නයිනතිව් යෝජනාවට පිදුරු දැමීම

ජනතා අවශ්‍යතාවයට රජයක්‌ කන් නොදෙන සැම විටකම එම රජය පෙරළා දමා නව රජයක්‌ බිහි කර ගැනීමට ජනතාව පසුබට නොවෙති. මේ අන්දමට කලින් පැවැති රජය පෙරළා දමා නව රජයක්‌ බිහිකර ගැනීමට පසුගිය දිනවල ක්‍රියාත්මක වූ සිවිල් සංවිධානවලට හැකි විය. ඒ සම්බන්ධව පසුගියදා අපවත් වූ මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රධාන ගිහි පැවිදි විශාල පිරිසකගේ සක්‍රිය දායකත්වය ලැබුණ බව ද නොරහසකි. එහෙත් රටේ ජනතාවගේ අවශ්‍යතා පසෙක තිබියදී යම් යම් නායකයන්ගේ අරමුණු හා අවශ්‍යතා ඉටු වෙමින් ඇති බවක්‌ නම් දක්‌නට ඇත.

විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීමේ වැදගත් අරමුණ මුදුන්පත් කර ගැනීමේ ජනතා අභිලාෂය ඉටු කර ගැනීමේ අවස්‌ථාව වරෙක අත ළඟටම එන අතර, ඊළඟ මොහොතේ අප නොසිතන අයුරින් එය ඈතින් ඈතට යයි. සෝභිත හිමිගේ ආදාහන උත්සවයේදී වත්මන් රාජ්‍ය නායකයා ඉදිරි කාල වකවානුවේදී එය ඉටුකරන බවට සපථ කර සිටියේය. බාලගිරිට හෙට කීවාක්‌ මෙන් විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම ද හෙට කියන දිනය එළැඹෙන තුරු ජනතාවට බලා සිටින්නට සිදුව ඇත.

බලය රඳවා ගැනීමට වඩා බලය අත්හැරීමේ සතුට භුක්‌ති විඳීමට අභිරුචියක්‌ දක්‌වන වත්මන් ජනාධිපතිතුමා විධායක ජනපති තනතුර අහෝසි කර එකී බලය පාර්ලිමේන්තුවට පවරා දෙන්නට අදහස්‌ කර සිටියි.

මුලදී සඳහන් කළ ප්‍රධාන අවශ්‍යතාව හැරුණු විට බඩු මිල හා බැඳුණ ජීවන බර පහත දැමීම, සිදුවෙමින් පවතින අපරාධ හා හදිසි අනතුරු වළක්‌වා ගැනීම, අධ්‍යාපනික, කාර්මික, කෘෂිකාර්මික අවශ්‍යතා සපුරා ගැනීම, බදු බරෙන් සහනයක්‌ ලබා ගැනීම යනාදී දහසක්‌ අවශ්‍යතා ජනතාව අතර තිබෙද්දී නාගදීපය නයිනතිව් බවට පත්කර ගැනීමේ යෝජනාවක්‌ එක්‌තරා ද්‍රවිඩ නායකයන් පිරිසක්‌ විසින් ගෙන එන ලද්දේ රටේ ජනතාව කෙරේ ඔවුන් දක්‌වන සැබෑ කාරුණික බවක්‌ නිසාද, නැත්නම් ජාතිවාදය අවුස්‌සා ඒ තුළින් යම් ප්‍රයෝජනයක්‌ ලබා ඔවුන් සැමදා දකින සිහිනය සැබෑ කර ගන්නා මගක්‌ විවර කර ගැනීමට දැයි සිතා බැලිය යුතුය.

ජාතිවාදය, ත්‍රස්‌තවාදය සමඟ ප්‍රජාතන්ත්‍රවාදය ද එකට පටලවා ගත් ඇතැම් ද්‍රවිඩ නායකයන් වසර තිහක්‌ තරම් දිගු කලක්‌ තිස්‌සේ ගෙන ගිය අසාර්ථක වූත්, බිහිසුණු හා විනාශකාරී වූත් ක්‍රියාමාර්ගයක අවසානය අප රටවාසීන්ට දැකිය හැකි වුවද, ඔවුන් තවදුරටත් ඒ සිදුවීම්වලින් පාඩමක්‌ උගත් බවක්‌ නම් දක්‌නට නැත. ඔවුනට අවශ්‍යව ඇත්තේ මේ රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයනවා වෙනුවට නැති ප්‍රශ්න අමුතුවෙන් ඇතිකර ජනතාව ඒ මගින් කුලප්පු කර ජාතිවාදය වැපිරීමය. ඇතිවෙමින් තිබෙන ජාතික සමගියට බාධා කිරීමය.

අලුතෙන් මතුකර ගත් නාගදීපය නයිනතිව් කිරීමේ යෝජනාවේදී සිය බසින් නයිනතිව් යනුවෙන් යොදන්නට අවසර ඉල්ලා සිටින ගමන් ඉංග්‍රීසියෙන් ද එසේ වහරන්නට ඔවුනට අවශ්‍යව ඇත්තේ කුමක්‌ නිසා දැයි සොයා බැලිය යුතුව ඇත. දෙමළ බස කතා කරන්නවුනගේ ඒ ඉල්ලීම යම් පමණකට සාධාරණ යෑයි යමකුට කිය හැකි වුවත් ඉංග්‍රීසියෙන් ද එලෙසින් හැඳින්වීමට ඉල්ලා සිටීමෙන් ඔවුන් අදහස්‌ කරන්නේ නාගදීපය නයිනතිව් බවට හීන් නූලෙන් සකල ලෝකවාසීන්ටම ඒත්තු ගන්වා නාගදීපය නයිනතිව් බවට නියත ස්‌ථිරත්වයකට පත් කරවා ගැනීමක්‌ මිස අනිකක්‌ නොවන බැවින් එහි කිසිදු හෝ සාධාරණත්වයක්‌ දැකිය නොහේ.

