මේ අත්තනෝමතික තහනම
දින 14ක්‌ තුළ ඉවත් කරගන්න
-පාපැදි සම්මේලනයට එන්තරවාසියක්‌

ඉන්ද්‍රජිත් සුබසිංහ

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් තමන්ව තහනමට ලක්‌කරනු ලැබීම අත්තනෝමතික තීන්දුවක්‌ ලෙසින් සඳහන් කරමින් දින 14 ක්‌ තුළ එය ඉවත් කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ගයන්ට යොමුවන බව සඳහන් කරමින් අශෝක්‌ කුමාර් පෙරේරා, ලෙස්‌ලි රූපසිංහ සහ සුදේශ්ද සිල්වා යන අය විසින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය වෙත එන්තරවාසියක්‌ යොමු කර තිබේ.

ජාතික ශූරතාව පැවැත්වීමේදී සිදුවන අක්‍රමිකතා සහ චීනයේ තරග සංචාරයක්‌ සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ ක්‍රමවේදයට එරෙහිව කොළඹ දිස්‌ත්‍රික්‌ පාපැදි සම්මේලනය නියෝජනය කළ අශෝක්‌ කුමාර් පෙරේරා, ගම්පහ දිස්‌ත්‍රික්‌ පාපැදි සංගමය නියෝජනය කළ ලෙස්‌ලි රූපසිංහ සහ කළුතර දිස්‌ත්‍රික්‌ පාපැදි සම්මේලනය නියෝජනය කළ සුදේශ් ද සිල්වා විසින් කරන ලද අභ්‍යන්තර අරගලය සඳහා සාර්ථක විසඳුම් නොලැබුණු විට ඔවුන් මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයෙන් සාධාරණයක්‌ ඉල්ලා සිටි අතර අවසානයේ මෙය හේතුවක්‌ කරගනිමින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ කීර්ති නාමයට හානි කිරීම යන චෝදනාව න`ගමින් මේ තිදෙනාව තහනමට ලක්‌කිරීමට පාපැදි සම්මේලනය ක්‍රියා කර තිබුණි.

නමුත් මෙහිදී විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමේ මූලික පටිපාටිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින්, අත්තනෝමතික ලෙස, තමන්ව තහනම් කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ක්‍රියා කළ බවට අදාළ තිදෙනා චෝදනා කරති.

මෙවැනි තහනමක්‌ පැනවීමට ප්‍රථම චෝදනා පත්‍රයක්‌ ලබාදීම, ඒ සඳහා පිළිතුරු බැඳීමට ප්‍රමාණවත් කාලයක්‌ ලබාදීම, විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීම ආදී කිසිවක්‌ සිදුව නැති බවත්, පාපැදි සම්මේලනයේ විධායක කමිටුවේ වැඩිදෙනෙක්‌ මෙම තහනම සඳහා අකමැත්ත පළකරද්දී කිහිපදෙනෙකුගේ පටු අවශ්‍යතාවක්‌ ඉස්‌මතුකර ගැනීම සඳහා තමන්ට එරෙහිව වලංගුතාවක්‌ නොමැති තහනමක්‌ පනවා ඇතැයි, තහනමට පත් පාර්ශ්වය පවසයි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අදාළ බලධාරීන් කිහිපදෙනා එකතුව මෙම තහනම පැනවීමට හේතුව, ඉකුත් නොවැම්බර් මස පැවැත්වීමට යෙදුණු දිස්‌ත්‍රික්‌ සංගම් නිලවරණ සඳහා සිය ඉදිරිපත්වීම වළකාලන්නට බවත් එමගින් අදාළ දිස්‌ත්‍රික්‌ සංගම්වල තමන්ට විරුද්ධ පිරිස්‌ ඉවත් කරමින් සිය හිතවත් පිරිසක්‌ නිලතලවලට පත්කරගැනීම වෙනුවෙන් තමන්ව තහනමට ලක්‌කළ බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.