කතරගම දෙවියන්ගේ උපත

කේ. ඩී. දේවප්‍රිය

මෙම ලිපිය අප උපුටා ගන්නා ලද්දේ දිවයින ප්‍රාදේශීය මාධ්‍යවේදී කේ. ඩී. දේවප්‍රිය විසින් රචිත "දුටු නුදුටු කතරගම දෙවිදු" ග්‍රන්ථයෙනි. "දුටු නුදුටු කතරගම දෙවිදු" ග්‍රන්ථය සූරිය ප්‍රකාශනයකි.

කතරගම දෙවියන් පෙර භවයේ දී අප රටේ කතරගම අද පූජා භූමිය පවතින බිමේ රජකළ රජකු බව ජනප්‍රවාදයේ කියෑවේ. මහාසේන නමින් ප්‍රකට රජකු කතරගම පුරවරය පාලනය කළ සමයේදී බුදුන් වහන්සේ අවසානයට වැඩිය අවස්‌ථාවේදී අද කතරගම කිරි වෙහෙර පිහිටි බිමට වැඩිය බවත් එදින බුදුන් දැක ධර්මය අවබෝධ කරගත් මහාසේන රජු බුදුන්ගේ කේශ ධාතු ඉල්ලාගෙන කිරි වෙහෙර ඉදිකරනු ලැබූ බව සඳහන් වේ.

කාලයක්‌ ගෙවුණු පසු මහාසේන රජුට එක්‌ ප්‍රාර්ථනයක්‌ විය. එනම් ලබන ආත්මය තුළ කුමන හෝ බලවේගයකින් ඉපදී උතුම් කිරි වෙහෙරත්, අෂ්ඨපල බෝධියත් රැක ගැනීමට හැකිවේවා යෑයි ප්‍රාර්ථනයක්‌ කිරීම නිසා කඳ සුරිඳුන් ඉන්දියාවේ සරවණ විලේ ඕපපාතිකව ඉපදුණු බව කථිකාවක්‌ තුළ සඳහන් වේ.

මේ අනුව රජුගේ දේවියද වල්ලිදේවිය ලෙස කතරගම තණහේනක උත්පත්තිය ලැබූ බව කතරගම දේවාලයේ කපු මහත්වරු සඳහන් කරති.

මේ වල්ලි දේවිය හා කඳසුරිඳුන්ගේ ආදර කතාව කතරගම දේවාල ඉතිහාසය කියන කතා පුවතයි. මේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්ධර සොමිපාල ටී. රත්නායක කපු මහතා පාරම්පරිකව එන කපු මහතෙකි. ඒ මහතා සඳහන් කරන පරිදි වල්ලි දේවියගේ කතා පුවත මෙසේ සඳහන් වේ.

ඊශ්වර දෙවියන්ගේ භාර්යාව වන උමයංගනා දේවියට තදබල අපල කාලයක්‌ උදාවිය. දෙවියන්ට අයත් ජෝතිෂ්‍යවේදීන් පැවසුවේ මෙම අපලයෙන් බේරීමට නම් උමයංගනා දේවියට දාව උප්පත්තිය ලබන දරුවන් හතර දෙනකු ජම්බුද්ධීප හතරක නතර කළ යුතු බවයි.

ඒ අනුව දිවයිනට වැඩිය උමයංගනා දේවිය සෙල්ල කතරගම ප්‍රදේශයට පැමිණ සිය දරුවාගේ උප්පත්තිය ලැබිය යුතු ඉසව්ව පිළිබඳව විපරම් කරනු ලැබීය.

මෙම පළාත වැදි ජනයාට අයත් බිමක්‌ වූ අතර එක්‌ තණ හේනක්‌ අසල මහා නුග ගසක්‌ පිහිටා තිබුණි. මෙම නුග ගසෙන් වැටෙන ගෙඩි කෑමට මුවන් නිතර ගස වටා සැරිසරනු ලැබීය. මෙම මුවන් කොටු කිරීමට වැද්දන් වළවල් කපා උගුල් ඇටවීම පුරුද්දක්‌ ලෙස නිතර සිදු කරමින් තිබුණි.

මෙම අවස්‌ථාවේ දී උමයංගනා දේවියට විලිරුදාව ඇතිවිය. සිය කුසින් ගැහැනු දරුවෙකු උප්පත්තිය ලැබීය. උපන් දැරිය වැද්දන් විසින් අටවන ලද උගුල් වළට දමා උමයංගනාව අතුරුදන් විය.

