යොවුන් ලෝක කුසලානයේ කාලසටහන එළිදකී
පාකිස්‌තානය-ඇෆ්ගනිස්‌තානය-කැනඩාව
ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්වෙයි


චමිල කරවිට

ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත වයස අවු. 19 න් පහළ ලෝක කුසදලාන ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම 'බී' කාණ්‌ඩය යටතේ තරග වදිනු ලබන අතර පාකිස්‌තානය, ඇෆ්ගනිස්‌තානය සහ කැනඩාව පළමු වටයේ ප්‍රතිවාදී රටවල් බවට පත්ව තිබේ.

ලබන මස ජනවාරි 27 වැනිදා සිට පෙබරවාරි 14 වැනිදා වන තෙක්‌ වූ කාලසීමාවේදී බංග්ලාදේශයේ ක්‍රියාත්මක වන යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා තරග 48 ක්‌ ඇතුළත් වන අතර සියලුම තරග දිවා තරග වශයෙන් ක්‍රියාත්මක වනු ඇත.

චිතගොං, කොක්‌ස්‌ බසාර්, ඩකා සහ සිල්හෙට්‌ යන නගර වල පිහිටා ඇති ක්‍රීඩාංගණ 8 ක සියලුම තරග පැවැත්වෙනු ලැබෙන අතර සත්කාරක බංග්ලාදේශය සහ අවසන් වර ශූරයන් වූ දකුණු අප්‍රිකානු පිල සමග තරගයෙන් තරගාවලිය ආරම්භ වනු ඇත.

දින 19 ක්‌ තුළ ක්‍රියාත්මක වන මෙවර තරගාවලියේ තරග 20 ක්‌ම සජීවී ලෙස රූපවාහිනියෙන් විකාශනය කිරීමට ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය කටයුතු යොදා තිබීම මෙවර තරගාවලියේ ඇති විශේෂත්වයක්‌ ලෙස හැඳින්විය හැක.

අදාළ තරගාවලිය පිළිබඳව වූ නිල තොරතුරු ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද අතර එහිදී පළමු වටය යටතේ කණ්‌ඩායම් 16 ක්‌ කාණ්‌ඩ 4 ක්‌ යටතේ තරග වදිති. ඉන් වැඩිම ප්‍රසාද ලකුණු ලබාගනු ලබන කණ්‌ඩායම් දෙක සුපිරි කණ්‌ඩායම් 8 තරග වටයටද පරාජිත කණ්‌ඩායම් ප්ලේට්‌ ශූරතාව සඳහා තරග වදිනු ඇත.

අදාළ කාලසටහන එළිදැක්‌වීම ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරුවකු වන කුමාර් සංගක්‌කාරගේ ප්‍රධානත්වයෙන් බංග්ලාදේශයේදී පැවැත්විණි.

තරග වදිනු රටවල් කාණ්‌ඩ ගත කොට ඇති ආකාරය.

'ඒ' කාණ්‌ඩය/ දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, ස්‌කොට්‌ලන්තය, නැමිබියාව, 'බී' කාණ්‌ඩය/ ශ්‍රී ලංකාව, පාකිස්‌තානය, ඇෆ්ගනිස්‌ථානය, කැනඩාව, 'සී' කාණ්‌ඩය/ එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, ෆිජි, 'ඩී' කාණ්‌ඩය/ ඔස්‌ටේ්‍රලියාව, ඉන්දියාව, නවසීලන්තය, නේපාලය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.