නැගෙනහිර මුහුදේ මළ සිරුරු සොයා
නාවික හමුදා මෙහෙයුම්


හේමන්ත රන්දුණු, ලසිත දුමින්ද, සමන් මල්ලවආරච්චි

නැගෙනහිර මුහුදේ පාවෙමින් තිබෙන බව කියන නාඳුනන පුද්ගලයන් හයදෙනකුගේ සිරුරු සෙවීමට නාවික හමුදාව දැවැන්ත මෙහෙයුමක්‌ ආරම්භ කර ඇත.

මෙම මෙහෙයුම සඳහා නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා තුනක්‌ සහ තවත් කුඩා ප්‍රමාණයේ යාත්‍රා කීපයක්‌ යොදවා තිබේ.

එහෙත් ඊයේ (07 වැනිදා) දහවල් වනතුරුත් මෙම මළ සිරුරු කිසිවක්‌ සොයා ගැනීමට නොහැකි විය.

ත්‍රිකුණාමලයට කිලෝමීටර් 20 ක්‌ පමණ දුරින් මුහුදේ ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක්‌ මෙම මළ සිරුරු මුලින්ම දැක ඇත.

පසුව ඔවුන් ඒ පිළිබඳව නාවික හමුදාවට දැනුම්දී තිබිණි. එම තොරතුරට අනුව නාවික හමුදාව මෙම සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.

මේ සම්බන්ධයෙන් zදිවයිනZ කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි මහතා කියා සිටියේ මළ සිරුරු සොයා දින දෙකක්‌ තිස්‌සේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ ද කිසිදු තොරතුරක්‌ මේ වන තුරු ලැබී නොමැති බවයි.

මේ අතර සාම්පූර් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසක්‌ ද මියගිය පුද්ගලයන්ගේ සිරුරු දැක තිබිණි.

ඊයේ පෙරවරුවේ ත්‍රිකුණාමලය වෙරළට ගොඩගසා තිබූ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක්‌ ත්‍රිකුණාමලය වරාය පොලිසිය සොයා ගත්තේය. මෙම පුද්ගලයාගේ සිරුර දැඩි ලෙස කුණුවී විකෘතිව තිබූ බව පොලිසිය පවසයි. මෙම පුද්ගලයාගේ සිරුර සොයාගත් ස්‌ථානයට කිලෝමීටර් දෙකක්‌ පමණ දුරකින් ඉන්දීය ජාතිකයකුගේ හැඳුනුම්පතක්‌ ද පොලිසිය සොයා ගත්තේය. මෙම හැඳුනුම්පත මියගොස්‌ සිටි නාඳුනන පුද්ගලයාගේ ද යන්න සෙවීම සඳහා වරාය පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.