මරණ බියෙන් එතෙර වීමට ඇති ලෝකයේ භයානක පාලම්

හුණුවටයේ කතාවේ එන මාරාන්තික වැල් පාලම ඔබට මතක ඇතුවාට නිසැකය. සොල්දාදුවන්ට බියෙන් ගෲෂා කුඩා දරුවාද රැගෙන එයින් එතෙර වන අන්දම මනෙල් ජයසේන මහත්මිය එදා වේදිකාවේ ඉතා විචිත්‍රවත් ලෙස රඟදක්‌වා පෙන්වීය.ගංගාවලින් එතෙර වීමට ඇති තාවකාලික පාලම් ඒදඬු ආදි දුෂ්කර මාර්ග ඔබ කොතෙකුත් දැක ඇතත් ලෝකයේ පවතින ඉතාමත්ම භයංකර වූ පාලම් මොනවාදැයි කියා ඔබ දන්නවාද? දැනට අනාවරණය කරගෙන ඇති පරිදි ලෝකයේ ඇති ඉතාමත් බිහිසුණු හා බිය උපදවනසුලු පාලම් ගණනාවක්‌ ඇති අතර ඒ අතුරින් කිහිපයක තොරතුරු මෙසේ ඉදිරිපත් කරමි.

ආයි- පෙටි්‍ර

ඔබ ක්‍රිමියාවේ ගිනිකොන දිග වෙරළ තීරයේ කඳුකර ආයි-පෙටි්‍ර කලාපයේ විශ්මයජනක පරිසර දර්ශනය අත්විඳීමට අදහස්‌ කරන්නේ නම්, ඔබ මුලින්ම එහි වලාකුළු වලටත් වඩා ඉහළින් පිහිටා ඇති චිත්තාකර්ෂණීය වූ උස්‌ කඳු ශිඛර අතරින් දිවෙන දැව වැල් පාලම් මතින් ගමන් කිරිමට නිර්භීත විය යුතුය. ඇත්තෙන්ම ආයි පෙටි්‍ර කඳු පංතිය ක්‍රිමියාවෙ යල්ටා මහනගර සභාව මඟින් පාලනය වන අතර එය අලුප්කා (Alupka) හා කොරෙයිස්‌ (Koreiz) නගර අතර පිහිටා ඇත. මෙය වසරේ වැඩි කාලයක්‌ දැඩි සුළං සහිත කාලගුණයක්‌ පවතින ප්‍රදේශයකි. සුළඟේ වේගය 50 මි/තත් පමණ සාමාන්‍යය අගයක පවතිනවා. වර්තමානයේ කඳු අතර ගමනාගමනයට කේබල් රථ සේවාවක්‌ද පවත්වාගෙන යනු දක්‌නට ලැබෙනවා.

මවුන්ට්‌ හුවා

චීනයේ මවුන්ට්‌ හුවා පූජනීය ගිරිකඳුර වටා අධික බෑවුම් සහිත මාර්ගයේ දිවෙන පටු, දැවයෙන් නිර්මිත දම්වැලක්‌ වැනි වූ පාලම් සහිත මාර්ගය ලෝකයේ අති භයානක හා දුෂ්කර පාලම් අතුරින් එකකි. මවුන්ට්‌ හුවා හෝ හුවා ශාන් ලෙස හඳුන්වන මෙය චීනයේ නැගෙනහිර හුවයින් නගරයේ පිහිටා තිබෙනවා. මෙය චීනයේ පස්‌මහා කඳු අතරින් එකක්‌ වන අතර ආගමික වශයෙන් වැදගත් දීර්ඝ ඉතිහාසයක්‌ද පවතිනවා.

ද රෝයල් ජෝරඡ්

ඇමෙරිකාවෙ කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටා ඇති ද රෝයල් ජෝරඡ් පාලම (The Royal Gorge suspension bridge) සංචාරක ආකර්ෂණය නොමදව දිනූ විචිත්‍ර ස්‌ථානයකි. හෙක්‌ටයාර 150 ක පමණ භූමි ප්‍රමාණයක පැතිරී පවතින කොලරාඩෝ කඳුකර වනෝද්‍යානයට මැදිව අකැන්සාස්‌ ගංගාවට ඉහළින් පිහිටා තිබෙන මෙම එල්ලෙන පාලම පොළොව මට්‌ටමේ සිට අඩි 1053 ක පමණ උසකින් පිහිටා තිබෙනවා. එහි විශාල කුලුණු දෙක අතර දිග අඩි 938 ක්‌ වනවිට පාලමේ මුළු දිග අඩි 1260 ක්‌ පමණ වේ. මෙහි දැව අඩිපාර සඳහා ලී පුවරු 1292 ක පමණ ප්‍රමාණයක්‌ වැය වී තිබෙනවා.

හුස්‌සයිනි

පාකිස්‌ථානයේ කාරකෝරම් කඳු අතර පිහිටා ඇති හුවන්සා නදියෙන් (The Hunza river) එතෙර වීමට ඇති හුස්‌සයිනි පාලම (The Hussaini bridge) තිරස්‌ අතට ලෑලි සවි කිරීමෙන් සාදා ඇති වැනෙන සුලු අතිශය බියජනක මාර්ගයකි. මෙම ගංගාව තරණය කිරීමට ඇති එකම මාර්ගයද මෙය වේ.

Ö දේවින්දි සිරිවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.