මහින්ද හෝ ගෝඨාභය අත්අඩංගුවට
ගත්තොත් සඟ පරපුර
ජනතාව සමඟ පාරට බහිනවා

බෙංගමුවේ නාලක හිමි

බුලිත ප්‍රදීප් කුමාර

ඇවන්ගාඩ් හෝ වෙනයම් ඕනෑම හේතුවක්‌ මුල්කර ගනිමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගතහොත් මේ රටේ දේශප්‍රේමී සඟ පරපුර ප්‍රමුඛ දේශප්‍රේමී ජනතාව ඊට එරෙහිව පාරට බැස විරෝධය පළ කරන බව දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ ප්‍රකාශ කළහ.

බටහිර බලවේගවල සහ කලාපීය ආසන්න රටක උවමනාව මත මෙම අත්අඩංගුවට ගැනීම් සඳහා මේ ආණ්‌ඩුවේ ඇමැතිවරුන් කිහිප දෙනෙක්‌ මෙන්ම වාමාංශික බලවේගයක්‌ යෑයි කියාගන්නා පක්‍ෂයක නායකයෙක්‌ මේ සම්බන්ධයෙන් පරිසරය සැකසීමේ ක්‍රියාන්විතවල යෙදී සිටින බව උන්වහන්සේ පෙන්වා දුන්හ. රටේ ජනතාවගේ "දේශප්‍රේමය හා දේශප්‍රේමීයත්වය" හාස්‍යයට ලක්‌ කරමින් "දේශප්‍රේමීත්වය" ගැන විවාදයට තුඩුදෙන මත පළකරන නායකයෙක්‌ සිටින රටක මෙබඳු විපරිත ක්‍රියා පිළිබඳ පුදුමයක්‌ නැති බව පෙන්වාදුන් උන්වහන්සේ එබඳු සිදුවීමක්‌ වුවහොත් එය රටේ මහා සමාජ අරගලයක ආරම්භයක්‌ බවද පෙන්වා දුන්නේය.

බෙංගමුවේ නාලක හිමියෝ මෙම අදහස්‌ පළ කරනු ලැබුවේ "දිවයින" කළ විශේෂ විමසීමකදීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.