තන්වැසියා දුටු දෙය
සුළං කුරුල්ලෝ

කොළඹින් පිටත් වුණු 138 මහරගම බස්‌ රථය හොඳට හැදිච්චි ඉලන්දාරියෙක්‌ වගේ යස අගේට ඉබ්බන්වල හන්දියට ආවා. විදුලි එළි පුවරුව නිසා ටිකක්‌ වෙලා නතර වෙලා ආයෙ ගමන ආරම්භ කළා. මේ බස්‌ එකේ ගියා හිත්තැටිය කියල පුද්ගලයෙක්‌. ඔහු බස්‌ රථයේ හරි මැදට වෙන්න වගේ වාඩිවෙලා නිදහසේ කල්පනා කර කර ගියා.

හිත්තැටියගෙ ඉදිරිපස ආසනේ වීදුරු කවුළුව පැත්තෙ තරුණියක්‌ වාඩිවෙලා ගමන් ගත්ත. අනිත් පැත්තෙ හිටියෙ තරුණයෙක්‌. මේ දෙන්නම දිහා බලල හිත්තැටිය හිතුවෙ දෙන්නම ජාත්‍යන්තර වෛරක්‌කාරයො දෙන්නෙක්‌ වගේ කියලා.

බස්‌ එක ටවුන්හෝල් ඇස්‌වාට්‌ටුව පහුකරද්දීම රියෑදුරු මහත්තයා ගීත තැටියක්‌ දැම්මා.

පිපී පිපී රේණු නටන

වරෙන් වරෙන් සුළං පොදක්‌ ගෑවිලා

දෙන දෙයියෝ දීලා

පුංචි ඉල්ලම පැදුනා

ඒ ගීතය ප්‍රචාරය වුණේ වැරදි වේගයෙන්. හිත්තැටිය දැඩි අප්‍රසාදයෙන් පිටුපස පැත්ත බැලුවා. ආයෙ ඉස්‌සරහට හිස හැරෙව්ව. එවිටම ඉදිරිපස හිටපු පුද්ගලය හිස හොල්ල හොල්ල වැරදි වේගයෙන් ප්‍රචාරය වෙච්ච ගීතයටත් තාලෙ අල්ලන්න ගත්ත. රියෑදුරා වහාම ක්‍රියාත්මක වන පරිදි ගීතය නතර කරල තවත් තැටියක්‌ දැම්මා. මහා විශාල ඝෝෂාවක්‌ එක්‌ක කොත්තු රොටි ගහන ශබ්දයක්‌ වගේ ශබ්දයක්‌ ඇවිත් හා......හා.....කොල්ලනේ....... කෝ....කෝ...... හූව කිය කියා මහා හයියෙන් බෙරිහන් දුන්න ගායකයෙක්‌. සාමාන්‍යයෙන් හූ කියන්නෙ සවුත්තුවට නේ. අප්‍රසාදයට නේ. මේ මනුස්‌සය ආයෙත් කෑ ගහනව මල්....ලි...යෙ...කෝ...කෝ... හූව.....කියල...හු බලහත්කාරයෙන් කියව ගන්නව......ඊළඟට තවත් ගීයක්‌ පටන් ගත්තා ගෝවේ ගෑනු පරාදයි... රූපේ.....ඒ ඒ ඒ රූපේ මහද පිනා.....හා යයි....නොමැතිව දැස...... මල්ලි..යේ...යේ...කෝ.....හූව කියල ගීතය අණ්‌ඩර දෙමළයක්‌ කර කර කියන්න ගත්තා. අර ජාත්‍යන්තර වෛරක්‌කාරයෝ වගේ හිටපු තරුණ ජෝඩුව වෙරි මරගාතෙ වගේ දෙපැත්තට වැනෙන්න ගත්ත. මේ දෙන්න තරුණ ජෝඩුවක්‌.

හිත්තැටිය උන්නැහේ මේ සේරම බලාගෙන හූල්ලන්න ගත්ත. ඔන්න ඊට පස්‌සේ තමයි මාර කේස්‌ එක පත්තු වුණේ.

ඊට පස්‌සේ ජෝතිපාල මහත්තයාගෙ ගීතයක්‌ විකෘති කරල අර ගායකයම කියන්න ගත්තා. වේග රිද්මයක උච්චතම ලකුණු එතැන තිබුණා.

මම ගන්නෙමි කර කාර බන්දාල පුංචි....කෝ මල්ලියේ හූව.....කිය කියා එකම ලතෝනියක්‌ ආව.

අර තරුණය ගෑනු ළමයගෙ මම ගන්නෙමි කියල කෙස්‌සෙන් ඇදල අරගෙන ඇඟට හේත්තු කරගෙන කාරකාර බන්දාල කියන කොටම අත පයටයි මූණටයි පපුවටයි අතින් ගහගෙන ගහගෙන ගියේ හරියට ඩ්‍රම් සෙට්‌ එකක්‌ අතට අහුවුණා වගේ. තට්‌ටමට දෙකක්‌ දීල කම්මුලට එකක්‌ ගහනව. ඔය විධියට ගීතයත් එක්‌ක මේ දෙන්න එකම විගඩමක්‌ බස්‌ එකේ නටනව. මිනිස්‌සු තම තමන්ගේ ලෝකවල සැරිසරනව මිසක්‌ හාංකවිසියක්‌. මේ මර ලතෝනි ගැන සද්දයක්‌ බද්දයක්‌ නැහැ.

එ නමුත් හිත්තැටිය උන්නැහේට උන්න මළා පෙනුනේ නැ. ඔහු මෙහෙම කිව්වා.

යකෝ මේක බස්‌ එකක්‌. මේකෙ මිනිස්‌සු ඉන්නෙ. උඹල ඕනෑ නැටුමක්‌ නටා ගනිල්ලා ගෙදර ගිහිල්ල. තමුසෙට විනයක්‌ කියල දෙයක්‌ ඇඟිල්ලකවත් ගෑවිලාවත් නෑ. කාන්තාවකට යකෝ ගෞරවයෙන් සලකපං. තෝ හදල තියෙන්නෙ කව්ද යකෝ. ඉස්‌සරවෙලා හිතපන් ගෑනු ළමයකුගෙ ගෞරවය ගැන. ළමිස්‌සියොත් දැනගන්න ඕන වැරදි වැඩවලට විරුද්ධ වෙන්න. තව එක පාරක්‌ ඔය ළමයගෙ ඇඟට අතපය බලන්න. කෙළින්ම පොලිසිය බස්‌ එකට ගෙන්නනව හිත්තැටියගෙ කතාවට මීයට පිම්බ වගේ බස්‌ එක නිහඬ වුණා. ගීතයත් නැවතුණා. තරුණය උඩබිම බල බලා මහපොළොව හාරන්න ක්‍රමයක්‌ බල බලා හිටිය.

ඊට පස්‌සේ රියෑදුරා තව තැටියක්‌ දැම්මා.

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලි... මේ ගීතය ඇසෙනවාත් එක්‌කම තරුණ ජෝඩුව බසයෙන් බැහැලා ගියා.

අශෝක කාරියවසම්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.