හොර රහසේ විදේශීය සමාගම් දෙකකට මැණික්‌ ගැරීමට
බලපත්‍ර දුන් මැණික්‌ සංස්‌ථාවේ සභාපති සේවයෙන් පහ කළා
ජනපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදි කියයි

අජිත් අලහකෝන්, අකිත පෙරේරා

තම අනුදැනුමකින් තොරව හොර රහසේ විදේශීය සමාගම් දෙකකට මැණික්‌ ගැරීම සඳහා බලපත්‍ර දෙකක්‌ නිකුත් කළ මැණික්‌ සංස්‌ථාවේ සභාපතිවරයා සේවයෙන් පහ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (7 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පරිසර අමාත්‍යාංශ වැය ශීර්ෂයට අදාළ අයවැය කාරක සභා විවාදයට එක්‌වෙමින් වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ මින් ඉදිරියට කිසිදු විදේශීය සමාගමකට හෝ විදේශිකයෙකුට මෙරට තුළ මැණික්‌ ගැරීමේ බලපත්‍ර නිකුත් නොකරන බවය.

ජනවාරි 08 දා තමන් පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට පෙර පැවැති රජය විසින් විදේශීය සමාගම් හතරකට මැණික්‌ ගැරීමට බලපත්‍ර නිකුත් කර ඇති බව රත්නපුර ප්‍රදේශයේ මැණික්‌ ව්‍යාපාරිකයෝ තමන්ට පැමිණිලි කළ බවද ජනාධිපතිවරයා කීවේය.

මෙම බලපත්‍ර හතර ඔබතුමා බලයට පත්වුණොත් අත්හිටුවන්නැයි එම ව්‍යාපාරිකයෝ තමන්ගෙන් ඉල්ලීමක්‌ කළ බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ අනුව තමන් ජනාධිපති වී අදාළ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කළ පළමු කාර්යය වූයේ එකී බලපත්‍ර හතර අහෝසි කිරීම බවද කීවේය.

මම මේ තහනම ක්‍රියාත්මක කරන අතරවාරයේදී මැණික්‌ සංස්‌ථාවේ සභාපතිවරයා මගේ අනුදැනුමකින් තොරව බලපත්‍ර දෙකක්‌ විදේශීය සමාගම් වෙත ලබාදී තිබුණා. මම එම සභාපතිවරයාව එම තනතුරෙන් ඉවත් කළා. බලපත්‍ර දෙකත් අහෝසි කළා යෑයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය.

මහවැලි සංවර්ධන ව්‍යාපාරය, පාරිසරික විෂය ගත් විට මේ ආයතන තුළ ඉදිරි තුන් අවුරුදු සැලසුම් ක්‍රියාත්මක වෙනවා. මහවැලියේ, මොරගහකන්ද, කලු ගඟ ශීඝ්‍රව කෙරෙනවා. මාදුරු ඔය දකුණු ඉවුර නව සංවර්ධන යෝජනාවකට ශක්‍යතා අධ්‍යයනය කරනවා. මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය ජනතාවට මේ යටතේ ප්‍රතිලාභ ලැබෙනවා. මේ තුන් අවුරුදු වැඩසටහනට මම සැමගේ සහාය ඉල්ලනවා. වන විනාශය, කැලෑ කැපීම්, මැණික්‌ ගැරීම් නිසා සුබවාදී මෙන්ම අයහපත් තත්ත්වයනුත් ඇතිව තිබෙනවා.

මීට මාස කීපයකට පෙර යුද හමුදාව, පොලිසිය, වන සංරක්‍ෂණයට, දිසාපතිවරුන්ට උපදෙස්‌ දී තිබෙනවා. කැලෑ කැපීම් නතර කරන්න කියා. නැතිනම් ඒ නිලධාරීන් වගකීම් භාරගත යුතුයි.

නැවත පදිංචි කිරීම් යටතේ 2013 ජනවාරි 2 සිට ජනවාරි 22 දක්‌වාත්, 2014.09.15 ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඇමැති යටතේ මේ ඉඩම් නිදහස්‌කර තිබෙනවා. නිලධාරීන්ගෙන් විමසීමේදී පෙනී ගියා එම නිලධාරීන්ගේ විරෝධතා මැද දේශපාලන මැදිහත්වීම් මත මේ ඉඩම් නිදහස්‌ව තිබෙනවා. මුලතිව්, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය මෙලෙස ඉඩම් නිදහස්‌ කර තිබෙනවා.

මම උපදෙස්‌ දුන්නා මේ ඉඩම් භාරගෙන තිබුණත් නැතත් කැලෑ කැපීම් වැළැක්‌විය යුතුයි කියා. නැවත පදිංචි කිරීම් කළ මුස්‌ලිම්, දමිළ ජනතාව පිළිබඳ අප විසින් ගත යුතු විකල්ප තීන්දු තීරණ සැලකිය යුතුයි.

