ඉකෙබෙනා මල් සැරසිලි කලාවක්‌ පමණක්‌ නොවේ

මලක විසිතුරු බව දැනෙන්නේ අපේ නෙතට පමණක්‌ නොවේ. ස්‌වභාව ධර්මයේ අපුරු නිර්මානයක්‌ ලෙසින් වගේම මහත් ආශ්චර්යක්‌ ලෙසින් සැලකෙන මලක නෙත ගැටුමෙන් අපේ සිතටද මහත් අස්‌වැසිල්ලක්‌ ලැබෙනවා. බුදුරජාණන්වහනසේට මල් පුජා කිරීමේ සිරිත මුල් කර ගෙන ජපානයට ආවේනිකව බිහිවුණ මෙම මල් සැරසිලි කලාව 16 වන සියවසේදී ආරම්භව ඇත. මල් සැරසිලි වෙනුවෙන් මල්පොහොට්‌ටුවේ පටන් වියළි පත්‍ර දක්‌වා වූ කොටස්‌ තෝරා ගැනීමෙන් ජීවිතයේ බාල, තරුණ සහ මහළු යන සංකල්පයන් අර්ථ දැක්‌වෙන බවත් අදහස්‌ වේ.

මෙහි තවත් අර්ථ කථනයකට අනුව මෙම මලA කලාවෙන් පවුල පිළිබඳ සංකල්පය මුර්තිමත් වෙන බව සඳහන් කරයි. ජපානයේද පවතිනුයේ පීතෘ මූලික සමාජයකි. මල් සැරසිල්ල වෙනුවෙන් තෝරා ගනු ලබන මල්, කොළ සහ බඳුන යන්නෙන් පියා, මව සහ දරුවා යන සංකල්ප අර්ථවත් වෙන බවත් සඳහන් වේ.

සජීවී මලක හැඩතල තව තවත් ඉස්‌මතු කිරිමට ජපන් ජාතිකයන් අපුරු හැකියාවක්‌ ප්‍රදර්ශනය කරනවා නමුත් ඉකෙබෙනා කියන්නේ නිකම්ම මල් සැරසිලි කලාවක්‌ නොවෙයි. මෙම මල්කලාව මගින් ජපන් ජාතිකයන්ගේ ගැඹුරු මානසිකත්වය විද්‍යමාන වෙනවා. සජීවි මල් යොදාසහ එහි කොටස්‌ සම්බන්ධ කර ගෙන ඔවුන් විසින් කරනු ලබන මෙම නිර්මාණයන් ඉකෙබානා මල් සැකසුම යනුවෙන් හඳුන්වනවා.

ඉකෙබානා මල් කලාව ප්‍රධාන සම්ප්‍රදායන් තුනකින් සමන්විතයි.

Ö ඉකෙනොබො

Ö ඔහාරා

Ö සොගෙත්සු

මෙම සම්ප්‍රදායන් අතින් වඩාත් වැදගත් වෙන්නේ ඉකෙනොබො සම්ප්‍රදායයි. ඉකෙනොබො සෙන්සෙයි විසින් ආරම්භ කරන ලද මෙම සම්ප්‍රදාය "රික්‌තා" හෙවත් කෙළින් සිටුවන ලද මල් යනුවෙන් හඳුන්වනවා. ජපානයේ ඉතා ප්‍රචලිතව තිබෙන තේ උත්සවයන්හිදී මෙම ක්‍රමය භාවිතා කරනවා. තේ උත්සවයේදී මල් සැරසිලි හඳුන්වන්නේ "චබානා" යන නමිනුයි.

ඉකෙනොබා මල් සැරසිලි වෙනුවෙන් යොදා ගන්නේ මල් කිපයක්‌ සහ අතු කැබලි ටිකක්‌. මැටියෙන් පිළියෙළ කරන ලද උස්‌ භාජනවල මල් අලංකාර හැඩයකට පිළියෙළ වෙනවා.

1868 වසරේ ටන් 1912 දක්‌වා ජපානයේ පැවැති "මෙයිජී" යුගයේදී සිදුවුන සමාජ විපර්යාසයන්ට අනුකුලව ඉකෙබෙනා මල් කලාවත් වෙනස්‌ වුණා. මේ යුගයේ ගොඩ නැගුන සම්ප්‍රදාය "ඔහාරා" යනුවෙන් හඳුන්වනවා. මේ සම්ප්‍රදාය ගොඩනඟන ලද්දේ "ඔහාරා ඔන්ෂින්" විසින්.

ඔහාරා සම්ප්‍රදායේදී වඩාත් වැදගත් වෙන්නේ භුමි දර්ශන පෙන්වීමයි. ඔහාරා සම්ප්‍රදායේදී මොර්බානා යනුවෙන් හඳුන්වන්නේ ගොඩගසන ලද මල් යන අර්ථයයි. මල් සැරසිම වෙනුවෙන් යොදා ගන්නා මැටි භාජන "සුයිබන්" යනුවෙන් හඳුන්වනවා.

සොගෙත්සු සම්ප්‍රදාය ආරම්භ කරන ලද්දේ "තෙෂිගරා සොෆු" විසින්. 1900- 1977 අතර කාලයේ ජීවත් වුණසොෆු විසින් ආරම්භ කරන ලද සොගෙත්සු සම්ප්‍රදායට අනුව මල්වලට අතිරේකව වානේ ආධාරකත් යොදා ගෙන තිබෙනවා.

මලක්‌ වෙනුවෙන් මෙම හැඩතල දෙන විට මල්අතු කලාත්මකව හැසිරවීම වෙනුවෙන් කැඩිමත් පිළිස්‌සිමත් සිද්ධ වෙනවා. ඒ අතර මිසුගිරි ක්‍රමය ජපානයේ ඉතා ජනප්‍රියයි. එහිදි සිද්ධ වෙන්නේ මල්අතු ජලයේ බහා කැපීම හෙවත් "මිසුගිරි" ක්‍රමයයි.

කාලයත් සමග ජපානයේ කලාත්මක සිතුවිලි තුලත් නවතාවයක්‌ ඇති වෙමින් පවතිනවා. මේසා ඉදිරියේදී ඉකෙබෙනා මල් කලාව තුළත් යම් යම් නව ප්‍රවනතාවයන් දැක ගන්නට ලැබුනොත් එය අරුමයක්‌ නොවෙයි. මේ අනුව ජපානයේ වර්තමානයේ ප්‍රචලිත මල් දෙවර්ගය වී ඇත්තේ "මොරිබානා" සහ "නගරෙයි" යන සම්ප්‍රදායන් වීම විශේෂයි. මොරිබානා ක්‍රමයේදී මල් රඳවන්නේ ඉදිකටු තුඩු සහිත නොගැඹුරු භාජනයකයි. නගරෙයි සම්ප්‍රදායේදී මල් රැඳවීම වෙනුවෙන් විවිධ අමුද්‍රව්‍ය යොදා ගෙන නිපදවන ලද විවිධ භාජන යොදා ගන්නවා. ජපානයේ මෙම මල් භාජන තැන්පත් කරන ස්‌ථානය "තොකොනමා" යනුවෙන් හඳුන්වනවා.

පුන්‍යා චාන්දනි ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.