2015 මුල් මාස 09 තුළ කොමර්ෂල් බැංකුවේ
බදුවලට පෙර ලාභය රු. බිලියන 12 ඉක්‌මවයි

පසුගිය වසරට සාපේක්‌ෂව ලාභ ආන්තිකයන් පටුවීම සහ සැලකිය යුතු ලෙස ප්‍රාග්ධන ලැබීම් අඩුවීම හමුවේ වුවද 2015 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස නමය තුළදී කොමර්ෂල් බැංකුවේ බදු වලට පෙර ලාභය 8.72% කින් වර්ධනය වී රුපියල් බිලියන 12.190 ක්‌වී තිබේ.

2015 වසරේ තුන්වන කාර්තුව අවසන් වනවිට බැංකුවේ බදු වලට පසු ලාභය 7.96% කින් රුපියල් බිලියන 8.426 ක්‌ දක්‌වා වර්ධනය වී තිබෙන අතර දළ ආදායම 4.58% කින් වර්ධනය වී රුපියල් බිලියන 56.694 ක්‌වී තිබෙන බව මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් කොළඹ කොටස්‌ වෙළෙඳ පොළට ඉදිරිපත් කර තිබෙන නවතම මූල්‍ය වාර්තා වලින් අනාවරණය වේ. අගය එකතු කිරීමේ බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු වලට පෙර ලාභය මෙම කාල සීමාවේදී 8.51%කින් වර්ධනය වී රුපියල් බිලියන 14.235 ක්‌වී ඇත.

මේ වසරේ මුල් මාස 09 තුළදී පොලී ආදායම 4.53% කින් රුපියල් බිලියන 48.605 ක්‌ දක්‌වා වර්ධනය වී තිබෙන අතර පොලී වියදම වැඩිවී තිබෙන්නේ රුපියල් බිලියන 26.207 ක්‌ දක්‌වා 1.08% ක්‌ තරම් වූ අවම ප්‍රමාණයකිනි. මේ සඳහා සලකා බලන කාල සීමාව තුළදී බැංකුවේ තැන්පතු කළඹ තුළ අඩුපිරිවැය අරමුදල් වල වර්ධනය හරහා මීට සහයෝගයක්‌ ලැබුණි. මේ අතර, මෙම කාල සීමාවේදී ශුද්ධ පොලී ආදායම 8.88% ක්‌ වැනි ඉහළ ප්‍රතිශතයකින් රුපියල් බිලියන 22.398 ක්‌ දක්‌වා වර්ධනය විය.

2015 මුල් මාස නමය තුළදී අනිකුත් ආදායම් ලෙස ලැබූ රුපියල් බිලියන 7.432 ක මුදල ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සමාන තත්ත්වයක තිබේ. 2014 වසරේ පළමු මාස 9 කාලයේදී බැංකුව බැඳුම්කර ගනුදෙනු කිරීම තුළින් සැලකිය යුතු ප්‍රාග්ධන ලාභයක්‌ ලැබීය. බැංකුව සඳහන් කරන්නේ 2015 සඳහා ලැබූ අනිකුත් ආදායමල ගනුදෙනු තුළින් ශුද්ධ ලැබීම් වල රුපියල් මිලියන 554.6 ක වර්ධනයත්, ණය අයකර ගැනීම් වලින් රුපියල් මිලියන 652.8 ක වර්ධනයත්, විනිමය ලාභ, ආයෝජන ආදායම් සහ ශුද්ධ කොමිස්‌ සහ ගාස්‌තුවල රුපියල් මිලියන 316.434 වර්ධනයත් දායක වූ බවයි.

තුන්වන කාර්තුව දක්‌වා බැංකුවේ කාර්ය සාධනය පිළිබඳව අදහස්‌ දක්‌වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා මෙසේ පැවසීය. 'වෙනස්‌ වන තත්ත්වයන්ට සහ අඩුවන ආන්තිකයින්ට මුහුණ දෙමින් සලකා බලන කාල සීමාවේදී බැංකුව ඉදිරියට ගමන් කළ ආකාරය දැක්‌වෙන හොඳ දර්ශකයක්‌ ලෙස මෙම ඉලක්‌කම් සැලකිය හැකියි. සලකා බලන කාල සීමාව තුළදී ශක්‌තිමත් තැන්පතු සහ ණය වර්ධනයක්‌ අපට තිබෙනවා. ශක්‌තිමත් මූල්‍ය ප්‍රතිඵල සමග මේ වසර නිමා කරන්න අප බලාපොරොත්තු වනවා.'

බැඳුම්කර ගනුදෙනු ආදායම් අහිමිවීම, 2015 වසරේදී එතරම් හිතවාදී පොලී අනුපාත නොපැවතීම වැනි සාධක හමුවේ ප්‍රධාන ව්‍යාපාරික අංශවල ප්‍රමාණයන් වර්ධනය කර ගැනීමට බැංකුව දැක්‌වූ අවධානය තුළින් ඇතිවූ බලපෑම සමනය කර ගැනීමට හැකිවූ බව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‌ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා සඳහන් කළේය. 'සෑම අවස්‌ථාවකම මූලධර්මයන් නිවැරදිව පවත්වා ගැනීමට බැංකුව විසින් යොමුකර තිබෙන අවධානය බැංකුවේ ශක්‌තියක්‌ ලෙස සඳහන් කළ හැකියි. අභියෝගාත්මක අවස්‌ථා හරවා යෑවීමට මෙයින් සහායක්‌ ලැබෙනවා' යනුවෙන් ඔහු පැවසීය.

2015 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වන මුල් මාස නමය තුළදී ගනුදෙනු කරුවන්ගෙන් අයවිය යුතු පොලී සහ ණය මුදල් 18.87% ක්‌ තරම් ඉහළ අනුපාතයකින් රුපියල් බිලියන 481.923 ක්‌ දක්‌වා වර්ධනය වූ අතර එය 2014 අවසානයේ සිට රුපියල් බිලියන 76.491 ක වර්ධනයකි. එය ගිය වසරේ තුන් වන කාර්තුවේ අවසානය සිට 24.38% ක හෙවත් රුපියල් බිලියන 94.474 ක වර්ධනයකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.