මෙරට මැණික්‌ කර්මාන්තයට
විදේශිකයන්ට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා

ලංකා මැණික්‌ හා පතල්කරුවන්ගේ මහා සංගමය රජයෙන් ඉල්ලයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

විදේශිකයන්ට හෝ විදේශිකයන් සම්බන්ධ සමාගම්වලට ශ්‍රී ලංකාව තුළ මැණික්‌ ගැරීමට ඉඩ නොදෙන ලෙස ලංකා මැණික්‌ ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ මහා සංගමය රජයෙන් ඉල්ලා සිටී.

මෙරට මැණික්‌ හා පතල් කර්මාන්තයට විදේශිකයන්ට ඇතුළු වීමට ඉඩ දුනහොත් එම කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව යෑපෙන පවුල්වල සාමාජිකයන් තිස්‌ ලක්‌ෂයකට පමණ විශාල අහිතකර බලපෑමක්‌ වන බව එම සංගමයේ ලේකම් ඒ. ජී. ඩී. අමරසිරි මහතා ඊයේ (07 දා) දවල් බත්තරමුල්ල තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනෑච් හෝටලයේදී පැවති එම සංගමයේ හමුවකදී ප්‍රකාශ කළේය.

මේ අවස්‌ථාවට රත්නපුර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන රජයේ මැති ඇමැතිවරුන් සහ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මැණික්‌ ව්‍යාපාරිකයෝ රැසක්‌ සහභාගිවී සිටියහ.

මේ කර්මාන්තය විදේශ විනිමය ඉපයීම අතින් 5 වන ස්‌ථානයේ සිටිනවා. ඒ නිසා මේ කර්මාන්තය අපේ රටේ ආර්ථිකයට ඉතා වැදගත්. මේ වන විට මෙම කර්මාන්තයේ සේවා නියුක්‌තිය සෘජුව හා වක්‍රව මිලියනයකට ආසන්න වෙනවා. තවත් මිලියන දෙකක්‌ පමණ මේ කර්මාන්තයෙන් යෑපෙන්නන් සිටිනවා. ඒ නිසා මේ කර්මාන්තය විදේශිකයන් හා විදේශ සමාගම් අතට පත් කිරීමේ උත්සාහයක්‌ තිබෙනවා. ඇතැම් බලපත්‍ර ලබා ඇති සමාගම් විදේශිකයන් මෙහෙයවන නාම මාත්‍ර දේශීය සමාගම්. මේ ගැන අප දිගින් දිගටම අපේ විරෝධය රජයට පළ කළා. ඒ අනුව ලබාදී ඇති බලපත්‍ර කීපයක්‌ තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එහෙත් මෙය විදේශිකයන් අතට පත්වීම වැළැක්‌වීමට තවමත් ස්‌ථිර වැඩපිළිවෙළක්‌ නැහැ. ඒ නිසා මෙරට මැණික්‌ කර්මාන්තයට විදේශිකයන්ට හෝ විදේශීය සමාගම්වලට ඇතුළුවීම නීතියෙන්ම වැළැක්‌වීමට ස්‌ථිර ලෙස ප්‍රතිපත්තිමය පියවරක්‌ ගන්නා ලෙස සංගමයක්‌ ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඒ. ජී. ඩී. අමරසිරි මහතා කීවේය.

මෙහිදී කතා කළ විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය කීවේ තමා ආණ්‌ඩුව නියෝජනය කරන කෙනෙක්‌ ලෙස දේශීය මැණික්‌ කර්මාන්තයට විදේශිකයන්ට ඉඩදීම ගැන තමාගේද විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි. මේ ගැන විෂයභාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිතුමාවත් දැනුවත් කරන්න ඕන. අගමැතිතුමාවත් දැනුවත් කරන්න ඕන. මේ ගැන විරෝධය පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කරන බව ඇය කීවාය.

හිටපු ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී කියා සිටියේ විපක්‍ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමා හමුවූ අවස්‌ථාවේදී එතුමා ප්‍රකාශ කළේ එසේ ලබාදී ඇති සියලු බලපත්‍ර අහෝසි කරන ලෙස උපදෙස්‌දී ඇති බවයි.

මෙහිදී කතා කළ විපක්‍ෂ මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා කීවේ විදේශිකයන්ට හෝ විදේශීය සමාගම්වලට මැණික්‌ කර්මාන්තයේ යෙදීමට නීතියෙන්ම අවසරයක්‌ නොලැබෙන ලෙස නීතිය සංශෝධනය කිරීම මේ සඳහා ඇති විසඳුම බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.