වසර 10 ක්‌ තිස්‌සේ පළාත් සභාවලට මුදල්
වෙන්කර ඇත්තේ ව්‍යවස්‌ථානුකූලව නොවෙයි

- මුදල් ඇමැති රවි කරුණානායක

ශ්‍යාම් නුවන් ගනේවත්ත

වසර දහයක්‌ තිස්‌සේ පළාත් සභාවලට මුදල් වෙන්කර තිබෙන්නේ ව්‍යවස්‌ථානුකූලව නොවන බවත්, අයවැයෙන් කර තිබෙන්නේ එය නිවැරැදි කිරීම බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා මේ බව කීවේය.

පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය වාර්තා කරල තිබුණා, පළාත් සභාවලට මුදල් වෙන් නොකර පළාත් සභා අමාත්‍යාංශයට මුදල් වෙන්කිරීම ගැන. ඇත්තටම ව්‍යවස්‌ථානුකූලව මුදල් වෙන් කළ යුත්තේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයටයි. එම මුදල් තමයි එතැනින් පළාත් සභාවට වෙන් කිරීම සිදු වන්නේ. නමුත් වසර

10 ක්‌ තිස්‌සේ මෙම මුදල් වෙන් කර තියෙන්නේ ව්‍යවස්‌ථානුකූලව නොවෙයි. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අවධානය මේ කරුණ සම්බන්ධයෙන් යොමුවුණා. ව්‍යවස්‌ථාවට අනුකූලව මෙම මුදල් ලබාදිය යුතුයි කියා ඔවුන් උපදෙස්‌ ලබාදුන් බවද මුදල් ඇමැතිවරයා කීවේය.

පසුගිය ජනවාරි මාසෙ මුදල් කොමිසමේ සභාපතිතුමා අපට දන්වල තිබුණේ පළාත් සභාවලට මුදල් වෙන්කරන ආකාරය නීතියට පටහැනියි කියලයි. එය නිවැරැදි කිරීම තමයි අපි කරල තියෙන්නෙ. අපි එය නිවැරැදි කළා මිසක්‌ පළාත් සභාවටල මුදල් අඩු කිරීමක්‌ හෝ කපා හැරීමක්‌ සිදු කර නැහැ. අපි ක්‍රියා කරල තියෙන්නෙ නීතියට අනුකූලවයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා සමඟ පළාත් සභා මහ ඇමැතිවරුන් 9 දෙනාම මේ ගැන සාකච්ඡා කළා. ඒ අනුව ඉදිරියේ දී මෙතෙක්‌ පැවැති නීති විරෝධී මුදල් වෙන් කිරීම වෙනුවට ව්‍යවස්‌ථානුකූල තත්ත්වයට එය සිදු කිරීමට අපි කටයුතු කරනවා. මුදල් අමාත්‍යාංශය මෙතන වරදක්‌ කරල නැහැ. අප කටයුතු කරල තියෙන්නේ නීත්‍යනුකූලව බවද මුදල් ඇමැති රවී කරුණානායක මහතා තවදුරටත් කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.