භාරත ලක්‌ෂ්මන් ඝාතන නඩුව
සුදුපාට ජීප් රථයෙත් රතුපාට ජීප් රථයෙත්
වෙඩි උණ්‌ඩ සලකුණු හා ලේ පැල්ලම් තිබුණා

පොලිස්‌ පරීක්‌ෂක සංජීව තරංග කාරියවසම් සාක්‌ෂිදෙමින් කියයි

අධිකරණය හමුවේ එකඟවන ආකාරයෙන්ම කටයුතු කරන්න
දුමින්ද සිල්වාට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තරයේ අවවාද කරයි

ඒ. ඡේ. ඒ. අබේනායක

අධිකරණය හමුවේදී එකඟවන ආකාරයෙන් මින් මතුවට කටයුතු කිරීමට වගබලාගත යුතු යෑයි භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු පුද්ගල ඝාතන නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නඩුවේ 11 වැනි විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට ඊයේ (7 දා) පස්‌වරුවේ තරයේ අවවාද කළේය.

දෙසැම්බර් මස 2 වැනි දින නැවත අධිකරණයට භාරදීමේ එකඟතාවයට යටත්ව අධිකරණය භාරයේ තිබූ සිය විදේශ ගමන් බලපත්‍රය 2015.11.04 වැනි දින ලබාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශ ගතවී තිබූ විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එය පොරොන්දු වූ දින යළි අධිකරණයට භාර දීමට අපොහොසත් වීම කෙරෙහි අවධානය යොමු කළ විනිසුරු මඬුල්ල එලෙස අවවාද කළේය.

මසකට ආසන්න කාලයක්‌ විදේශ ගතවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් විත්තිකාර හිටපු මන්ත්‍රීවරයා ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදී දිනයට නියමිත නඩු විභාග කටයුතු ආරම්භ කිරීමට පෙර අධිකරණය ඇමතූ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිකරු පොරොන්දු ප්‍රකාර දිනට පසු දින එනම් දෙසැම්බර් 3 වැනිදා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මහාධිකරණ ප්‍රධාන රෙජිස්‌ට්‍රාර්වරිය වෙත ඉදිරිපත් කොට ඇතත් එක්‌ දිනක්‌ ප්‍රමාදවීම නිසා එය භාරගෙන නැතැයි අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉහත කී ලෙස විත්තිකරුට අවවාද කළ විනිසුරු මඬුල්ල එම විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ලබා දෙන ලෙසට මහාධිකරණ ප්‍රධාන ලේඛකාධිකාරීවරියට නියෝග කළේය.


නඩු භාණ්‌ඩ ලෙස පොලිසිය භාරයට ගෙන තිබූ සුදුපාට ජීප් රථයේ මෙන්ම රතුපාට ජීප් රථයේද වෙඩි උණ්‌ඩ සලකුණු හා ලේ පැල්ලම් දක්‌නට ලැබුණේ යෑයි නුගේගොඩ කොට්‌ඨාස අපරාධ පරීක්‍ෂණාගාරයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක සංජීව තරංග කාරියවසම් මහතා ඊයේ (07 දා) කොළඹ මහාධිකරණය හමුවේ භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නඩුවේ පැමිණිල්ලේ සාක්‌ෂිකරුවකු ලෙස සාක්‌ෂි දෙමින් පැවැසීය.

ඩබ්ලිව්. පී. කේ. එල්. 4214 දරන අතුපාට ජීප් රථයේ ඉදිරිපස ඇතුළත (භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ගමන් කළා යෑයි පැවැසෙන රථයේ) සුදුපාට පාවහන් එකක්‌ හා ලේ පැල්ලම් කිහිපයක්‌ දක්‌නට ලැබුණේ යෑයිද එහිදී පැවසූ සාක්‌ෂිකරු අනෙක්‌ රථයේ (ආර්. දුමින්ද සිල්වා ගමන් කළා යෑයි කියන රථයේ) රියෑදුරු අසුන ළඟ වැටී තිබූ ගිනි අවි උණ්‌ඩ දෙකක්‌ සොයාගැනීමට හැකි වූයේ යෑයිද පැවැසීය.

