අපිට සල්ලි ප්‍රශ්නයක්‌ නැහැ
මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

ප්‍රශ්නය - මහ බැංකුවේ අධිපති ලෙස පත්වෙලා මාස 11 යි. සෑහීමකට පත්වෙන්න පුළුවන්ද වැඩ ගැන?

පිළිතුර - ඔව්. ඇත්ත වශයෙන්ම අපිට වැඩ කරන්න ලැබුණ කාලය අඩුයි. විවිධ ප්‍රශ්න ගැටලු සමඟ අප කටයුතු කළේ. නමුත් ඒ කාලය තුළත් රටේ ආර්ථිකය යම් මට්‌ටමකට දියුණු කරන්න අපට පුළුවන් වුණා. මේ අය- වැය සමඟ අපිට විශාල වැඩ කොටසක්‌ කරන්න පුළුවන්කම ලැබේවි.

ප්‍රශ්නය - මහ බැංකුවට සල්ලි තියෙනවාද?

පිළිතුර- ඔව්. අපට සල්ලි ප්‍රශ්නයක්‌ නෑ. දැන් ලෝක බැංකුව හා වෙනත් රටවල් අපට ආධාර කරන්න පටන් ගෙන තිබෙනවා. ජපානය, ඉන්දියාව, ජර්මනිය හා එක්‌සත් ජනපදයත් අපිට ආධාර කරනවා. පසුගිය කාලයේ USAID කාර්යාලයත් වහන්න සූදානම් වුණා. නමුත් දැන් එය නැවත විවෘත කරලා. ඔවුන් දෙන ආධාර ප්‍රමාණය වැඩි කරලා තිබෙනවා. ඒ වගේම මිලදී ගැනීම්ද සාර්ථක වී තිබෙනවා. පසුගිය කාලේ අපි බිලියන 1.5 ක්‌ ලබා ගත්තා. 6.5% පොළී පදනම මත ඇතැම් රටවල් 7% පොලියටයි ණය ගෙන තිබෙන්නේ. ඒ අනුවත් අපිට විදෙශ් රටවල සහයක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - බදු ලිහිල් කිරීම බැඳුම්කර සිද්ධිය වාගේ මගඩියක්‌ වෙයිද?

පිළිතුර - බදු ප්‍රතිපත්ති ලිහිල් කරලා ආයෝජන වැඩි වුණාම රටේ ආදායම ඉහළ යනවා. පසුගිය කාලේ මත්තල ගුවන් තොටුපල හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති සඳහා විශාල මුදලක්‌ ආයෝජනය කළා. නමුත් ඒ මුදල් උපයා ගන්න ක්‍රමවේදයක්‌ නෑ.

ප්‍රශ්නය - රටේ ආර්ථික වර්ධනය 6.5% ක පවත්වාගෙන යන්න රජය උත්සාහ කරනවා. මේ සඳහා අනුගමනය කරන ක්‍රමවේද මොනවාද?

පිළිතුර - ආණ්‌ඩුව ආර්ථික කලාප පිහිටු වීමට තීරණය කර තිබෙනවා. පසුගිය රජයේ වසර දහයටම ආර්ථික කලාප ආරම්භ වී නෑ. විදේශ ආයෝජකයින්ට ඉතාම පහසුවෙන්
(B.O.I) ආයෝජන සංවර්ධන මණ්‌ඩලය එක්‌ක එකතු වෙලා ආර්ථික කලාප තුළ ඔවුන්ගේ ආයෝජන කරන්න පුළුවන්. අමාත්‍යාංශ, ආයතන ගණනාවක රස්‌තියාදු නොවී මෙහෙම පහසුකම් සලසා දීමෙන් ආයෝජකයෝ විශාල වශයෙන් අපේ රටේ විවිධ ව්‍යාපෘති කරන්න ඉදිරිපත් වෙනවා. මෙවැනි ආර්ථික කලාප 48 ක්‌ ඇති කරන්න අගමැතිවරයා අපේක්‍ෂා කරනවා.

දෙවැනි කාරණය තමයි මේ රටේ මුදල් හුවමාරුව පහසු කිරීම. දැන් තිබෙන තත්ත්වය හැටියට RFC සහ NRFC ගනුදෙනු හරි අමාරුයි. මේක වෙනස්‌ කරලා රටට විදේශ මුදල් රැගෙන එන්නත් රට තුළ ඒවා හුවමාරු කරන්නත් වැඩියෙන් පහසුකම් සලසා තිබෙනවා. මේ නිසා විදේශ මුදල් බහුලව සංසරණය වීමත් අපේ ආර්ථික වර්ධනයට හේතුවක්‌ වෙනවා.

