සුජීව නිවුන්හැල්ල


ගුණවංශ හිමියෝ පැවිදි දිවියේ අඩ සියවස සමරති

එංගලන්තයේ බර්මිංහැම් නුවර ජේතවන විහාරයේ සහ ලිවර්පූල් නුවර ශ්‍රී සම්බුද්ධ විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංශ නා හිමියෝ පැවිදි වී අඩ සියවසක්‌ ගත්වීම නිමිත්තෙන් විශේෂ පිංකමක්‌ පසුගියදා ලිවර්පූල් හි "ප්රෙස්‌කොට්‌" උත්සව ශාලාවේදී පැවැත්වුණි.

මෙදින ගුණවංශ හිමියෝ පෙරහැරකින් උත්සව ශාලාව වෙත වැඩමවාගෙන පැමිණි අතර "පරමාදර්ශී ධර්මදූතයාණෝ" නමින් උන්වහන්සේ ගැන ලියෑවුණු ග්‍රන්ථයක්‌ ද එළිදැක්‌විය.

මෙම උත්සවයට ගිහි පැවිදි විශාල පිරිසක්‌ සහභාගීවී සිටි අතර ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌ කාර්යාලය නියෝජනය කරමින් පැමිණ සිටියේ අමාත්‍ය නිරන්ජන් පතිරත්න මහතාය.

ගුණවංශ හිමියන්ට ප්‍රණාමය දැක්‌වීම සදහා පැමිණි මහා සංඝරත්නය අතර ශ්‍රී සද්ධාතිස්‌ස බෞද්ධ මධ්‍යස්‌ථානයේ විහාරාධිපති අග්ග මහා පණ්‌ඩිත ගලයායේ පියදස්‌සී හිමි, නේපාලේ සුමන හිමි, ලන්ඩන් බෞද්ධ විහාරයේ තවලම බන්දුල හිමි, කෝන්වැවේ අරියරතන හිමි, ෙ-තවන විහාරයේ බැරගම පියරතන හිමි, ශාන්ති විහාරයේ විහාරාධිපති තෙල්දෙණියායේ අමිත හිමි, ලෙස්‌ටර් බෞද්ධ විහාරයේ කළුඅග්ගල සරණසිරි හිමි, රාජකීය පණ්‌ඩිත දොඩන්ගොඩ සුමේධ හිමි, කේතුමතී විහාරයේ ගල්පොත්යායේ පේමානන්ද හිමි සහ ශ්‍රී සම්බුද්ධ විහාරයේ තිස්‌සපුර සුගතරතන හිමි වැඩම කර සිටියහ.

මෙම පිංකමේදී මහා සංඝරත්නයට දානය පිරිනැමූ අතර පැමිණි සිටි පිරිසටද දිවා භෝජනයෙන් සංග්‍රහ කෙරුණි.

ජවිපෙ ලන්ඩන් සම්මන්ත්‍රණය

ජනතා විමුක්‌ති පෙරමුණ එක්‌සත් රාජධානි කමිටුව සංවිධානය කළ සම්මන්ත්‍රණයක්‌ ජුලි 25 වන සෙනසුරාදා සවස ලන්ඩනයේ වෙල්ෆාම් ක්‍රීඩාගාර ශාලාවේදී පැවැත්විණි.

"2015 මහ මැතිවරණය හා විදේශ ගත ශ්‍රී ලාංකික අපගේ වගකීම" යනුවෙන් එය නම් කර තිබූ අතර එහිදී ස්‌කයිෆ් තාක්‌ෂණය ඔස්‌සේ අන්තර්ජාලය හරහා ජවිපෙ ප්‍රචාරක ලේකම් හා මහ මැතිවරණ ගම්පහ දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක විජිත හේරත් සහෝදරයා විශේෂ දේශනයක්‌ පැවැත්වීය. ජවිපෙ එක්‌සත් රාජධානියේ සංවිධායක දර්ශන හෙට්‌ටිආරච්චි සහෝදරයා සම්මන්ත්‍රණය මෙහෙයවීය.

ගණිකාවන් සමග කොකේන් ඉරූ
සෙවෙල් සාමිවරයා ඉල්ලා අස්‌වෙයි


බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්‌ඩලයේ නියෝජ්‍ය කථානායක සෙවෙල් සාමිවරයා (Lord Sewel) ගණිකාවන් ඇසුරු කරන බවත් ඔවුන් සමග කොකේන් මත් කුඩු පාවිච්චි කරන බවත් ලන්ඩනයේ පළකෙරෙන "සන්" පුවත් පත ඡායාරූප සමග ලිපියක්‌ පළ කිරීමෙන් පසු සාමිවරයාට මන්ත්‍රී මංඩලයෙන් ඉල්ලා අස්‌වීමට සිදු විය.

ලිපියට අමතරව "සන්" පුවත් පත සාමීවරයා ගේ නොමනා හැසිරීම් අඩංගු වීඩියෝ පටයක්‌ "යූ ටියුබ්" වෙබ් අඩවියටද මුදා හැර තිබේ. ගණිකාවකගේ පියයුරු මත තවරා තිබූ කොකේන් මත් කුඩු, බ්‍රිතාන්‍ය පවුම් පහක නෝට්‌ටුවකින් සාමිවරයා උරන අයුරුද එම වීඩියෝ පටයේ අඩංගු වේ.

පසුගිය වසර තුන ඇතුළත සෙවෙල් සාමිවරයා ගණිකාවන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය පවුම් දොළොස්‌දහසක්‌ වැය කර ඇති බව වාර්තාවේ. තවද ඔහු පසුගිය පසුගිය වසර 17 ඇතුළත ගණිකාවන්ට අමතරව ගැහැණුන් 13 දෙනෙකු සමග අඹු සැමියන් සේ හැසුරුණු බවත් ඔවුන්ගෙන් සමහරෙක්‌ දේශපාලනයට සම්බන්ධ අය බවටත් පුරසාරම් බස්‌ දොඩා ඇත.

සෙවෙල් සාමිවරයා තෙවරක්‌ විවාහ වී සිටින අතර ඔහුට දරුවන් හතර දෙනෙකු සිටිති. ඔහුගේ පළමු බිරිඳට වයස අවුරුදු 69 ක්‌ වන අතර තෙවන බිරිඳ ගේ වයස අවුරුදු 54 කි. ඔවුන් කිසිවෙකු හෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වීම ප්‍රතික්‌ෂේප කර ඇති අතර වයස අවුරුදු 38 ක්‌ වූ පුතා සහ වයස අවුරුදු 36 ක්‌ වූ දුව පියාගේ වාසගම දැනටමත් අතහැර ඇතැයි වාර්තා වේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.