාවිහාර විශ්වවිද්‍යාලය අවධානය යොමු නොකළ බව පෙනේ.

බෝධිසත්වයකු වී බුද්ධත්වයට පත්වී සෑම අයෙකුම නිර්වාණය කරා යාම එකම ක්‍රමය ලෙස දැක්‌වීම නිසා සෑම පුද්ගලයෙකුම බෝධිසත්වයකු ලෙස හැඩගැසීමත්, බුද්ධත්වය ලැබීමට අපේක්‌ෂණ ඇති කිරීමත්, බුද්ධත්වය වැනි ශ්‍රේෂ්ඨ තත්ත්වයකට පත්වීමට මානසිකත්වය සංවර්ධනය කිරීමත්, මහායාන දර්ශනයෙන් සාමාන්‍ය ජන සමාජය වෙත ලබා දී තිබුණි. එබැවින් සැම අයෙකුම බුද්ධත්වය ලැබීමට ලෞකික කරුණු හෙවත් ප්‍රජාවට සේවය කිරීමටත්, ඒ සඳහා දැනුමින් සන්නද්ධ වීමටත්, සිදුවීම මහා විහාරයෙන් සිදු වූයේ නැත. ඔවුහු සාමාන්‍ය ඉගැන්වීම ලෙස බොහෝ අඩු ප්‍රමාණයක්‌ ලෞකික විෂයයන් තම විශ්වවිද්‍යාල විෂයමාලාවට එක්‌ කළ බව පෙනේ. එබැවින් ලෞකික විෂයයන්ට අඩු අවධානයක්‌ යොමු වී තිබුණි.

මහා විහාර අධ්‍යාපන භාවිතය අනුව ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය ප්‍රධාන පියවර පහක්‌ අනුව සංවිධානය කර ගත් බව පෙනේ.

1. සුත - ශ්‍රවණය

2. ධත - ධාරණය කර ගැනීම

3. වාච්‍ය පාරමිතා - භාවිතයට පත් කර ගැනීම

4. වාසානුපෙක්‌ඛනා - ප්‍රත්‍යවේක්‌ෂණය කිරීම

5. දිට්‌ඨායාසුප්පටිවිද්‍යා - අවබෝධය ලැබීම

මෙය මහා විහාරකයින් අනුගමනය කළ බව පෙනේ.


බුදුන්වහන්සේගේ දර්ශනය අනුව බුදු දහම ඉගැන්වීමේ දී ශ්‍රාවකයින්ගේ භාෂාව (අධ්‍යාපන) මූලධර්මයක්‌ ලෙස භාවිත කළ යුතු බව දක්‌වා තිබේ (පොල්වත්තේ බුද්ධදත්ත හිමි, 1959).

කතුරු මහත්දමන ටැම්ලිපිය අනුව ආරෝග්‍ය ශාලාවක භික්‌ෂුණීන් සාත්තු සේවිකාවන් ලෙස කටයුතු කළ බව සඳහන් වේ. ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥයින් පංසල්වලට ලැබෙන ආදායමෙන් වැටුප් ලැබූ බව (Archaeological Survey of Ceylon, 1954) දැක්‌වේ.

රුවන්වැලිසෑයේ සැලසුම් භික්‌ෂූන් සකස්‌ කළ බව මහාවංශයේ සඳහන් වීමෙන් භික්‌ෂූන්ගේ වාස්‌තුවිද්‍යා දැනුම පැහැදිලි වේ. නන්ද නම් භික්‌ෂුව චීනයට ගොස්‌ ප්‍රතිමා ශිල්පය පිළිබඳ දැනුම ලබා දුන් බව ලංකා විශ්වවිද්‍යාලයීය ඉතිහාසය (1962) දක්‌වයි. ථූපවංශය (1969) අනුව රුවන්වැලිසෑ ධාතු ගර්භයේ චිත්‍ර භික්‌ෂූන්වහන්සේ විසින් අඳින ලද බව සඳහන් වේ. මහාවංශයට (2002) අනුව ආභිධම්මික ගෝධත්ත තෙරුන්වහන්සේ ඉතා දක්‌ෂ ලෙස නඩු විසඳා ඇති නිසාත්, අග විනිසුරු ලෙස පත් කරගෙන ඇති නිසාත්, භික්‌ෂූන් වහන්සේ ද නීතිය ගැඹුරින් හදාරා ඇති බව පෙනේ. මේ අනුව මහා විහාරික භික්‌ෂුන් ද අභයගිරිකයින් මෙන් තරමක ලෞකික විෂයයන් හදාළ බවත්, ඒවා භාවිතයට ගත් බවත්, පෙනේ. එසේ වුව ද අභයගිරිකයින් තරම් දැඩි අවධානයක්‌ ඔවුන් මේ සඳහා යොමු නොකළ බවත් හෙළිවෙයි.

