සංස්‌කෘතියෙන් කෝටි 2 ක්‌ ගිලී

නිලන්ත මදුරාවල

කැබිනට්‌ මණ්‌ඩලයේ හෝ රාජ්‍ය ආයතනයක අනුමැතියකින් තොරව බාහිර පුද්ගලයකුගේ අවශ්‍යතාව මත සකස්‌ කරන ලද "අපේ උරුමය" නම් ශ්‍රව්‍ය දෘෂ්‍ය වාර්තාමය වැඩසටහනක්‌ සඳහා මධ්‍යම සංස්‌කෘතික අරමුදල රුපියල් දෙකෝටියකට අධික මුදලක්‌ වැය කර ඇත.

"ස්‌වර්ණ නිර්මාණ" නම් පෞද්ගලික ආයතනයක හිමිකරුවා යෑයි කියන පුද්ගලයෙක්‌ මෙවැනි වැඩසටහනක්‌ සකස්‌ කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් හිටපු සංස්‌කෘතික සහ කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාට ලිපියක්‌ ඉදිරිපත් කර ඇති අතර ඇමැතිවරයා එය අනුමත කර තිබේ. එම ලිපියේ සඳහන් ඇස්‌තමේන්තු මුදල රුපියල් හතළිස්‌ දෙලක්‍ෂ පනස්‌ දහසක්‌ වුවද අවසානයේ මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ඉහළම නිලධාරියකුගේ අනුමැතිය මත ඒ සඳහා රුපියල් දෙකෝටියකට අධික මුදලක්‌ වැය කිරීම බරපතළ තත්ත්වයක්‌ යෑයි මේ සම්බන්ධයෙන් කරන ලද විගණනයක සඳහන් කර ඇත.

මධ්‍යම සංස්‌කෘතික අරමුදල සහ පෞද්ගලික ආයතනය සමඟ ඇති කරගත් ගිවිසුම අනුව "අපේ උරුමය" වැඩසටහන ඇතුළත් DVD (ඩීවීඩී) පට පසුගිය ජනවාරි මස 19 වැනිදා සිට භාරදිය යුතු වුවද විගණන දින වූ පසුගිය අප්‍රියෙල් මාසය වන විටත් DVD (ඩීවීඩී) පට ලැබී නොතිබියදීත් අරමුදල රුපියල් හතළිස්‌ පන්ලක්‍ෂ අනූපන්දහසකට අධික මුදලක්‌ පෞද්ගලික ආයතනයට ගෙවා තිබේ.

මධ්‍යම සංස්‌කෘතික අරමුදල මෙම ආයතනය සමඟ කටයුතු කර ඇත්තේ පවතින නීති රීති උල්ලංඝනය කරමින් බව ද විගණනයේදී අනාවරණය වී ඇත.

2014 වසරේදී රුපියල් 2297740 ක්‌, 2013 වසරේදී රුපියල් 3614825 ක්‌, 2012 වසරේදී රුපියල් 6426150 ක්‌ හා 2011 වසරේදී රුපියල් 940200 ක්‌ වශයෙන් වරින්වර එම පෞද්ගලික ආයතනයට ගෙවනු ලැබ තිබේ. මෙලෙස මුදල් ගෙවා ඇත්තේ "අපේ උරුමය" වාර්තා වැඩසටහන ඇතුළත් වන DVD (ඩීවීඩී) පට ලැබීමට පෙර වීම විශේෂත්වයකි. ඇතැම් අවස්‌ථාවල මුදල් ගෙවීමෙන් පසු මාස විසිඑකක්‌ ගතව තිබියදීත් DVD (ඩීවීඩී) පට ලැබී නොතිබූ බව ද විගණනයේදී හෙළිකර ගැනීමට හැකිවී ඇත.

රූපගතකිරීම් සඳහා 2012 වසරේ ජනවාරි මාසයේදී පැය පහක කාලයකට ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක්‌ භාවිත කිරීම වෙනුවෙන් රුපියල් පන්ලක්‍ෂ දහතුන්දහසක්‌ වැය කර ඇති අතර මෙම වසරේදී පැය තු=නක්‌ සඳහා රුපියල් විසිතුන් ලක්‍ෂයකට ආසන්න මුදලක්‌ මෙම පෞද්ගලික ආයතනය වැය කර තිබීම මතභේදයකට තුඩුදෙන්නක්‌ යෑයි ද හෙලිකොප්ටරයක්‌ යොදා ගැනීමකින් තොරවම මෙම රුපියල් විසිතුන් ලක්‍ෂයකට ආසන්න මුදල පෞද්ගලික ආයතනයකට ගෙවා ඇතැයි නිරීක්‍ෂණය වන බව ද විගණනයේ සඳහන් කර ඇත.

ගිවිසුමට අනුව "අපේ උරුමය" නිර්මාණයේ පූර්ණ හිමිකාරිත්වය මධ්‍යම සංස්‌කෘතික අරමුදල සතු වන බව සඳහන් වන නමුත් මෙම පෞද්ගලික ආයතනය එහි පිටපතක්‌ රුපියල් අනූඑක්‌දහසකට ජාතික රූපවාහිනියට අලෙවි කර ඇතැයි ද විගණනයේදී අනාවරණය වී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.