සෙල්ල කතරගම අඩවිය පාලනය කළේ මේ වන විට නන්ද නමැති වැදි නායකයෙකි. මොහුට පුතුන් හත් දෙනකු සිටි අතර ගැහැනු දරුවන් නොවීය. ඔහු සිය පිරිවර සමඟ තමන් මුවන්ට ඇටවූ උගුල් බැලීමට මා නුග ගස අසළට පැමිණියහ. වෙනදාට වඩා මුවන් රංචු ගැසී සිටි අතර වැද්දන් දුටු මුවන් වහා දිව ගියත් එක්‌ මුව දෙනක නුග ගස අසල නතර විය.

ගස අසලට පැමිණි වැද්දන් ගස අසල සිටි මුව දෙනට ඊතලයකින් විදීමට සැරසෙන විටම කුඩා ගැහැනු දරුවෙකුගේ ඇමක්‌ ඇසීම නිසා නන්ද නමැති වැදි නායකයා මුව දෙනට විදීම නතර කර ළඟට පැමිණ උගුල් වළේ සිටි පුංචි දැරිය අතට ගෙන මුවදෙන වදපු දරුවෙකු බව පවසා තම ගල් ගුහාවට දැරිය රැගෙන යනු ලැබීය.

වනයේ සිට හමුවූ නිසා වල් (වනය), ලිය (කත) වල්ලි යන නම තැබීය. නන්ද නමැති වැදි නායකයාද ඔහුගේ පුතුන්ද තමන්ට හමුවූ වල්ලියට දැක්‌වූයේ දැඩි භක්‌තියකි. මෙම දැරිය වේගයෙන් හැඩිදැඩි විය. දැරිය ලැබීමත් සමඟ රැහේ වැදි ජනයාටද කිරි ඉතිරෙන පරිදි සරු වෙමින් පැවතියහ.

ක්‍රම ක්‍රමයෙන් වල්ලිය රූමත් තරුණියක බවට පත්වූවාය. රූසපුව සමකළ හැකි තවත් ළඳක්‌ නොමැති තරම් ඇය ලස්‌සන වන්නට විය. මෙම හේතුව මත නන්ද වැදි නායකයා තම ලොකු පුතු වන ගමන්ඩියාට නායකකම ලබාදී වල්ලියට ආරක්‍ෂාව රැකවරණය ලබාදීමට පියවර ගෙන තිබුණි.

වල්ලි තරුණිය හැදී වැඩුණේ තණ හේනකය. මෙම තණ හේනට ළංව අරුණගිරි නාදන් නමැති ඉසිවරයාද භාවනානුයෝගීව සිටි අතර දිනක්‌ උදෑසන ඉතාම මිහිරි ගීතයක්‌ ඇසෙන්නට විය. එම කටහඬ ඉතාම මිහිරිය. අරුණගිරි ඉසිවරයා ගී රාවය ඇසෙන ඉසව්ව දෙස විපරම් කර බැලීමේදී දෙවඟනක්‌ මෙන් රූසපුව ඇති මෙම වල්ලිය දැක පුදුම විය.

ඇය මනුෂ්‍ය දියණියක නොව දෙව්දුවක්‌ බව හැඟුණු අරුණගිරි නාදන් ඉසිවරයා වහා ඉන්දියාවට ගොස්‌ ස්‌කන්ධ කුමරුවන්ට වල්ලිය ගැන කියා සිරිලකට කඳසුරිඳුන් කැටුව පැමිණියහ. සිරිලකට වැඩිය උතුම් බලයකින් යුතු කඳ කුමරුන් වැඩ සිටි කන්දේ සිට මැණික්‌ ගඟ දිගේ වල්ලිය සිටින තණහේන දෙසට පැමිණෙමින් සිටියහ.

මේ වන විට වල්ලි දෙවඟන මැණික්‌ ගඟ අසල ගලක සිය සළුව අපුල්ලමින් සිටියාය. (මෙම ගල අදත් දැකිය හැකි අතර සළු ගල ලෙස හඳුන්වයි) මැණික්‌ ගඟ දිගේ පැමිණි ස්‌කන්ධ කුමරු එක්‌වර මහලු වේශයක්‌ මවාගෙන රෙදි අපුල්ලමින් සිටි වල්ලිය වෙත පැමිණියහ. කඳ කුමරුන් දුටු වල්ලිය වහා දිවගොස්‌ තම ගල් ලෙනට ඇතුළු වී සැඟවිණි.

