කුසල් පෙරේරාට තහනම් උත්තේජක චෝදනා
නවසීලන්ත සංචාරය හැරදා වහාම ශ්‍රී ලංකාවට

ඉන්ද්‍රජිත් සුබසිංහ

තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට සාධක ලැබීම මත, නවසීලන්ත සංචාරයේ යෙදී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නැගී එන පිතිකරුවකු වූ කුසල් ජනිත් පෙරේරා තාවකාලික තහනමකට ලක්‌කර වහාම මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් අහඹු ලෙස කරන ලද තහනම් උත්තේජක පිළිබඳ පරීක්‍ෂණයකදී කුසල්ගෙන් ලබාගන්නා ලද සාම්පලයේ තහනම් උත්තේජක සංඝඨක අඩංගුව තිබූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතය වෙත දැනුම් දී ඇති අතර ඒ අනුව වහාම ඔහුව මෙරටට කැඳවා, මෙම නවසීලන්ත සංචාරයේදී සිය අවස්‌ථාව අහිමිවූ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා එරටට යෑවීමට බලධාරීන් තීරණය කර ඇත.

මේ වන විට තහනම් උත්තේජක චෝදනාවට ලක්‌ව සිටින කුසල්ට සිය '
බී'
 සාම්පලය පරීක්‍ෂා කිරීම සඳහා (මෙවැනි තහනම් උත්තේජක පරික්‍ෂණයක්‌ සඳහා ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවකගෙන් මුත්‍රා සාම්පලයක්‌ ලබාගැනීමේදී එය කොටස්‌ දෙකකට වෙන්කර එක්‌ කොටසක්‌ පරීක්‍ෂාව සඳහා යොමුකරන අතර අනෙක්‌ කොටස හෙවත් 'බී' සාම්පලය චෝදනාවට ලක්‌වූ ක්‍රීඩකයාගේ අභිමතය පරිදි අභියාචනයක්‌ සඳහා පරීක්‍ෂාවට යොමුකිරීම සිදුවේ) අවස්‌ථාව ඇති බව වාර්තා වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග සාකච්ඡාවකින් අනතුරුව ඔහු සිය නිර්දෝශීභාවය ඔප්පු කිරීම පිණිස ඉදිරි පියවරක්‌ වෙත යන්නේද, නැතිනම් වරද පිළිගන්නේද යන්න තීරණය වීමට නියමිතය.

කෙසේ වෙතත්, මේ තත්ත්වය නිසිපරිදි නිරාකරණය කරගනිමින් හැකි ඉක්‌මනින් කුසල් පෙරේරාට නැවතත් ක්‍රිකට්‌ පිටියට ප්‍රවේශවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලබන බව, මේ සම්බන්ධයෙන් නිවේදනයක්‌ නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සඳහන් කර සිටියි.

අදාළ නිවේදනයේ සඳහන් පරිදි කුසල් පෙරේරාට මෙම චෝදනාව එල්ල වී ඇත්තේ ඉකුත් ජුනි මස අග සිට අගෝස්‌තු මුල දක්‌වා පකිස්‌තානය සමගින් මෙරට පැවැති තරගාවලිය අතරතුර අහඹු ලෙස ගනු ලැබූ සාම්පලයක්‌ මත පදනම්ව වන නමුත් මේ පිළිබඳව '
දිවයින'
 කළ විමසුමකදී, තරග රහිත සමයක ලබාගත් සාම්පලයක්‌ මත පදනම්ව මෙම චෝදනාව එල්ලවී තිබෙන බව විශ්වාසදායක ආරංචිමාර්ගයක්‌ මගින් සැලවිය.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ තහනම් උත්තේජක නිවාරණ ප්‍රඥප්තිය අනුව තරගයක්‌ ක්‍රියාත්මක අතරතුරද, නැතහොත් තරග රහිත මොහොතකද යන්න, අදාළ පරීක්‍ෂාව සඳහා සාම්පලයක්‌ ලබාගැනීම වෙනුවෙන් අදාළ නොවන අතර වසරේ ඕනෑම දිනක අහඹු ලෙසින් ක්‍රීඩකයකු තෝරාගෙන අදාළ පරීක්‍ෂාවට ලක්‌කළ හැකි බවට එහි පැහැදිලිව සඳහන් වේ.

මෙම පරීක්‍ෂණ කටයුතු ඉදිරියට මෙහෙයවීම ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය මගින් සිදුවන අතර, යම් හෙයකින් තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩකයා වරදකරු වුවහොත් විනය කමිටුවක්‌ මගින් දඬුවම් තීරණය වනු ඇත.

මේ වන විට තහනම් උත්තේජක පිළිබඳ නීති මෙන්ම දඬුවම්ද දැඩිව ක්‍රියාත්මක වන අතර ඉකුත්දා අදාළ චෝදනාවට ලක්‌වූ මෙරට මලල ක්‍රීඩිකාවකට වසර 4ක තරග තහනමක්‌ පනවනු ලැබීය.

තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් චෝදනාවට ලක්‌වූ මෙරට දෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයා කුසල් පෙරේරා වේ. මෙයට ප්‍රථම 2011" මෙම චෝදනාවට වරදකරු බවට පත්වීම හේතුවෙන් උපුල් තරංගට මාස 3ක තරග තහනමක්‌ පැනවිණි.

ලෝක තහනම් උත්තේජක නිවාරණ අධිකාරියට අනුව, සිය ශරීරයට තහනම් උත්තේජක ඇතුළත්වීම සම්බන්ධයෙන් පළමු වගකීම පැවරෙනුයේ අදාළ ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට බැවින් මෙම තත්ත්වය මත නිදහසට කරුණු දැක්‌වීම සඳහා ක්‍රීඩකයාට ඇත්තේ අවම අවස්‌ථාවක්‌ බවත්, චෝදනා සනාථ වූවකුට දඬුවම් පැනවීමේදී, සිය ශරීරගතව ඇති තහනම් උත්තේජකයේ ප්‍රබලත්වය ආදිය මත පිහිටා දඬුවම තීරණය වන බවත් මේ සම්බන්ධයෙන් '
දිවයින'
 කළ විමසුමේදී ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.