මේ සතිය තුළ මම අදාළ නිලධාරීන් සමග රැස්‌වීමක්‌ කැඳවනවා. උතුරට යැමට පහසුකම් සලසනවා. මේ ගැන ඉදිරි සති දෙක තුළ වහා වාර්තාවක්‌ කැඳවනවා. නීති විරෝධීව ගස්‌ කැපීම, වැලිගොඩ දැමීම, මැණික්‌ ගැරීම කරන අයට තරාතිරම නොබලා පක්‍ෂ භේද නොතකා නීතිමය පියවර තදින්ම ගන්නවා.

ජනවාරි 8 ට පෙර මම පොදු අපේක්‍ෂක වීමට පෙර රත්නපුර ජනතාව ඉල්ලා සිටියා විදේශීය සමාගම්වලට මැණික්‌ ගැරීම බලපත්‍ර දී ඇත කියා. අපි ජයගත් පසු මම කළ පළමු කාර්යය තමයි විදේශීය සමාගම් 4 කට දී තිබූ බලපත්‍ර අවසන් කිරීමය.

මා මේ තහනම ක්‍රියාත්මක කරන අතර වාරේ පත්කර සිටි මැණික්‌ සංස්‌ථා සභාපති මගේ අනුදැනුමක්‌ නැතිව එවැනි බලපත්‍ර දෙකක්‌ දී තිබුණා. මම ඔහුව තනතුරෙන් ඉවත් කර එම බලපත්‍ර 2 අත්හිටු වූවා. කිසිම විදේශීය සමාගමකට මැණික්‌ ගැරීම් බලපත්‍ර ලබා දෙන්නේ නෑ. විදේශීය තාක්‍ෂණය පුහුණුවීම දැනුම අපේ රටේ අයට ලබා දෙනවා.

ස්‌වාභාවික සම්පත් විනාශයට අපි ඉඩ දෙන්නේ නෑ.

ඕසෝන් වියන ආරක්‍ෂා කිරීමේ වියානා සම්මුතිය පිළිබඳ අපි දැඩි ස්‌ථාවරයක සිටිනවා. එය ආරක්‍ෂා කිරීමේ වැදගත්කම අපි පිළිගන්නවා. අපි මේ ගිවිසුම් අත්සන් කර සියලු සත්වයාට ස්‌වාභාවික සම්පත, ජීවීන්ගේ පැවැත්ම සඳහා අපේ වගකීම ඉටුකරනවා.

ජෛව විවිධත්වය රැක ගැනීමට අපේ ජාතික සැලසුම් ක්‍රියාත්මක කරනවා. ජනවාරි 01 සිට පොලිතින් භාවිතය ගැන දැඩි නීති ක්‍රියාත්මක කරනවා. 2006 චක්‍රලේඛයත් ඇනහිටලා තිබුණේ. ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේදී පොලිතින් හානි බරපතලයි. අපි 2018 වෙද්දී සෙවිලි තහඩු භාවිතය ඉවත් කිරීමට ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කර තිබෙනවා.

සමුද්‍රීය පරිසර දූෂණය පාලනයට ජාත්‍යන්තර නීති රීති ක්‍රියාත්මක කරනවා. වෙරළ ඛාදනය වැළැක්‌වීමට අපි නාවික හමුදා සහායත් ලබා ගන්නවා. භූ විද්‍යා පතල් කාර්යාංශය, මැණික්‌ අධිකාරිය තුළ දැනට කෙරෙන කාර්යයන් ලබන වසරේ සිට විධිමත්ව ක්‍රියාත්මක කරනවා.

රාජ්‍ය දැව සංස්‌ථාවටත් වන වගාවෙන් කොටසක්‌ අපි භාර දෙනවා. මහවැලි අධිකාරිය තුළ ඉඩම් බෙදා හැරීම තුළ අවශ්‍ය ප්‍රතිසංවිධාන සිදුකරනවා. පුල්මුඩේ ඉල්මනයිට්‌ කර්මාන්තායතනයේ තත්ත්වය. පසුගිය වසර කීපය තුළ අන්ත දූෂිතව සිදු කෙරුණා. අපි අලුත් කළමනාකාරීත්වය තුළ එම කර්මාන්තයේ ආදායම රජයට ලැබෙන ලෙස කටයුතු කර තිබෙනවා.

රටේ සාමාන්‍ය ජනතාවට අවහිරයක්‌ නොවන ලෙස පරිසර සංරක්‍ෂණ නීතිරීති අපි ක්‍රියාත්මක කරනවා.

අද විවාදයේදී අදහස්‌ දැක්‌වූ සැමටම මම ලිතව ආරාධනා කරනවා. නිලධාරීන් සමග අදාළ ප්‍රදේශවලට යවා වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්නට.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.