තෙවැනි කාරණය තමයි ග්‍රාම රාජ්‍ය සංකල්පය. ගම්බද ජනතාව ගේ නිෂ්පාදන දියුණු කිරීමට පහසුකම් සලසා දීමත් ඒ සියලු නිෂ්පාදන ප්‍රධාන පෙළේ කර්මාන්ත සඳහා මිලදී ගැනීමත් තුළින් ගමේ ගොවියාගේ හා කම්කරුවාගේ ආර්ථික තත්ත්වය දියුණුවෙනවා. මේ සඳහා මහ බැංකුව සම්බන්ධීකරණ කාර්යාල 3 ක්‌ ජනවාරියේදී ආරම්භ කරන්නත් අපේක්‍ෂා කරනවා. ගොවීන්ට ඉඩම් ණය පහසුකම් දීලා කෘෂි නිෂ්පාදන වැඩිකරලා ඒ නිෂ්පාදන සියල්ල හඳුනාගත් ප්‍රධාන ව්‍යාපාරික ආයතන පහකට අලෙවි කිරීමේ වැඩපිළිවෙලක්‌ සකස්‌ කරලා තිබෙනවා. හේමාස්‌, සී. අයි. සී. ශැන්ග්‍රිලා, හේලීස්‌, කාගිල්ස්‌ ආදී කර්මාන්ත 5 ක්‌ ඒ මිලදී ගැනීම් සඳහා දැනටමත් එකඟ වෙලා තිබෙනවා. මේ ක්‍රමය තුළත් ගමේ ජනතාව අතර මුදල් සංසරණය වුණාම ඒකත් අපේ රටේ ආර්ථික වර්ධනයට හේතුවක්‌. මේ ප්‍රධාන කාරණා තුන අපේ ආර්ථික වර්ධනයට යොදා ගන්න පුළුවන්. අනෙක්‌ කාරණා සංචාරක ව්‍යාපාරය සහ තාක්‍ෂණය (IT) ආදී අංශ තුළ දැනට ඇතිවෙමින් තිබෙන වෙනස්‌කම්ද ආර්ථික වර්ධන වේගය ස්‌ථාවරව පවත්වා ගන්න උපයෝගී වෙනවා.

ප්‍රශ්නය - රුපියල බාල්දු කරලා. මේක ආර්ථික වර්ධනයට බලපාන්නෙ කොහොමද?

පිළිතුර - අපේ රුපියලේ අගය සැප්තැම්බර් 03 දා සිට පාකර තිබෙනවා. එමගින් මෙරටට නිෂ්පාදන සඳහා ලෝක වෙළෙඳ පොළේ ඉල්ලුමක්‌ ඇති කර විශාල මුදලක්‌ උපයා ගැනීම එක්‌ අපේක්‍ෂාවක්‌. ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ගනුදෙනුවලදී මේක වාසිදායකයි. අපේ අපනයනය දැන් ඉහළ යමින් තිබෙනවා. මේක වර්ධනය කර ගන්න තවත් මාස 4 ක්‌ 5 ක්‌ යාවී.

ප්‍රශ්නය - EPF හා ETF අරමුදල ගැන කතාබහ කොහොමද?

පිළිතුර - අගමැතිතුමා මැදිහත්වෙලා දැන් ඒක විසඳලා තිබෙනවා. ඇත්තටම අගමැතිතුමා යෝජනා කළේ මේ රටේ වැඩ කරන ජනතාවගෙන් සුළු මුදලක්‌ මාසිකව අය කරලා රජයේත් දායකත්වය ඇතිව සෑම ක්‍ෂේත්‍රයකම වැඩකරන අයට විශ්‍රාම වැටුපක්‌ දෙන්නයි. දැනට විශ්‍රාම වැටුප හෝ අර්ථ සාධකය ලැබෙන්නේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ වැඩ කරන අයට පමණයි. ධීවරයන්ට, කම්කරුවන්ට ගොවීන්ට මේ අයටත් විශ්‍රාම වැටුපක්‌ දෙන්න ක්‍රමයක්‌ තමයි අගමැතිවරයා යෝජනා කළේ. ජාතික විශ්‍රාම යෝජනා ක්‍රමයක්‌ හදන්නයි එතුමා උත්සාහ කරන්නේ.

ප්‍රශ්නය - බැංකු පද්ධතිය කඩා වැටෙන අවදානමක්‌ තිබෙන බව බැංකු සංගම් චෝදනා කරනවා. මොකක්‌ද ඇත්ත තත්ත්වය?

පිළිතුර - පෞද්ගලික මූල්‍ය ආයතන විසින් කළ යුතු දේ අපේ බැංකුවලිනුත් කරන නිසා පෞද්ගලික මූල්‍ය ආයතන අපහසුතාවන්ට පත්වෙලා කියලා චෝදනා තිබෙනවා. මේ නිසා අපේ බැංකු එවැනි පුංචි ගනුදෙනුවලින් නිදහස්‌ කරලා මහ පරිමාණ ගනුදෙනු කරන්න අවස්‌ථාව ලබා දී තිබෙනවා. මේක නීතිමය තත්ත්වයක්‌ නොවේ. දෙපාර්ශ්වයේ එකඟතාවක්‌ පමණි.

ප්‍රශ්නය - බැංකුවේ මුදල් තැන්පත් කරන අය ඒ මුදල් ආපසු ගැනීමේදී 10% ක්‌ බැංකුවේ ඉතිරිකර ගන්නවා. ඒක අසාධාරණයි නේද?

