බිලියනයක්‌ සංචාරකයන් අවස්‌ථා
නව රජයේ අභියෝග


ලෝක සංචාරක දිනය යෙදී තිබුණේ ඉකුත් සැප්තැම්බර් 27 වැනිදාටය. ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පසුගිය සැප්තැම්බර් 26 වැනිදා වැඩසටහන් ගණනාවක්‌ සංවිධානය කර තිබිණි. මෙවර ලෝක සංචාරක දිනයේ තේමාව වූයේ "බිලියනයක්‌ සංචාරකයින්( බිලියනයක්‌ අවස්‌ථා" යන්නයි. එම තේමාව කේන්ද්‍ර කර ගනිමින් සංචාරක සංවර්ධන අධිකාරිය විසින් විද්වත් සම්මන්ත්‍රණයක්‌ද සංවිධානය කර තිබූ අතර, එහි ප්‍රධාන දෙසුම පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය සමන් කැලේගම මහතා විසිනි. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති පැඩී විතාන, සයිට්‍රස්‌ ලෙෂර් පෞද්ගලික සමාගමේ සභාපති ප්‍රේමා කුරේ සහ ජෙට්‌වින් හෝටල් සමාගමේ සභාපති හිරාන් කුරේ යන මහත්වරුද මෙම සම්මන්ත්‍රණයේ සම්පත් දායකයන් ලෙස සහභාගී වී සිටියේය. මෙවර "ආර්ථික ඇසින්" තීරුව වෙන්වන්නේ ලෝක සංචාරක දින සමරමින් පැවැති එම විද්වත් සම්මන්ත්‍රණයේ ප්‍රධාන දෙසුම පැවැත් වු ආචාර්ය සමන් කැලේගම මහතාගේ අදහස්‌වලටය.

මෙවර ලෝක සංචාරක දිනයේ තේමාව වන බිලියනයක්‌ සංචාරකයින් බිලියනයක්‌ අවස්‌ථා (ධබැ ඊසකකසදබ ඔදමරසිඑsථ ධබැ ඊසකකසදබ ධචචදරඑමබසඑසැs) යන්නෙහි අර්ථය අප හඳුනා ගැනීම වැදගත්ය. නොයෙකුත් හේතු නිසා ලෝකයේ සංචාරකයින් ප්‍රමාණය ඉහළ ගොස්‌ තිබේ. වර්ෂ 1950 දී ලෝකයේ මුළු සංචාරකයන් ප්‍රමාණය මිලියන 25 ක්‌ වූ අතර එය වර්ෂ 1990 දී මිලියන 435 දක්‌වාත්, පසුගිය 2012 වර්ෂය වන විට බිලියනයක්‌ (කෝටි සියයක්‌) දක්‌වාත් වර්ධනය වී තිබේ. ලෝක දළ දේශීය නිෂ්පාදිතයට, ලෝක සංචාරක කර්මාන්තයේ දායකත්වය සියයට 10 කි. ජාත්‍යන්තර වෙළෙඳාමට ලෝක සංචාරක කර්මාන්තයේ දායකත්වය සියයට 6 කි. මේ නිසා සංචාරක ව්‍යාපාරයේ පුළුල් වීම සහ ලෝක ආර්ථිකයට එහි ඇති වැදගත්කම අපට ඉතා පැහැදිලිය. ලෝකයේ සංචාරකයන් ප්‍රමාණය බිලියනයක්‌ දක්‌වා වර්ධනය වී ඇති නිසා එක්‌ සංචාරකයෙකුගේ කුඩා ක්‍රියාකාරකමකින් (තීරණයකින්) ජනිත කළ හැකිව තිබෙන අවස්‌ථා ප්‍රමාණය අතිවිශාලය. ඒ තුළින් සෑම සංචාරක ගමනාන්තයකටම (රටකටම) එහි ආර්ථික වර්ධනය සඳහා ධනාත්මක දායකත්වයක්‌ ජනිත කළ හැකිව තිබේ. මේ සෑම සංචාරකයෙකුම දිනකට මිලදී ගන්නා දේශීය (සංචාරය කරන රටේ) නිෂ්පාදිත ප්‍රමාණය එකකින් හෝ වැඩි කළහොත් ඇති වන බලපෑම කුමක්‌ද? එනම් නව නිෂ්පාදිත බිලියනයකට ඒ තුළින් අලෙවි අවස්‌ථා ජනිත වීම මෙහිදී සිදුවේ. ඒ නිසා සංචාරකයෙකුගේ එම එක්‌ සරල ක්‍රියාකාරකමක්‌ (තීරණයක්‌) අදාළ බිලියනයක්‌ වූ සංචාරකයන්ට අදාළව සලකා බැලීමේදී බිලියනයක්‌ අවස්‌ථා අලුතින් ඇති වන අතර, බිලියනයක්‌ සංචාරකයන්ගේ බලය (චදඇර දෙ දබැ ඉසකකසදබ එදමරසිඑs) එයයි. ඒ නිසා මෙම තේමාවේ සැබෑ අරුත වන්නේ ආර්ථික වර්ධනය සඳහා රැකියා අවස්‌ථා සඳහා සහ ලෝකයේ අනාගතය වෙනුවෙන් බිලියනයක්‌ අවස්‌ථා ජනිත කර ගැනීමට සංචාරක කර්මාන්තය හරහා හැකියාව උදා වී පවතින බවයි.

