කුඩු සහ කුඩේ කුඩු

වඩේ කරත්තයකින් පැමිණ පාසල් සිසුන්ට බාබුල් විකුණූ පුද්ගලයකු ගැනත්, මත්ද්‍රව්‍ය සහිත පැණිබීම විකුණන පුද්ගලයන් පස්‌දෙනකු ගැනත් ඊයේ (8 දා) 'දිවයින' පළ විය. මේ රටේ බාල පරපුර මුහුණ පා තිබෙන අවදානමෙන් ස්‌වල්පයක්‌ මේ පුවත් මගින් හෙළි කරනු ලැබේ. මේ රටේ ළමයා පාසල් යනවා ය කියා නිවසින් පිටත්ව යන පාර දෙපස, බාබුල්, මත්බීම, කේරල ගංජා, කුඩු, එක්‌ස්‌ටසි හෙවත් 'ටැබා' නමැති මත් පෙති, කටට 'ස්‌ප්‍ර'කරන මත් බීම වැනි යක්‌කු සිටිති. මේ අය අතින් අපහරණය වූ ළමයා පාසලට යන විට එතැනත් ප්‍රශ්න ගොඩකි. එක්‌කෝ ක්‍රීඩා පුහුණුකරු හෝ බාලදක්‍ෂ උපදේශක තැන පිරිමි ළමයකු කෙළෙසලා ය. එහෙමත් නැත්නම් විද්‍යාව උගන්වන උපදේශකතුමා හෝ ඉංග්‍රීසි උපදේශකතුමා ශිෂ්‍යාවක කෙළසලා ය. පාසලේ පරිගණක කාමරය තුළදී ඉතා කුඩා දැරියක දූෂණය කළ ගුරු භවතකු ගැන පුවතක්‌ මීට දෙමසකට පමණ පෙර අපි ඇසුවෙමු. දෙමාපියන් වෙතින් ගුටි කෑ එතුමා පොලිසියට හෝ රෝහලට යවනු පිණිස වෑන් රියකට නංවන ආකාරය රූපවාහිනී චැනලයක්‌ ඔස්‌සේ පෙන්වන ලද්දේ ය. මේ තමයි ඇතැම් ගුරු භවතුන්ගේ තත්ත්වය. මෙවැනි එක මකුණකු නිසා සමස්‌ත මකුණු සංහතියටම මැරුම් කෑමට සිදුවෙයි. 1959 සැප්තැම්බර් 25 වැනිදා එවකට අගමැති වූ එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා චීවරධාරියකු වෙතින් වෙඩි කෑවේ ය. පසු දින එතුමා මළේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ භික්‍ෂුන් වහන්සේලා වැඩිදෙනකුට මඟට බැස පිණ්‌ඩපාතය ඉල්ලීමටවත් බැරි තත්ත්වයක්‌ හට ගැනීම ය. මිනිස්‌සු සියලුම බෞද්ධ භික්‍ෂුන් වහන්සේ දෙස වෛරයෙන් බැලීමට පටන් ගත්හ.

ඊයේ 'දිවයින' සඳහන් වූ මත්ද්‍රව්‍ය පුවත් දෙක විමසන විට මේ ළඟදී අප ඇසූ ශෝකජනක කතාවක්‌ නැවත මතක්‌ විය. මෙය කොළඹ පිරිමි පාසලක කතාවකි. බටහිර නාට්‍ය සාහිත්‍යය ගැන සුවිශේෂ ඇල්මක්‌ සහ දැනුමක්‌ ඇති දරුවකු මේ පාසලෙහි විය. සා. පෙළ පන්තියෙහි උගන්නා සමයේදී මේ දරුවාගේ කලිසම් සාක්‌කුවක තිබී කුඩු පැකට්‌ටුවක්‌ මවට හමුවිය. දරුවා ඒ වන විටත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී මාස කිහිපයක්‌ ගතව තිබූ බවත්, කුඩු යනු සඟවාගෙන පරිහරණය කළ යුතු තහනම් භාණ්‌ඩයක්‌ බව දරුවා දැන නොසිටි බවත් පසුව හෙළි විය. සිද්ධියෙන් පසු එම දරුවාගේ සෙසු පන්ති සගයන්ගේ මවුවරු සහ පියවරු 'දිවයින'ට පැමිණ මේ කතාව අපට කිවූහ.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ඉතිහාසය පටන් ගත්තේ රා මුට්‌ටියෙන් සහ දුම්කොළ නැට්‌ටෙන් ඉන්පසු අබිං ගුලියෙන් සහ ගංජා මිටියෙනි. මේ සියලු බඩුවලට සමාන්තරව අරක්‌කු බෝතලය ද මේ රටේ කවදත් තිබිණ. 1930 ගණන් වන විට හෙරොයින්, හෂීස්‌, ඇතුළු නූතන මත්ද්‍රව්‍ය සියල්ල යුරෝපීය සහ ලතින් ඇමරිකන් ප්‍රජාව විසින් සොයාගෙන තිබිණි. මෙකල ලංකාවේ මත්ලෝලී තරුණ තරුණියන් අතර ප්‍රචලිත 'එක්‌ස්‌ටසි' හෙවත් ටැබා නමැති මත්පෙත්ත සොයා ගත්තේ 1936 දීය. සියලු නූතන මත්ද්‍රව්‍ය ලංකාවට එන්නේ 1975 න් පසුව ය. 1980 වන විට එකී සියලු නූතන මත්ද්‍රව්‍ය වලින් මෙරට සමාජය සන්තෘප්ත වී අවසන් ය.

මෙතැන් සිට කතා කරන්නට වන්නේ ජාතියේ පරිහානිය ගැන ය. එය සිංහල ජාතියේ පරිහානිය පමණක්‌ නොව දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ ඇතුළු සියලු ලාංකීය ජාතීන්ගේ පරිහානියයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.