සේයා ඝාතන නඩුව මීගමුව මහාධිකරණයට

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

කොටදෙණියාව, බඩල්ගම අකරන්ගහ ප්‍රදේශයේ පදිංචිව සිටි පස්‌ හැවිරිදි සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධව මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගය මිනුවන්ගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා ඊයේ (07 වැනිදා) අවසන් කළේය.

සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියමයෙන් නිදහස්‌ කළ පාසල් සිසුවාගේ පරිගණකය සම්බන්ධව මොරටුව විශ්වවිද්‍යාලය මගින් කරන ලද පරීක්‍ෂණයේ පිටපතක්‌ ලබා දෙන ලෙස කොටදෙණියාව පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මහෙස්‌ත්‍රාත්වරයා එම නඩු ගොනුව මීගමුව මහාධිකරණය වෙත යොමු කර ඇති බවත් මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ ඇත්තේ උප ගොනුවක්‌ බවත් පැවසීය.

මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට මෙම නඩුව සම්බන්ධව මින් ඉදිරියට කළ හැකියාවක්‌ නොමැති හෙයින් මින් ඉදිරියට එම නඩුවට අදාළව කරන සියලු ඉල්ලීම් මීගමුව මහාධිකරණයෙන් කරන ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා කොටදෙණියාව පොලිසියට වැඩිදුරටත් නියම කළේය.

සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් නැමැති 35 හැවිරිදි විවාහකයාට විරුද්ධව නීතිපතිවරයා විසින් අධිචෝදනා 04 ක්‌ යටතේ මීගමුව මහාධිකරණයේ නඩු පවරා තිබේ. එම නඩුව සඳහා විත්තිකරුව මීගමුව මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරමින් මහෙස්‌ත්‍රාත්වරයා නඩු කටයුතු මිනුවන්ගොඩ අධිකරණයෙන් අවසන් කරනු ලැබීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.