එදින ආපසු පිටත් වූ කඳ සුරිඳුන් නැවත පසුදින මැණික්‌ ගඟ දිගේ වල්ලිය සිටින ඉසව්ව බලා පිටත් විය. මෙදිනද කඳ කුමරුන් පැමිණියේ මහල්ලකු පරිද්දෙනි. වල්ලි දෙවඟන වැඩ සිටි සෙල්ල කතරගම තණ හේනට පැමිණි මහලු වෙස්‌ගත් කඳසුරිඳුන් වල්ලි දේවියගේ ආරක්‍ෂාවට සිටි වැදි පිරිස දේව අනුහසින් ඉවත් කර වල්ලිය සිටි ගල් ලෙන තුළ තිබුණු වතුර කළගෙඩිද සියල්ල හිස්‌ කරන්නට විය.

ඉතා අමාරුවෙන් ඇවිද යන මහල්ලකු ලෙස ගල් ලෙනට ගොඩවැදුණු මහල්ලා වල්ලිය අමතා, "අනේ දුවේ... මට වතුර තිබහයි. මට වතුර ටිකක්‌ බොන්න දීපං" යෑයි පැවසීමත් සමඟ වල්ලි දේවිය වහා ගල් ලෙනට ගොස්‌ ලබුකැට ඇතුළු සියලු වතුර තිබුණු භාජන බැලීමේදී සියල්ල හිස්‌ව තිබුණු බව දැකගති.

මහල්ලා වෙත පැමිණි වල්ලිය "කරන්න දෙයක්‌ නැහැ සීයේ... වතුර කළ සියල්ලම හිස්‌වෙලා" යෑයි පැවසීය. එවිට මහල්ලා "අනේ දුවේ මට බඩගිනියි. දවස්‌ ගණනාවකින් කෑමක්‌ නෑ. මට කන්න මෙනවා හරි දීපං" යෑයි පැවසීය. අනුකම්පා සහගතව සිතූ වල්ලිය තණ හේනේ වගාවෙන් ලබාගත් ප්‍රථම තණ ටිකක්‌ පිටි කර එයට මී පැණි මිශ්‍ර කර මහල්ලාට කෑමට දෙන්නට විය. උගුරේ හිරවෙන ස්‌වරූපය පෙන්නමින් තණ හාල් බත් කෑ මහල්ලා "දුවේ දැන්නම් මට වතුර ඕනමයි. නැත්නම් මම මැරෙයි" කියා පැවසීය. එවිට "අනේ සීයේ වතුර මෙහි නොමැති බැවින් වතුර ඇති මැණික්‌ ගඟට යන ලෙස" පැවසීය. එවිට පිළිතුරු දුන් මහලු පුද්ගලයා පැවසුවේ "අනේ දුවේ මට ඇහැ පේන්නේ නැහැ. උඹ අතින් අල්ලන් පලයං" යෑයි මහල්ලා පැවසීය. එවිට වල්ලිය පැවසුවේ "සීයේ මම කවදාවත් පිරිමි අයකුගේ අතින් අල්ලලා නැහැ. මගේ අයියණ්‌ඩිලාවත් මගේ අතින්වත් අල්ලලා නැහැ. මම කොහොමද සීයාගේ අතින් අල්ලන්නේ" යෑයි වල්ලිය පැවසීය.

එවිට මහල්ලා "මට වතුර නොමැති වුණොත් මම මියයයි" යනුවෙන් පැවසීම නිසා වල්ලිය දිග කෝටුවක්‌ කඩා ගෙනවිත් මහල්ලාට එක්‌ කොනක්‌ අතට දී අනිත් කොන ඇය අල්ලාගෙන මැණික්‌ ගඟ වෙත පිය නැගීය.

