ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානවල ඉතිහාසය සහ අනාගතය

ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානය පිළිබඳ ඉතිහාසය, ගම්පොල යුගයේ අවසාන භාගයේ මෙරට පාලනය කළ තුන්වැනි වික්‍රමබාහු රජතුමාගේ කාලය (වර්ෂ 1371) දක්‌වා ඈතට විහිදෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් 1780 දී පේරාදෙණිය උද්‍යානය රාජකීය උද්‍යානයක්‌ ලෙස ප්‍රකාශයට පත්කරා. ඒ නිසා පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ රාජකීය කියන පදය අපේ රටේ රාජකීයත්වයට සම්බන්ධ වන පදයක්‌ මිස බ්‍රිතාන්‍ය රාජකීයත්වයට සම්බන්ධවන්නක්‌ නෙවෙයි. රාජාධි රාජසිංහ රජතුමාත් (1780 සිට 1798 දක්‌වා), තාවකාලික වාසස්‌ථානයක්‌ මෙහි ඉදිකරවා ගෙන එහි වාසය කරලා තිබෙනවා.

මහනුවර ආක්‍රමණයෙන් අනතුරුව ඉංග්‍රීසි ජාතීන් පසුව මෙම පේරාදෙණි උද්භිද උද්‍යානය ඉදිකෙරුණු භූමිය තුළ තිබුණු ගොඩනැඟිලි ආදිය විනාශකර දමා තිබෙනවා. මහනුවර රාජධානිය සම්පූර්ණ වශයෙන්ම අත්පත් කරගෙන වසර හයකට පසුව, එනම් 1821 දී මෙම උද්‍යානය උද්භිද උද්‍යානයක්‌ බවට පත් වුණා.

ඇත්තටම ඊට කලින් වර්ෂ 1810 දී එවකට එංගලන්තයේ කිව් රාජකීය උද්භිද උද්‍යානයේ  අධ්‍යක්‍ෂව සිටි, ශ්‍රීමත් ජෝශප් බෑන්ක්‌ස්‌ මහතාගේ මඟ පෙන්වීම යටතේ කිව්  නමින් උද්‍යානයක්‌ කොම්පඤ්ඤවීදියේ විවෘත කරලා තිබුණා. එහි පරිපාලකයා ලෙස විලියම් ක(ර්) මහතා පත්කර තිබුණා. කොම්පඤ්ඤවීදියේ උද්භිද උද්‍යානයේ වගාකළ හැකි ප්‍රමාණයට වඩා වැඩි ආර්ථික වටිනාකමක්‌ ඇති තුරු/පැළෑටි වගා කළ හැකි බැවින් 1813 දී මෙම උද්‍යානය කළුතර උග්ගල්බොඩට ගෙන ගියා.

ක(ර්) මහතා 1814 දී මියගිය බැවින් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඇලෙක්‌සැන්ඩර් මූන් මහතාගේ පාලනය යටතේ උද්භිද උද්‍යා න සඳහා වඩා ගැළපෙන හා වඩා යෝග්‍ය ස්‌ථානයක්‌ වශයෙන් තෝරාගෙන තිබූ පේරාදෙණියට උද්භිද උද්‍යානය 1821 දී රැගෙන ආවා.

උග්ගල්බොඩ උද්භිද උද්‍යානයේ තිබූ විදේශීය ශාක වර්ග පේරාදෙණිය උද්භිද උද්‍යානයට රැගෙන යාම 1843 දක්‌වා ඇලෙක්‌සැන්ඩර් මූන් මහතා විසින් සිදු කරා. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය මූන් මහතා පාලක තනතුර දරන කාලය තුළ ආරම්භ වූවත්, ඒ කාලය තුළ ශුද්ධ පවිත්‍රකර ආරම්භ කරන ලද්දේ මෙම උද්‍යානයේ නිරිතදිග කොටස පමණයි. එහි ද වැඩි වශයෙන්ම සිටුවන ලද්දේ කුරුඳු හා කෝපි වැනි ආර්ථික බෝගයි. මූන් මහතා විසින් 1824 දී පලකරන ලද zකැටලොග් ඔµa සිලෝන් ප්ලාන්ට්‌ස්‌Z නම් කෘතියෙහි පැළෑටි වර්ග 1127 ක උද්භිද විද්‍යා නාම හා දේශීය නාම සඳහන් කර තිබෙනවා. 1844 දී ජෝර්ඡ් ගාඩ්නර්  මහතාගේ පත්වීමෙන් පස්‌සෙ මෙම ආයතනයේ වැඩ කටයුතු වඩා සක්‍රීය ස්‌වාධීනත්වයකින් හා ප්‍රයෝජනවත් පැවැත්මකින් යුතුව ආරම්භ කෙරුණා. ඇත්තෙන්ම අක්‌කර 147 කින් යුත් මෙම උද්‍යානය ගාඩ්නර් මහතා භාරගන්න කොට වගාකර තිබුණේ අක්‌කර 40 ක්‌ පමණයි. ඒ කාලය තුළ උද්භිද උද්‍යාන භූමියෙන් ගත්ත එක්‌ ප්‍රධාන ප්‍රයෝජනයක්‌ වූණේ මහනුවර රජයේ ඒජන්ත විසින් අලෙවිකිරීම සඳහා එළවළු වගා කිරීමයි. උද්‍යානයේ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ගාඩ්නර් මහතා ඉතා වැදගත් වෙනස්‌කම් රාශියක්‌ කළා. ඒත් ඔහුගේ වැදගත්ම කාර්යභාරය වුණේ දිවයින පුරා සංචාරය කරමින් ශාක එකතු කිරීමත් ඒවායේ වියළි නිදර්ශක පිළිවෙළකට සකස්‌ කිරීමත් වැනි දේවල්.

