සංවිධානාත්මක 'හූ' හඬට මැති ඇමැති පිරිසක්‌ බය වෙලා!

කුෂාන් සුබසිංහ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන හමු සඳහා සහභාගි නොවී සිටීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් මැති ඇමැතිවරුන්ගේ කණ්‌ඩායමක්‌ තීරණය කර ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් යෑයි සැලකෙන මැති ඇමැතිවරුන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනහමුවලදී සංවිධානාත්මක පිරිස්‌ විසින් හූ හඬ තැබීම මෙම තීරණයට එළඹීමට හේතු වී තිබේ.

මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ නාවුලහිදී පැවැති සන්ධාන රැලිය අමතා සංස්‌කෘතික ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාට කතා කරද්දී රැස්‌ව සිටි පිරිස හූ කියමින් එම කතාවට බාධා කර ඇත. පසුගිය 30 වැනිදා මොනරාගලදී පැවැති එජනිස ජනහමුවේදී ඇමැති විජිත් විජයමුණි සොයිසා සහ නියෝජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් කතා කරද්දී පිරිසක්‌ හූ කියා තිබේ.

ඇමැති නන්දමිත්‍ර මහතා සහ ජගත් පුෂ්පකුමාර නියෝජ්‍ය ඇමැතිවරයාද මේ සම්බන්ධයෙන් පැවැසුවේ තමන්ට හූ කිව්වේ සංවිධානාත්මක පිරිසක්‌ බවයි.

කෙසේ වෙතත් මේ හූ ප්‍රශ්නය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සහභාගි වන කළුතර ජනහමුව සඳහා තමා සහභාගි නොවන බව ඇමැති මහින්ද සමරසිංහ මහතා පදනම් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවකදී කලින්ම ප්‍රකාශ කළේය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.