හදිසි වැස්‌සෙන් කොළඹ යටවෙයි

ශිරාන් රණසිංහ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්



හදිසියේ ඊයේ (08 දා) සවස ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක අඩි තුනක්‌ පමණ ජලයෙන් යටවීම නිසා රැකියා නිමකර නිවෙස්‌වලට යැමට පැමිණි ජනයා දැඩි අපහසුතාවට ලක්‌වූහ.

ඊයේ (08 දා) සවස 3.15 ට පමණ වැසි ඇද වැටීම ආරම්භ වූ අතර පැයකට අධික කාලයක්‌ මෙලෙස එක දිගට වැසි ඇද වැටිණි.



කොළඹ නගරයේ කැළි කසළ ඉවත් නොකිරීම හා කාණු ශුද්ධ පවිත්‍ර නොකිරීම නිසා කොළඹ ප්‍රදේශ රැසක්‌ මෙලෙස ජලයෙන් යටවී තිබූ බව කොළඹ මහ නගර සභාවේ උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ආමර්වීදිය, පුරහල ප්‍රදේශය, තුම්මුල්ල, කොටුව, පිටකොටුව ඇතුළු ප්‍රදේශ ගණනාවකට ප්‍රධාන මාර්ග ජලයෙන් යටවී තිබූ අතර ජල ධාරාව නිසා ගමනාගමන කටයුතු අඩාළව තිබිණි.

විශේෂයෙන්ම සවස වැඩ නිමකර නිවෙස්‌වලට යැමට පැමිණි දස දහස්‌ ගණනකට දුම්රිය හා බස්‌රථවලට යැමට නොහැකිව තිබූ අතර මාර්ග කිහිපයකම වාහන පෝලීම් දක්‌නට ලැබිණි.

කෙසේ වෙතත් සවස 4.30 ට පමණ වැසි අඩුවූ අතර ජලය සෙමෙන් බැස යැමත් සමග මාර්ගවල වාහන ධාවනය ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරිණි.

කොළඹ නගරය තුළ කුණු නිසිලෙස ඉවත් නොකිරීම මෙන්ම කාණු ශුද්ධ පවිත්‍ර නොකිරීම පිළිබඳ වහාම සොයා බලා අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි අපහසුතාවට ලක්‌වූ රියෑදුරෝ සහ ජනතාව ඉල්ලා සිටිති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.