ගාඩ්නර් මහතා 1849 දී නුවරඑළියේදී මියගිය අතර ඔහුගේ පුරප්පාඩුවට ආචාර්ය ඡේ. එච්. කේ. ත්වේට්‌ස්‌  මහතා පත්වුණා. ඔහු අවුරුදු තිස්‌ එකක්‌ මෙම උද්‍යානය ඉතාමත් දක්‌ෂ අයුරින් පාලනය කරමින් දිවයිනේ ඇති ශාක පිළිබඳ ව අපගේ දැනුම වැඩි දියුණු කලා. මෙම කාලය තුළ පේරාදෙණිය උද්භිද උද්‍යානය ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වුන අතර සිංකෝනා වගාව දිවයිනට හඳුන්වා දීම සඳහා 1861 දී හක්‌ගල උද්‍යානයත් රබර් හඳුන්වා දීම සඳහා 1876 දී ගම්පහ (හෙනරත්ගොඩ) උද්භිද උද්‍යානයත් ඔහු විසින් ආරම්භ කරා.

ත්වේට්‌ස්‌ මහතාට පස්‌සෙ උද්භිද උද්‍යානයේ අධ්‍යක්‌ෂ ලෙස පත්වුන වෛද්‍ය හෙන්රි ට්‍රයිමන් මහතාගේ අධීක්‌ෂණය හා දක්‌ෂ පාලනය යටතේ උද්‍යායනයේ අලංකාරය හා ප්‍රයෝජනවත් බව සැලකිය යුතු අන්දමින් වැඩි දියුණු වුණා. ඔහු පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ආර්ථික උද්භිද කෞතුකාගාරයක්‌ ආරම්භ කරා පමණක්‌ නොව බදුල්ල හා අනුරාධපුර ප්‍රදේශ වලත් උද්‍යාන විවෘත කරා. ශ්‍රී ලංකාවේ ශාක සංග්‍රහය ඔහු විසින් ආරම්භ කළ නමුත් එය අවසන් කළේ 1896 ට්‍රයිමන් මහතාගේ මිය යැමෙන් පසු එවකට එංගලන්තයේ කිව් රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්‌ෂ ශ්‍රීමත් ජෝශප් ඩී. හූකර් මහතා විසින්. 1896 දී ට්‍රයිමන් මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ආචාර්ය ෙ-. සී. විලිස්‌ මහතා පත් වුනු අතර එතැන් සිට නව විද්‍යාත්මක පදනමක්‌ යටතේ වැඩ කටයුතු ව්‍යාප්ත වුණා. ඉහතින් සඳහන් කරපු බ්‍රිතාන්‍ය පාලකයින් විවිධ රටවල උද්භිද උද්‍යාන පිහිටවූයේ ප්‍රධාන වශයෙන් ආර්ථික බෝග ගැන පරීක්‌ෂණ පවත්වන්න. උදාහරණයක්‌ වශයෙන් ඇමසන් වනාන්තරයේ තිබුණු රබර් ශාකය ගැන පරීක්‌ෂණ කරන්න ඔවුන් යොදාගත්තෙ ලංකාව. ආසියානු ශාකයක්‌වූ තේ වුණත් එහෙම තමයි. මීට අමතරට සින්කෝනා, කොකෝවා, විවිධ පලතුරු බෝග, දැව වර්ග ආදීය උද්භිද උද්‍යාන මගින් ලංකාවට ඔවුන් ගෙනාවා. මෙම ශාක හඳුන්වා දෙන්න කලින් සියලු පරීක්‌ෂණ කළේ උද්භිද උද්‍යාන තුළ. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මේ වගේ පිට රට වලින් ගෙනාපු ශාක විශේෂ 4,500 ක්‌ විතර තියෙනවා.

මතුසම්බන්ධයි

සිරිල් විඡේසුන්දර
උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.