මැණික්‌ ගඟට පැමිණි මහල්ලා අද සෙල්ල කතරගම ගණදෙවි කෝවිල ඇති ස්‌ථානයේ ජලය පිරි වළකට වල්ලි දෙවඟන තල්ලු කරනු ලැබීය. වතුරට වැටුණු වල්ලිය කෝපයෙන් "වංචාකාරයා බොරුවට ඇස්‌ පේන්නේ නැහැ කියලා මාව රැවට්‌ටුවා. මගේ රැහේ උන් නුඹව ඊතලවලින් විදලා මරා දමාවි" යෑයි මැණික්‌ ගඟට වැටුණු වල්ලි තරුණිය දෙස්‌ දෙවොල් තබන්නට වූවාය. මේ සමඟ මැණික්‌ ගඟේ දියද ක්‍රම ක්‍රමයෙන් වැඩිවිය.

දියේ කරවටක්‌ ජලයෙන් වැසී සිටි වල්ලිය මහල්ලා අමතා පැවසුවේ මා නුඹව වනයේ සතුන්ට කෑමට දෙනවා යෑයි පවසා බලගතු මන්ත්‍රයකින් මතුරන්නට විය. එවිට වළසුන් කොටියන් පැමිණි අතර මහල්ලාද වල්ලිය අමතා පැවසුවේ මටත් මතුරන්න පුළුවන් කියා පැමිණි වන සතුන් පළවා හරින්නට විය.

මමත් මන්ත්‍ර දන්නවා. ඕනෑම සතකු ගෙන්වලා පෙන්වන්නම් කියා මතුරන්න හදන විට වල්ලිය පැවසුවේ අලියා නැතිව ඕනෑම සතකු ගෙන්වන ලෙසය. මෙයට ඇහුම්කන් දුන් මහල්ලා වල්ලිය බිය අලියාට බව දැනගන්නා ලදී.

මහලු වෙස්‌ ගත් කඳ සුරිඳුන් දේව අනුහසින් මහා බලසම්පන්න ගණ දෙවියන්ට මෙම සුරූපී දෙවඟන කැමැති කරවා දෙන ලෙස ඉල්ලීමක්‌ කරනු ලැබීය. වල්ලිය අලියාට බිය හෙයින් අලි වෙසක්‌ මවා ගත් ගණ දෙවියන් කඳ කුමරුන්ට පැවසුවේ, මා අලියකු වෙසින් පැමිණ වල්ලිය බිය වැද්දීම කරනු ලබන බවත්, වල්ලිය කැමති වූ පසු තමන් දෙන පැන් කළය පුංචි කාලයක්‌ තුළ අලි වෙසින් සිටින තම රූපයට ඉස පෙර තිබූ පරිදි සිය මුහුණ නැවත සකස්‌ කරදෙන ලෙස ඉල්ලීමක්‌ කළ ගණ දෙවියන් ඇත් රූපයක්‌ මවාගෙන මැණික්‌ ගඟේ වල්ලිය සිටි වළට පැන බොර කරන්නට විය.

ඇත් වෙසින් පැමිණි ගණ දෙවියන් දුටු වල්ලිය ගඟ අසබඩ මහලු වෙසින් සිටි කඳ කුමරුගේ ඇඟේ එල්ලී තමන් බේරා ගන්නා ලෙස ඇවිටිලි කරනු ලැබීය. වල්ලිය ලබාගත් මහලු වෙස්‌ගත් කඳ කුමරු වල්ලී සමඟ වැඩසිටි කන්දට පහළින් පිහිටි වල්ලි කන්දට පැමිණිය අතර ඇත් වෙසින් තමන්ට වල්ලි දෙවඟන ලබාගැනීමට උපකාර කළ සිය සොයුරු ගණ දෙවියන්ගේ ස්‌වභාවික ස්‌වරූපය ලබා ගැනීමට දුන් පැන් බඳුන ඇත් හිසට ඉසින්නට අමතක විය. එම අමතකවීම නිසා ගණ දෙවියන්ගේ මුහුණ ඇත් මුහුණක්‌ ලෙස තවමත් පවතින බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