ශ්‍රී ලංකා ආර්ථිකය තුළද සංචාරක කර්මාන්තය වේගයෙන් වර්ධනය වන කර්මාන්තයකි. 2014 වසරේදී අපේ සංචාරක කර්මාන්තය සියයට 20 කින් වර්ධනය විය. සංචාරක පැමිණීම් ලක්‍ෂ 15 ක්‌ වූ අතර ඒ තුළින් උපයන ලද ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 කි. ඒ අනුව ලංකාවේ තුන්වැනියට වැඩිම විදේශ විනිමය උපයන කර්මාන්තය සංචාරක කර්මාන්තය වන අතර දළ දේශීය නිෂ්පාදිතයට එහි දායකත්වය සියයට 2.5 කි. එසේම සාජුව 130,00 ක්‌ සහ වක්‍රව 170,000 ක්‌ වශයෙන් 300,000 ක්‌ පමණ වන රැකියා අවස්‌ථා ද එම කර්මාන්තය හරහා ලැබී තිබේ. වර්ෂ 2016 දී ලක්‍ෂ 25 ක විදෙස්‌ සංචාරකයන් පිරිසක්‌ මෙරටට ආකර්ෂණය කර ගැනීම ඉලක්‌කය වී තිබේ. මෙසේ මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් තිබුණත් අපේ ග්‍රාමීය ජනකොටස්‌වලට තවමත් එහි ප්‍රතිලාභ ගලා යන්නේ ඉතා සීමිතවය. 2014 වසරේදී දිනක සංචාරක ඉපයුම ඇමෙරිකානු ඩොලර් 161 ක්‌ වන අතර එය ශ්‍රී ලංකාවට තරගකාරී සංචාරක ගමනාන්ත (රටවල්) හා සසඳන විට සාපේක්‍ෂව අඩු අගයකි. මේ තත්ත්වය වෙනස්‌ කොට සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ පුළුල් වශයෙන් ජන සමාජයට ගලා යැමට සැලැස්‌වීමේදී සංචාරක ක්‍ෂෙත්‍රයේ මානව සම්පත් කුසලතා අවමවීම, අඩු දැනුම සහ නිවැරදි ආකල්ප නොතිබීම යනාදිය ගැටළුවක්‌ව තිබේ. වෙනත් රටවල් සමග සසදා බැලීමේදී එම රටවල සංචාරක කර්මාන්තයට ජනතාවගේ පුළුල් සහභාගීත්වයත් තිබෙන අතර එය එම රටවල කර්මාන්තයේ තිරසාර පැවැත්මටද උදව් වී තිබේ.

අපගේ තරඟකාරී වෙනත් සංචාරක ගමනාන්ත (රටවල් සමග) සාපේක්‍ෂව සැසදීමේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයුම් අඩු මට්‌ටමක පවතී. මේ සමග ඇති වගුවේ දක්‌වා ඇති පරිදි එක්‌ සංචාරකයෙකුගෙන් ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් 2547 ක්‌ද, මාලදිවයින ඇමෙරිකානු ඩොලර් 2218 ක්‌ සහ තායිලන්තය ඇමෙරිකානු ඩොලර් 1619 ක්‌ද උපයන විට ශ්‍රී ලංකාව එක්‌ සංචාරකයෙකුගෙන් උපයන ආදායම ඇමෙරිකානු ඩොලර් 1592. කි. මුළු සංචාරක ඉපයුම අතින් ගත් විට ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් මිලියන 19700 ක්‌ද, මාලදිවයින ඇමෙරිකානු ඩොලර් මිලියන 2661 සහ තායිලන්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 40,143 ක්‌ උපයන විට ශ්‍රී ලංකාව උපයන ලද මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2431 ක්‌ පමණි. ඒ නිසා ඉහළ වියදම් දරන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සහ නව සංචාරක නිෂ්පාදිතයින් හඳුන්වා දීම ඇතුළු උපාය මාර්ග අනුගමනය කරමින් අප විසින් සංචාරකයෙකුගෙන් ලැබෙන ඉපයුම ඉහළ නංවා ගත යුතුවේ.

