ආචාර්ය නාලක
ගොඩහේවා රිමාන්ඩ්

හේමන්ත රන්දුණු

විනිමය සහ සුරැකුම්පත් කොමිසමේ සිදුවී ඇතැයි කියන රුපියල් මිලියන 5ක මූල්‍ය වංචාවක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගත් එහි හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ලබන 14 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ (7 වැනිදා) නියෝග කළේය.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාදීමට ගොඩහේවා මහතා ඊයේ පෙරවරු 9.30 ට පමණ පැමිණි අවස්‌ථාවේ පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මඟින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාදීමට ඉකුත් 05 වැනිදා පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ගොඩහේවා මහතා එදින පැමිණ සිටියේ නැත.

පසුව ඒ මහතා නීතිඥයන් මාර්ගයෙන් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත පැමිණි අවස්‌ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

විනිමය සුරැකුම්පත් කොමිසමේ සිදුවූ මූල්‍ය වංචාවක්‌ සම්බන්ධයෙන් එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් කීප දෙනෙකු ද මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔවුහු මේ වන විට බන්ධනාගාර ගත කර සිටිති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.