දෙමළ සන්ධානය ෆෙඩරල් ඉල්ලයි
ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්‌වමින් සම්බන්ධන් තම අරමුණ හෙළිකරයි


යාපනයේ පැවැති මාධ්‍ය හමුවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අදහස්‌ දැක්‌වූ අයුරු. පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සෙසු නියෝජිතයෝ ද ඡායාරූපයේ වෙති.


දිනසේන රතුගමගේ

උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් සෙවීම පිණිස බලය විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ක්‍රමයකට යැම තම අපේක්‍ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්‌වමින් එහි නායක ආර්. සම්බන්ධන් පෙරේදා (25 දා) යාපනයේදී පැවැසීය.

දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වීම සඳහා යොදාගෙන තිබුණේ යාපනයේ උඩුවිල්, මරදනාර්තොට්‌ටම් ක්‍රීඩාංගණයයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වීමේ අවස්‌ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා අමාත්‍යවරු මෙන්ම මන්ත්‍රීවරුද, සෙසු දේශපාලන ක්‍රියාධරයෝද විද්වත්හුද සහභාගි වී සිටියහ.

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වීමෙන් පසුව අදහස්‌ දැක්‌වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ වන අන්දමට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට බලය බෙදාහැරෙන ෆෙඩරල් ක්‍රමයකට යැම දෙමළ ජාතික සන්ධානය තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අපේක්‍ෂා කරන බවයි.

උතුරු පළාත් සභාවට අවශ්‍ය සියලු බලතල ලබාගැනීමටද අපේක්‍ෂා කරන බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා යළි පදිංචි කරවීම ඇතුළු දෙමළ ජනයා වෙනුවෙන් බලාපොරොත්තු වන සෙසු අපේක්‍ෂාවන්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත්ව ඇති බව සඳහන් කළේය.

මැතිවරණය අවසන් වනතුරු කවර පක්‍ෂයක්‌ සමඟ හෝ සාකච්ඡා නොකරන බවත් බලයට පත්වන රජය සමඟÊසාකච්ඡා කොට දෙමළ ජාතික සන්ධානය අපේක්‍ෂා කරන දේවල් ලබාදෙන්නේ නම් පමණක්‌ එම රජයට සහාය ලබාදෙන බවත් ඔහු පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.