භාණකවරුන් පත් කිරීම ද මහා විහාරික විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි විශේෂ අවස්‌ථාවකි. බුද්ධ දර්ශනයට අයත් සියලූ කොටස්‌ කටපාඩමින් පවත්වාගෙන යාම භාණක ක්‍රමය වේ. එක්‌ එක්‌ භික්‌ෂු ගුරු කුල මගින් භාණක ක්‍රමය පවත්වාගෙන ගියත් එහි වගකීම දරන ලද්දේ මහා විහාර විශ්වවිද්‍යාලය මගිනි. අංගුත්තර භාණක, අරියවංශ භාණක, උභතෝ විභංග භාණක, ජාතක භාණක, දීඝ භාණක, ධම්මපද භාණක, සංයුත්ත භාණක, මඡ්Cධිම භාණක, මහා වත්තාරියක භාණක, විභංග භාණක ආදී වශයෙන් මෙම භාණකවරුන් පත් කර ගන්නා ලද අතර ඔවුන් කටපාඩමින් එම කොටස්‌ පවත්වා ගන්නා ලදී.

මහා විහාර විශ්වවිද්‍යාලයෙහි පැවති විභාග ක්‍රමය හෙවත් ඇගයීම් ක්‍රමය ද ඉතා වැදගත් වේ. අධ්‍යාපන ක්‍රියාවලිය තුළ පවතින ඇගයීම් ක්‍රමය තුළ වලංගුභාවය හා විශ්වශ්‍යතාව ඉතා වැදගත් අංගයකි. මේවා ආරක්‌ෂා වන පරිදි මහා විහාර විශ්වවිද්‍යාල ඇගයීම් භාවිත කළ බව පෙනේ. මහාවංශය අනුව භාණක තනතුරු මහා විහාරය මගින් ප්‍රදානය කර ඇත්තේ මහා විහාරික ඇගයීම් මණ්‌ඩලයක්‌ මගිනි. එම විශේෂඥ මහා විහාරික ඇගයීම් මණ්‌ඩලය ඉදිරියෙහි භාණක තෙරුන් විසින් කටපාඩමෙන් කියූ පසු එම තනතුරු ප්‍රදානය කර ඇත.

එක්‌ අයෙකුගේ ඇගයීමකින් භාණක තනතුර ප්‍රදානය කළේ නම් එහි විශ්වශ්‍යතාව හා වලංගුතාව නැතිවනු ඇත. එය පක්‌ෂග්‍රාහී එකක්‌ ලෙස සැලකිය හැකිය. මහා විහාරික ඇගයීම් මණ්‌ඩල ක්‍රම ඇගයීමේ දී ඉතාම උසස්‌ ලෙස භාවිත වූයේ එබැවිනි.

බුද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද විසුද්ධිමග්ගය මහා විහාරයෙහි ද්වාර පණ්‌ඩිතට ලබා දුන් බව සඳහන් වේ. ද්වාර පණ්‌ඩිත යනු විභාග පරිපාලකවරයා හෙවත් විභාග ලේඛකාධිකාරීවරයාය. එසේ නම් ඉහළ තත්ත්වයෙහි විභාග අංශයක්‌ මහා විහාර ආශ්‍රිතව තිබූ බව භානකවරුන් සඳහා පැවති ඇගයීම් මණ්‌ඩලයෙන් හා විභාග ලේඛකාධිකාරීවරයෙක්‌ පවත්වාගෙන යාමෙන් පෙනේ. මෙය නාලන්දා ආදි ඉන්දියානු විශ්වවිද්‍යාල සම්ප්‍රදායේ ද පැවති ඇගයීම් ක්‍රමයකි.

මහා විහාර විශ්වවිද්‍යාලයෙහි බෞද්ධ පර්යේෂණ කටයුතු කිරීමට බුද්ධඝෝෂ හිමිට එක්‌ වරම අවස්‌ථාව ලබා දුන්නේ නැත. එතුමාට සුළු පර්යේෂණ නිබන්ධයක්‌ කර සුදුසුකම් පරීක්‌ෂා කරන ලදී. එහි සමත්වීම සලකා බෞද්ධ පර්යේෂණ කිරීමට මහා විහාර විශ්වවිද්‍යාලය අවස්‌ථාව ලබා දී ඇති බව පෙනේ. මෙම ක්‍රමය ද මහාවිහාර විශ්වවිද්‍යාල සම්ප්‍රදාය මගින් ක්‍රියාත්මක කළ ඇගයීම් ක්‍රමයකි.

ලබන සතියට - අභයගිරිය හා ඡේතවන විශ්වවිද්‍යාල (උසස්‌ අධ්‍යාපන තෘතීක අධ්‍යාපන) සම්ප්‍රදාය හා ලක්‌ෂණ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.