පිළිතුර - ඔව්. මමත් මේක අපේ මුදල් ඇමැතිතුමා සමඟ සාකච්ඡා කළා. ඒ ක්‍රමය සුදුසු නෑ කියලයි මගේ පෞද්ගලික මතයත්. කෙසේ නමුත් ඉදිරියේදී මේ ක්‍රමය වෙනස්‌ වේවි කියලා විශ්වාස කරන්න පුළුවන්.

ප්‍රශ්නය - මෙවර ඉදිරිපත් කරපු අය-වැය හි සඳහන් යෝජනා විටින් විට සංශෝධනය කරනවා. එය ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර - මේක මුදල් ඇමැතිතුමා ගේ පළමු අයවැය. අනෙක පක්‍ෂ කීපයක්‌ එකතු වූ රජයක පළමු අය-වැය. අය-වැය ලේඛනයක්‌ පළමුවර ඉදිරිපත් කරද්දී මෙහෙම තත්ත්වයන් ඇතිවෙනවා. රොනී ද මැල් මහතා අය-වැය ලේඛන ඉදිරිපත් කරන වේලාවෙත් එහෙම වුණා.

අපි බලන්න ඕනේ මේ අය-වැය ඉදිරිපත් කළ පසුබිම මොකක්‌ද කියලයි. විවිධ අදහස්‌ ඇති දේශපාලන පක්‍ෂ කීපයක එකතුවෙන් කරගෙන යන රජයක අය-වැයක්‌. මේ අය-වැය තුළත් මුදල් ඇමැතිතුමා අපි යම් ඉලක්‌කයකට යොමු කර තිබෙනවා. අය-වැය සංශෝධනය කරන්න වෙනවා. අපි මේ මුදල් ඇමැතිතුමා ගේ කාර්ය අගය කරලා ටිකක්‌ ඉවසලා බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.

ප්‍රශ්නය - මහ බැංකුවේ කාර්ය මණ්‌ඩලය ස්‌ථානමාරු කිරීම පිළිබඳ ආන්දොaලනයක්‌ මතු වුණා. දැන් මොකද තත්ත්වය?

පිළිතුර - සේවා අවශ්‍යතාව මත ස්‌ථානමාරු සිදු කිරීම සාමාන්‍ය දෙයක්‌. ඒක කලබලයක්‌ කර ගත්තේ ඒක ගැන නොදන්නා අයයි. දැන් සියල්ල හරි. අපි සියලු දෙනාම සුපුරුදු පරිදි වැඩ කරගෙන යනවා. සමහර අය දේශපාලන වශයෙන් ඇඟිලි ගහන්න ගත්තා. ඒක එහෙම වෙන්න බෑ. පසුගිය වසර 30 පුරාම එහෙම සේවා අවශ්‍යතාව පරිදි ස්‌ථානමාරු ලබාදී තිබෙනවා. ඒ පිළිවෙත උල්ලංඝනය කරන්න මට බෑ.

ප්‍රශ්නය - රටට ස්‌ථාවර ආර්ථික ප්‍රතිපත්තියක්‌ නෑ නේද?

පිළිතුර - ඔව් ඒක මම පිළිගන්නවා. දැන් අපි ඒ ප්‍රතිපත්තිය හදන්න මහන්සි ගන්නවා. ඒ අනුව තමයි ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක හා දෙමළ පක්‍ෂ සහාය ඇතිව එක "කුඩයක්‌" යටට වැඩ කරන්න රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මහන්සි ගන්නෙ. ඒක සාර්ථක වුණාම අපට අපේ රටට ගැලපෙන ස්‌ථාවර ආර්ථික ප්‍රතිපත්තියක්‌ හදා ගන්න පුළුවන්. ඒක තමයි අපිට දියුණු වෙන්න තියෙන හොඳම ක්‍රමය.

ප්‍රශ්නය - මහ බැංකු බැඳුම් කරයේ ඇත්ත පාඩුව කීයද?

පිළිතුර - එක එක අය මේ ගැන විවිධ මිල ගණන් ඉදිරිපත් කළා. මම දන්නෙ නෑ ඒ අය ඒ ගණන් හැදුවේ කොහොමද කියලා. හැම කෙනාම දන්නවා රජයට මුදල් ඕනේ. එදා බිලියන 10 ක්‌ ඕනෑ වුණා. අපි දැන්වීම් පළකළා බිලියන 1 ක්‌ ගන්න. ඒක මම පිළිගන්නවා. මේ ගනුදෙනුවෙන් රජයට පාඩුවක්‌ වී නෑ. මේ කාරණයේදී නීතිමය වරදක්‌ සිදුවෙලා නෑ. පාර්ලිමේන්තුවේ වෙනම පරීක්‍ෂණයක්‌ කරනවා නම් ඊට මුහුණ දෙන්න අපි සූදානම්.

සාකච්ඡා කළේ  : ජයසූරිය උඩුකුඹුර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.