වැරදි නොකළ කෙනෙක්‌ පළමු ගල් පහර එල්ල කරන්නැයි කීමට කෙනකු නැතත්
ගල්ගසා මරා දැමීමට නියමිත
ශ්‍රී ලාංකික කතගේ නඩුව සෞදිය යළි අසයි


අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ, හේමන්ත රන්දුණු හා ශිරාන් රණසිංහ

සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමිතව සිටින ශ්‍රී ලාංකික කාන්තාව සම්බන්ධව අභියාචනය විභාග කිරීමට එරට අධිකරණය තීරණය කර ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙය ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක්‌ බවද කී හර්ෂ ද සිල්වා මහතා නීතිඥ ගාස්‌තු ඇතුළුව ඒ සඳහා වැය වන සියලු මුදල් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දරන බවද ප්‍රකාශ කළේය.

ඇය බේරා ගැනීම සඳහා ගත හැකි උපරිම උත්සාහය ආණ්‌ඩුව විසින් ගන්නා බවද අයවැය කාරක සභා අවස්‌ථා විවාදයට එක්‌වෙමින් නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අනියම් සම්බන්ධයක්‌ පැවැත්වීමේ චෝදනාව මත ශ්‍රී ලාංකික මුස්‌ලිම් කාන්තාවකට එරට අධිකරණය විසින් ගල්ගසා මරා දැමීමට නියෝග කර තිබිණි.

කාන්තාව සමග අනියම් සම්බන්ධතාව පැවැත්වූ ශ්‍රී ලාංකික තරුණයාට ද කස පහර සියයක්‌ ගැසීමට අධිකරණය නියෝග කර ඇත.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා රජය එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඉල්ලීමක්‌ කරමින් මෙම කාන්තාවට ලබාදී තිබෙන දඬුවම ලිහිල් කරන ලෙස කියා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය මෙන්ම මෙරට සිවිල් සංවිධාන රැසක්‌ම සෞදි රජයට බල කරමින් මෙම කාන්තාව මුදාහරින ලෙස ඉල්ලීම් කළහ.

මෙම නඩුව නැවත විභාග කිරීමට එරට අධිකරණ තීරණය කර ඇත්තේ මෙම ඉල්ලීම්වලට අනුවය.

තමන් වෙනත් පිරිමියකු සමඟ අනියම් සම්බන්ධතාවක්‌ පැවැත්වූ බව මෙම ශ්‍රී ලාංකික කාන්තාව සෞදි අධිකරණය හමුවේ සිව්වතාවක්‌ ම පිළිගෙන ඇත.

 
Powered By -


       උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
           223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.