වල්ලිය හදා වඩාගත් වැදි නායකයා ඇතුළු පිරිස වල්ලිය සොයන්නට විය. විශාල පිරිසක්‌ එක්‌වී කණ්‌ඩායම්වලට බෙදී වල්ලිය සෙවීමට ක්‍රියා කරනු ලැබීය. එක්‌ කණ්‌ඩායමක්‌ වැඩ සිටි කන්දට පැමිණ වල්ලි කන්ද දෙසට යන අතර මහලු මිනිසකු හමුවිය. ඔහු පැවසුවේ "උඹලා හොයන එකී අන්න අර ගල් ගුහාවේ හිටියා. ගිහින් බලාපල්ලා" යෑයි පැවසීම නිසා වැදි පිරිස විපරම් කර බැලීමේදී අතුරුදන්ව සිටි වල්ලිය හමුවිය. ආයුධ සන්නද්ධව සිටි පිරිස වල්ලිය ගෙන් තමන් මෙම ස්‌ථානයට රැගෙන ආ පුද්ගලයා කවුදැයි විමසීම් කරන කල්හි වල්ලිය විසින් මහලු පුද්ගලයා පෙන්වන ලදී.

ඒ සමඟ මහලු මිනිහා දෙස හැරුණු වැද්දන් පැවසුවේ අනුන්ට අයත් වල්ලිය තමන් කාගේ අවසරයකින් රැගෙන පැමිණියේ දැයි විමසා වල්ලියත් සමඟ තණ හේනට ගොස්‌ ගමන්ඩියා නමින් සිටි වැදි නායකයාට වල්ලිය භාර කරනු ලැබීය.

අතුරුදන්ව සිටි තම නැගණිය දුටු වැදි නායකයා තම නැගණිය අමතා කවුරුන් විසින් රැගෙන ගියේ දැයි විමසීය. එවිට මහලු පුද්ගලයා නැවත වල්ලිය ඉදිරිපිට දිස්‌විය. වල්ලිය අත දිගු කර වැදි නායකයාට පැවසුවේ මෙන්න මේ ඉන්න අය තමන් රැගෙන ගිය අය බව මහල්ලා පෙන්වනු ලැබීය.

එවිට වියරු වැටුණු වැදි නායකයා තම ආරක්‍ෂාවට සිටි දුනු හේවායින්ට අණ කළේ ඊතලවලින් විද මහල්ලා මරාදමන ලෙසයි. එවිට දුනු අත සිටි වැද්දන් දිගට හරහට මහල්ලාට ඊතලවලින් විදින ලදී. එවිට මහල්ලා සිටි ස්‌ථානයේ ගසක්‌ හටගෙන සියලු ඊතල එම ගසට වැදී බිමට වැටෙන්නට විය.

වැදිනායක ගමන්ඩියාද මවිතව බලා සිටියදී අතුරුදහන් වූ මහල්ලා නැවත මැණික්‌ ගඟෙන් මතුවිය. එවිට පිරිසක්‌ මහලු වෙස්‌ගත් කඳ සුරිඳුන්ගේ ගමන නවතා දැමීය. ඔවුන් දෙස රවා බැලූ මහලු මිනිසා පැවසුවේ උඹලා මේ විශාල පිරිසක්‌ කැති, පොරෝ, දුනු, ඊතල ගෙන කුමක්‌කරන්නේ දැයි විමසීය. එවිට ඊතල අතට ගත් වැද්දකු පැවසුවේ තා මරා දැමීමට නායක වැද්දා අණ කළ බවයි. එවිට පෙරළා පිළිතුරු දුන් මහල්ලා පැවසුවේ එක්‌ මිනිසකු මරන්න මේ තරම් පිරිසක්‌ කුමකටද යනුවෙන් පැවසීමත් සමග විශාල පිරිසක්‌ ඊතල එල්ල කරගෙන මහල්ලාට විදීමට සැරසිණි.

වැද්දන් දහස්‌ ගණනක්‌ දුනු ඊතලවලින් විදීමට සැරසෙනවාත් සමඟම සියලුම වැද්දන් දුනු ඊතල සමඟම සෙම සොටු පෙරාගෙන විකෘති වී ක්‌ලාන්තයෙන් බිමට ඇද වැටී ගල් පිළිම පරිදි විය. මෙය දුටු වල්ලි දෙවඟන මහලු වෙස්‌ගත් කඳකුමරු අසළ වැටී සමාව අයෑද තමන් ඔහු හා විවාහ වීමට කැමති බවත් තම වැදි පරම්පරාවේ අයට සමාව ලබාදී ඔවුන්ට ජීවිත දානය ලබාදෙන ලෙසත් ඇවිටිලි කරන්නට විය.