මෙහිදී චීන සංචාරකයින් පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය. 2012 වසරට සාපේක්‍ෂව 2013 වසරේදී චීන සංචාරකයින් වියදම් කරන ප්‍රමාණය සියයට 27 කින් ඉහළ ගොස්‌ තිබේ. සංචාරවල යෙදෙන චීන ජාතිකයින් ප්‍රමාණය පසුගිය වසරවලදී ඉහළ ගොස්‌ තිබෙන අතර එයට නොයෙකුත් හේතු බලපා තිබේ. එනම් ඔවුන්ගේ වැය කළ හැකි ආදායම ඉහළ යාම, මුදලේ අගය වැඩි වීම සහ සංචාරක පහසුකම්වල පුළුල් වීම ඇතුළු කරුණු මෙයට බලපා ඇත. එබැවින් ශ්‍රී ලංකාව චීන සංචාරකයන් වඩ වඩාත් ආකර්ෂණය කර ගැනීම සඳහා වඩාත් ඵලදායි උපායමාර්ග අනුගමනය කළ යුතුව තිබේ.

සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා තවමත් අප භාවිතා නොකළ අංශ (බසජයෑ ප්රනැඑs) ද පවතී. ඒවා ගැනද අවධානය යොමු කිරීම වැදගත්ය. නොයෙකුත් වැඩමුළු සහ සම්මන්ත්‍රණ යනාදිය සඳහා 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයන් ගණන 134,000 කි. මෙවැනි වැඩමුළු, සම්මන්ත්‍රණ සහ සමුළු යනාදිය (පසජැ එදමරසිප) සඳහා මෙන්ම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් අපට තව තවත් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ ඉඩ ප්‍රස්‌ථා පවතී. 2009 වර්ෂයෙන් පසු තල්මසුන් සහ ඩොල්µsන් මසුන් නැරඹීම ද මෙරටට එන සංචාරකයන් අතර ජනප්‍රිය වී තිබේ. සාගරය ආශ්‍රිතව සංචාරක නිෂ්පාදිතයින් (sea sචදරඑsල ජරමසිe එදමරසිප) තවදුරටත් ප්‍රවර්ධනය කර ගනිමින් අපේ සංචාරක ව්‍යාපාරය සඳහා මුහුද භාවිතා කිරීම තව තවත් වැඩි කරගත යුතුය.

අපගේ සංචාරක ව්‍යාපාරය මුහුණ දෙන ප්‍රධාන අභියෝග කිහිපයක්‌ ගැන අපි මීළඟට අවධානය යොමු කරමු. සංචාරක හෝටල්වල වැඩිවීමක්‌ තිබුණත් ඒවායේ ගුණත්වය සහ මිල කිරීම අතර පරතරයක්‌ තිබේ. හෝටල් කාමර මිල ගණන් සහ ඒවායෙහි ලබාදෙන සේවා පහසුකම්වල ගුණත්වය අතර පවතින නොගැලපීම නිසා සංචාරකයන් අතෘප්තියට පත්විය හැකි අතරම එය සංචාරක පැමිණීම් අඩුවීමටද හේතු විය හැකිය. මේ නිසා සංචාරක හෝටල් කාමරවල ඇති සේවා පහසුකම්වල ගුණත්වය ඉහළ නැංවීම සහ ඵලදායී මිල කිරීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවක්‌ පවතී.

ලංකාවේ සංචාරක කර්මාන්තයේ යෙදී සිටින මුළු සේවා නියුක්‌තියෙන් විධිමත් හෝ අවිධිමත් වෘත්තීය පුහුණුවක්‌ ලබා ඇත්තේ සියයට 10 ක්‌ වැනි ඉතා අඩු පිරිසකි. මෙයත් වර්ධනය වෙමින් පවතින ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණ දී සිටින ගැටලුවකි. අපේ සංචාරක කර්මාන්තය මුහුණ දී සිටින තවත් ප්‍රධාන ගැටලුවක්‌ වන්නේ සංචාරක යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි දියුණු වී නොපැවතීමයි. ඒ නිසා සංචාරක යටිතල පහසුකම් දියුණු කිරීමේ අවශ්‍යතාවක්‌ පවතී. එසේම අපේ සංචාරක කර්මාන්තය සුදුසු සන්නාමයක්‌ යටතේ අලෙවිකරණය කිරීමේ දුර්වලතාවන් පවතින අතරම මේ කටයුත්තේදී රාජ්‍ය හා පෞද්ගලික අංශවල ඒකාබද්ධතාවද වැදගත්ය. එසේම මෙම සංචාරක අලෙවිකරණ කටයුතුවලදී අපගේ තරගකාරී රටවලින් අපට ඉගෙන ගැනීමටද බොහෝ දේ තිබේ. එවැනි සාර්ථක උදාහරණවලින් ගත යුතු දේ ගෙන ඵලදායී ලෙස අපේ සංචාරක අලෙවිකරණ කටයුතු සිදු කිරීමද අත්‍යවශ්‍ය කරුණකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.