එම නඩුවේ සාක්‌ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න, පද්මිණි එන්. රණවක ගුණතිලක හා එම්. සී. බී. එස්‌. මොරායස්‌ යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි.

අධිකරණයේ අවසරය මත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශ ගතවී තිබූ එම නඩුවේ 11 වන විත්තිකාර හිටපු පාර්ලිsමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර මේ වන විට අතුරුදන්ව ඇතැයි කියන 10 වන විත්තිකරු නොමැතිව නඩු කටයුතු පවත්වා යැමට විනිසුරු මඩුල්ල තීරණය කොට තිබිණි.

එහිදී පැමිණිල්ල මෙහෙය වන රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‌ෂි දුන් පැමිණිල්ලේ 22 වන සාක්‌ෂිකාර පොලිස්‌ පරීක්‌ෂක සංජීව තරංග කාරියවසම් මහතා මෙසේද පැවැසීය.

මෙම නඩුවට අදාළ නඩු භාණ්‌ඩ දෙකක්‌ වන ඩබ්ලිව්. පී. කේ. එල්. 4219 දරන ලෑන්ඩ් කෲසර් රතුපාට ජීප් රථය මා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේදී ඡායාරූප ගත කරනු ලැබුවා. ඩබ්ලිව්. පී. සී. 10-1941 ටොයොටා ලෑන්ඩ් කෲසර් සුදුපාට ජීප් රථය පොලිස්‌ අපරාධ කොට්‌ඨාස කාර්යාලය තුළදී මා ඡායාරූප ගත කොට නිරීක්‌ෂණය කළා. අංක 4219 දරන ජීප් රථයේ වෙඩි සලකුණු දෙකක්‌ නිරීක්‌ෂණය වුණා. එමෙන්ම එම ජීප් රථයේ ඉදිරිපස හා රථයේ බඳ කොටසේ එම වෙඩි සලකුණු තිබුණා.

පැ/නීතිඥ එම ජීප් රථ දෙක නඩු භාණ්‌ඩ ලෙස විමර්ශන නිලධාරීන් භාරගෙන තිබූ ඒවාද?

සාක්‌ෂිකරු - එහෙමයි ස්‌වාමීනි පෙර කී අංක 4219 දරන රතුපාට ජීප් රථයේ හැප්පීම් තැළීම් සලකුණු සීරිම් සලකුණු තිබුණා. යම් අනතුරක්‌ සිදුවූ විට එවැනි සලකුණු ඇති වෙනවා. එවැනි තැලීම් ස්‌ථානයක තිබී මා සුදු පාට තීන්ත ස්‌වල්පයක්‌ නඩු භාණ්‌ඩ ලෙස වෙන්ව ගත්තා. ඒවා දේපළ කුවිතාන්සි අංක යටතේ මා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නා. එම ජීප් රථයේ දකුණු පස හැප්පීම් තැලීම් ස්‌වභාවයක්‌ දක්‌නට ලැබුණා.

එමෙන්ම එම ජීප් රථය තුළ පිටුපස අසුන් මත ලේ සලකුණු තිබුණා. එහි ඉදිරිපස අසුන අසල කුඩා ප්‍රමාණයේ කොට්‌ටයක්‌ හා සුදුපාට පාවහන් එකක්‌ තිබුණා. එහි ඇතුළේ තිබූ රුධිර සලකුණු වලින් රුධිර සාම්පල ලබා ගැනීමට පියවර ගත්තා. එමෙන්ම එම අසුන්වලින් කෙඳිති සලකුණු සාම්පල ලබාගැනීමටත් පියවර ගත්තා.

පැ/නීතිඥ - එලෙස කෙඳිති සලකුණු ලබාගත්තේ ඇයි?

සාක්‌ෂිකරු - එම අසුන්වල යම් අයෙක්‌ වාඩිවී සිටියාද ඒ කවුද යන කරුණු අනාවරණය කර ගැනීමට අවශ්‍ය නිසයි එලෙස කෙඳිති සාම්පල ලබාගත්තේ.

පැ/නීතිඥ - ඒ සඳහා ඔබ භාවිතා කළේ කිනම් උපකරණද?