ඒ සමඟ මැණික්‌ ගඟට බැසගත් මහලු වෙස්‌ගත් කඳ කුමරු ජලය ගෙන බිමට වැටී සිටි සියලුම දෙනාට පැන් ඉස නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙන ශාන්තිය සැලසීය. මහලු පුද්ගලයාට හිරිහැර කිරීමට පැමිණි සියලුම දෙනා සමඟ වැඳ වැටී සමාව ගත් ගමන්ඩි වැදි නායකයා පැවසුවේ ඔබ වහන්සේට අයිති දෙවඟන ලබා ගන්නා ලෙසත්, වල්ලිය විවාහ කර ගැනීමෙන් පසු නැවත හමුවන්නේ කෙසේදැයි විමසනු ලැබීය.

එවිට කඳ සුරිඳුන් පැවසුවේ උඹලට කරදරයක්‌, හිරිහැරයක්‌ වූ විට දී රිදී පඬුරක්‌ ගැට ගසා මට කන්නලව් කරපල්ලා... එවිට මම උඹලාට පිහිට වෙන්නම් යෑයි පවසා වල්ලි දෙවඟන සමඟ උතුම් කතරගම දෙවියන් දෙව්ලොව බලා අතුරුදන් විය.

වල්ලි දෙවඟන සිහිවීම පිණිසත්, වල්ලි දේවියගේ පරපුර නියෝජනය කිරීම පිණිසත් අදත් කතරගම පෙරහැර මංගල්‍යයන් පැවැත්වෙන විටදී ආදි වාසීන්ටද චාරිත්‍ර ඉටු කිරීමට අවස්‌ථාව ලබාදී ඇති අතර දෛනික පූජාවටද වල්ලි දෙවඟනගේ පරපුර නියෝජනය වන පරිදි ආලත්ති අම්මලා 12 දෙනකු පූජාවට චාරිත්‍ර ඉටු කිරීමටත්, පෙරහැරේ ගමන් කිරීමටත් ඉඩ සලසා දී තිබේ.

වල්ලි දෙවඟන උප්පත්තිය සිදුවූ සෙල්ල කතරගම තණහේන පිහිටි බිමේ වල්ලි දෙවඟන නමින් දේවාලයක්‌ පිහිටා ඇති අතර වල්ලිගුහා රජමහා විහාරය නමින් මෙම ස්‌ථානය හඳුන්වයි.

මෙයට අමතරව වල්ලි දෙවඟන වෙනුවෙන් ඇති ප්‍රධාන දේවාලය කතරගම මහා දේවාලයට මුහුණලා පිහිටා ඇත.

කතරගම දෙවියන්ට පවත්වනු ලබන ඉල් පෙරහැර, අවුරුදු මංගල්‍යය හා ඇසළ මංගල්‍යය වැනි කටයුතුවලදී මෙම වල්ලි දේවාලය වෙත පැමිණ චාරිත්‍ර ඉටු කිරීම දුටුගැමුණු රජුගේ නියෝග අනුව අදත් සිදු කරයි. ඉර හඳ පවතිනා තුරා මෙම පුද සත්කාර කඳ සුරිඳුන්ටත්, වල්ලි දෙවඟනටත් සිදු කරන අතර ඇසළ මංගල්‍යය වල්ලි දෙවඟනගේත්, කඳ සුරිඳුන්ගේත් විවාහ මංගල්‍යය සනිටුහන් කිරීම පිණිස සිදු කරති.

කතරගම ඇසළ මංගල්‍යය ඇරැඹීමට පෙර දින 45 කට පෙර කප් සිටුවීම සිදු කරන අතර මෙම කප් සිටුවීමෙන් සිදු කරනුයේ මඟුල් ගෙදර මඟුල් මඩුව සඳහා සුබ මොහොතින් කණු සිටුවීමයි. ඇසළ මංගල්‍යය පවතින දින 15 පුරා කතරගම පූජා භූමිය මඟුල් ගෙදරක සිරි ගන්වන පරිදි බත් දන්සල්, රසකැවිලි බෙදාදීම් දක්‌නට ලැබෙන අතර පැමිණෙන බැතිමතුන් රිසිසේ කා බී විනෝදයෙන් කඳ සුරිඳුන්ගේ හා වල්ලි දේවියගේ මඟුල් උත්සවය ඇසළ මාසයේ දී සමරති.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.