උඩුවේ ධම්මාලෝක හිමි සන්තකයේ සිටි
අලි පැටවා සත්වෝද්‍යානයෙන් ලබාගත්තා දැයි පරීක්‍ෂණ


සමන්ත ඉලේපෙරුම

උඩුවේ ධම්මාලෝක ස්‌වාමීන් වහන්සේ නමින් හෝ පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමය නමින් හෝ කිසිදු අලියකු නීත්‍යානුකූලව ලියාපදිංචි කර නොමැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (7 වැනිදා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

නීත්‍යානුකූලව බලපත්‍රයක්‌ නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ බැව් දැනුම් දුන්නේය.

උඩුවේ ධම්මාලෝක ස්‌වාමීන් වහන්සේ සන්තකයේ සිටි අලි පැටවා සම්බන්ධයෙන් වන ජීවි දෙපාර්තමේන්තුවේ නීති ප්‍රධානී ලබාදී ඇති ප්‍රකාශ අනුව උඩුවේ ධම්මාලෝක හිමියන් නමින් හෝ ඇලන් මැතිනියාරාමය නමින් හෝ කිසිදු අලියකු ලියාපදිංචි කර නොමැති බව අනාවරණය වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේය.

ස්‌වාමීන් වහන්සේ සන්තකයේ සිටි අලි පැටවා ජාතික සත්වෝද්‍යානය වෙතින් ලබාගත් අලි පැටවකු ද යන්න පරීක්‍ෂණ පවත්වන බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියේය.

පැමිණිල්ල 2016 වසරේ ජනවාරි 14 වැනිදා යළි කැඳවීමට නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.