දුම්රියේ හොරෙන් ගියොත් ලබන 1දා සිට දඩය 5000යි

අකිත පෙරේරා

ප්‍රවේශ පත්‍රයක්‌ නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ගෙන් මෙතෙක්‌ අය කෙරෙන රුපියල් 2500 දඩ මුදල ජනවාරි 1දා සිට රුපියල් 5000 දක්‌වා වැඩි කිරීමට ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් උපදෙස්‌ දී තිබේ.

ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් ගන්නා මගීන් ප්‍රමාණය වැඩි වී ඇති බවත් එමගින් දුම්රිය දෙපාර්තමේන්තුවට මෙම වසරේදී රුපියල් ලක්‍ෂ 500 ක්‌ පමණ අහිමි වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි. මේ හේතුවෙන් දඩ මුදල දෙගුණයකින් වැඩි කරන ලෙසට පෙරේදා (7දා) දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය විමසා බැලූ අවස්‌ථාවේදී ඇමැතිවරයා උපදෙස්‌ දී ඇත.

ඒ අනුව ප්‍රවේශ පත්‍රයක්‌ ළඟ නොමැතිව දුම්රියෙහි ගමන් කිරීම, නියමිත පන්තියේ ගමන් නොකිරීම, ගමනාන්තයෙන් ඔබ්බට ගමන් කිරීම, නියමිත නොවන දුම්රිය තුළ ගමන් ගැනීම යන වැරදි වෙනුවෙන් ගමන් ගාස්‌තුව මෙන් දෙගුණයක්‌ සහ රුපියල් 5000 ක දඩ මුදලක්‌ මින් ඉදිරියට අය කෙරෙනු ඇත.

මීට පෙර මෙම දඩ මුදල රුපියල් 1000 ක්‌ව පැවැති අතර එය 2500 දක්‌වා වැඩි කිරීමට හේතු වූයේ මගීන් ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කිරීම නිසා බව දුම්රිය වාණිජ අධිකාරී සිසිර කුමාර මහතා "දිවයින" ට කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.