ඇවන්ගාඩ් සමාගමේ සේවය කළ
රණවිරුවන් 6790 කට රැකියා නැති වුණා

නිශ්ශංක සේනාධිපති

ශිරාන් රණසිංහ

ඇවන්ගාඩ් සමාගමේ සේවය කළ රණවිරුවන් 6790 කට රස්‌සා නැති වුණා. රාජිත සේනාරත්න කියනවා මේ අයට විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්න කියලා. අද ඒ රැකියා අහිමි වූ අය අඬනවා. අද ඒ ගැන කියන්න තමයි මම සී.අයි.ඩී එකට ආවේ යෑයි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පැවසීය.

ඒ මහතා ඊයේ (08 වැනිදා) අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) වෙත කැඳවා තිබූ අතර පැය තුනක පමණ ප්‍රශ්න කිරීමකින් පසුව පිටතට පැමිණි මොහොතේ දී මාධ්‍ය හමුවේ එලෙස කියා සිටියේය.

රණවිරුවන්ට විශ්‍රාම වැටුපෙන් ජීවත්වෙන්න කියලා රාජිත කියනවා. මේ රණවිරුවෝ ගෙයක්‌ හදාගන්නේ නැද්ද? දරුවන්ට උගන්වන්නෙ නැද්ද? රුපියල් විසිපන් දහසකින් ඔක්‌කොම කරන්න පුළුවන්ද? වාහනයක්‌ ගන්නෙ නැද්දැයි ඒ මහතා එහිදී විමසා සිටියේය.

ඇවන්ගාඩ් සභාපති සේනාධිපති රජයේ සාක්‌ෂිකරුවකු වන්නට යන බවට පැතිර යන ආරංචිය පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීහු ප්‍රශ්න කළ අතර තමන් වරදක්‌ නොකර එලෙස කරන්නේ මන්දැයි විමසීය.

අංග විකල වූ රණවිරුවන් දහඅටක්‌ ඇතුළු රණවිරුවන් 6790 කට රැකියා අහිමිවී තිබෙන බවත් විදේශ විනිමය ලෙස බිලියන 4 ක්‌ රජයට ලබා දී ඇති බවත් හෙතෙම පැවසීය. නැවත සී.අයි.ඩී. ය කැඳෙව්වොත් යළි එන බවද එහිදී කියා සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.