සාක්‌ෂිකරු - අප වෙත ලබාදී ඇති ඇලෙන සුළු විශේෂ කඩදාසි වර්ගයක්‌ භාවිත කොට අලවා ලබා ගැනීමේ ක්‍රමවේදය අනුව එම සාම්පල ලබාගත්තා.

පැ/නීතිඥ - ඔබ පෙර සඳහන් කළා ඩබ්ලිව්. පී. සී. 10-1941 දරන ජීප් රථයක්‌ ගැන?

සාක්‌ෂිකරු - එහෙමයි. එය සුදු පැහැති ජීප් රථයක්‌. එම රථයේ බඳ කොටසේ තැනින් තැන රුධිර සාම්පල තිබුණා. ඉදිරිපස බඳෙහි කොටසක්‌ යම් රථ වාහන ගැටීමක්‌ නිසා ඇතිවිය හැකි සලකුණු තිබුණා. එමෙන්ම දෙපසේ දොරවල්වල වෙඩි වැදීමෙන් ඇතිවිය හැකි වෙඩි සලකුණු 2 ක්‌ තිබුණා. එම ජීප් රථයේ ඉදිරි දකුණු පස දොරෙහි වීදුරුව බිඳී හානි වී තිබුණා. වීදුරුව හරහා වෙඩි උණ්‌ඩයක්‌ ගමන් කළ සලකුණු තිබුණා.

පැ/නීතිඥ - ඒ කියන්නේ එම වීදුරුව බිඳී කැඩී තිබුණාද?

සාක්‌ෂිකැර - එහෙමයි. වෙඩි වැදීම නිසා බිඳුනා යෑයි අනුමාන කළ හැකි එම වීදුරුවේ කැබලි වාහනය තුළ වැටී තිබුණා. එම වීදුරුව බිඳුනේ වෙඩි තැබීමකින්ද යන කරුණ අනාවරණය කරගැනීම සඳහා එම වීදුරු කැබලිවල සාම්පලයක්‌ මා ලබාගත්තා. එම ජීප් රථයේ පිටුපස බµරය ගැලවී ඇති බවට සලකුණු තිබුණා. එම ජීප් රථයේ පිටුපස අසුන්මත තිබූ ලේ පැල්ලම්වල සාම්පලත් ලබාගත්තා. එක්‌ස්‌ 1 සිට 2, 3, 4, 5, 7 හා 9 ලෙස සලකුණු කොට ඇති ස්‌ථානවලින් එම රුධිර සාම්පල ලබාගත්තා. ඒ වගේම එම ජීප් රථයේ අසන්වලිනුත් කෙඳිති සාම්පල ලබාගැනීමට පියවර ගත්තා. එහි ඇතුළේ තිබූ ජනක රණවක මන්ත්‍රීවරයාගේ රැස්‌වීම් පවත්වන ස්‌ථානවල සටහනක්‌, බෙහෙත් පෙති වර්ගයක්‌ භාරයට ගත් මා ඒවා මුද්‍රd තබා තියාගත්තා. එමෙන්ම එම රථයේ රියෑදුරු අසුන ළඟ වැටී තිබූ වෙඩි උණ්‌ඩ දෙකක්‌ මා භාරයට ගත්තා. සුදුපාට ජීප් රථයේ තිබී සොයාගත් එම නඩු භාණ්‌ඩ නඩු භාණ්‌ඩ භාර පොලිස්‌ සැරයන් රාජපක්‌ෂ යන නිලධාරියාට මා පසුව භාරදුන්නා. 2011.10.27 වැනිදා මා එම නඩු භාණ්‌ඩ ගරු මහෙස්‌ත්‍රාත් අධිකරණයට භාරදුන්නා. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ චමින්ද අතුකෝරළ මහතා සමග රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ තුසිත් මුදලිගේ මහතා පැමිණිල්ල මෙහෙයවිය. ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, අසෝක වීරසූරිය, උපුල් කුමාරප්පෙරුම, සෞම්‍යා මුතුකුඩ, චමින්ද සිල්වා ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය නියෝජනය කළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.