තම මව්බස හැරුණ විට වෙනත් බසක්‌ හසුරුවන්නට යැමේදී විවිධ වූ අපහසුතා ඇති වීම සහේතුකය. කටේ දිවේ එබඳු නුහුරුකම් ගැන යමකු සිනාසෙයිනම් එය මිනිස්‌ කමට නිගාවකි.

නාගදීපය නයිනතිව් යනුවෙන් දෙමළ බසින් නම් කිරීමේ අවසරය ලබා දෙන්නේ නම් ඒ අනුව යමින් ශ්‍රී ලංකාව යන මේ රටේ නාමය ද දෙමළ ඉංග්‍රීසි යන දෙබසින්ම ඊළාම් යනුවෙන් හැඳින්වීමේ අවසරය ඉල්ලා ඉදිරියේදී අරගල කරනු ඇත.

වත්මන් යහපාලන රජය බලයට පත්ව ගත වූ කෙටි කාලය තුළ සිදු වූ හා සිදුවෙමින් පවතින බොහෝ දේ විමසා බලන විට ජනතාව යම් කිසි සාධාරණ බියකින් පසුවන බවක්‌ දක්‌නට ඇත. උතුරේ හමුදා භාරයේ වූ ආරක්‍ෂිත ප්‍රදේශ ඒවායේ මුලින් පදිංචිව සිටියවුන් බවට කියාගත් පිරිසකට ආපසු ලබා දී ඇත. ත්‍රස්‌තවාදීන් ලෙස අත්අඩංගුවට පත්ව සිටින පිරිස දේශපාලන සිරකරුවන් බවට ප්‍රකාශ කරන ඇතැම් ද්‍රවිඩ නායකයෝ ඔවුන් නිදහස්‌ කර ගැනීමේ අපෙAක්‍ෂාවෙන් අරගල කරති. හර්තාල් පවත්වමින් ඒ ප්‍රදේශයන්හි ජන ජීවිත අවුල් කරති. මේ අතර ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක්‌ යාපනයේදී මහ විරු දිනය සැමරූහ. මියගිය ඥාතීන් සැමරීමත් විශේෂයෙන් කෝවිලකදී එය ආගමික කටයුත්තක්‌ ලෙස සිදු කිරීමත් නිසා එයට විරුද්ධව පියවර ගැනීමට අපහසු බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පසුගියදා කියා තිබුණි.

ඉතා පුරාණයේ සිටම නාගදීපය නයිනතිව් යනුවෙන් හඳුන්වා ඇති බව ද සිංහලයන් එකී නම විකෘති කොට නාගදීපය බවට හරවා ගෙන ඇති බව ද ඇතැම් ද්‍රවිඩ නායකයන්ගේ අදහසව ඇත. එහෙත් ක්‍රි. ව. 65 - 109 අතර මෙරට රජ කළ වසභ රජුගේ ඉසිගිරි නම් සිංහල අමාත්‍යවරයා නකදිව්නි හෙවත් නාගදීපයෙහි වෙහෙරක්‌ කරවූ බව වල්ලිපුරම් (වැලිපුර) ප්‍රදේශයෙන් ලැබුණ රන් පතෙහි සඳහන් ය. (සිංහල ශිලා ලේඛන සංග්‍රහය - නන්දසේන මුදියන්සේ) කලාසූරී අරිසෙන් අහුබුදුවන් 2009 මාර්තු 02 දා පැවැති 65 වැනි කුමාරතුඟු සමරු උළෙලේදී කළ දෙසුමේ මුද්‍රිත පිටපතෙහි එක්‌ තැනක මෙසේ සඳහන් ය. "දෙමළ ඉතිහස්‌ ඇදුරකු වූ කාර්තිගේසු ඉJද්‍රපාලන් සූරින් කරුණු සහිතව සිය දසුන් ඇජරපට පබදින් (ආචාර්ය උපාධි නිබන්ධනයෙන්) දක්‌වන ලෙසට දහතුන් වන සියවසට පෙර සෙසු පෙදෙස්‌ හි තබා යාපනයේ වත් දෙමළ ජනතාව නොවීය. උතුරු දඹදිව් සෙන්පතියකු වූ මලික්‌ කපූර් දකුණු දඹදිව ඇක්‌මන (ආක්‍රමණය) කරන කලැ පැනැ ආ දකුණු දඹදිව් වැසියන් සුළු පිරිසකගෙන් ද දුම්කොළ වැවීමට ලන්දේසීන් විසින් ගෙන්වනු ලැබූ මලබාර වැසියන්ගෙන් ද උතුරෙහිත් නැගෙනහිරහිත් දෙමළ බස කතා කරන පිරිසෙක්‌ ඇති වූහ. නියම හෙළ බසින් වූ ඒ පෙදෙස්‌ හි නම් ගම් සියල්ල දෙමළ බසට හරවන ලද්දේ මොවුන් විසිනි.

මෙසේ හෙළ නම් ගම් දෙමළ බසට හරවන ලද්දේ ඔවුන් විසින් බව ද්‍රවිඩ ජාතිකයකු වූ කාර්තිගේසු ඉන්ද්‍රපාලන් කියා ඇත.

* ඩී. ඒ. ටී. බී. දේවසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.