ත්‍රස්‌තවාදීන්ගේ ස්‌වභාවය ඔවුන්ට අවශ්‍ය හිඩැස හදා ගැනීමයි
- මහාචාර්ය ජී. එල්. පීරිස්‌

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

ත්‍රස්‌තවාදී සංවිධානවල ස්‌වභාවය හිඩැසක්‌ හදාගෙන ඉන් උපරිම ප්‍රයෝජන ගැනීම බවත්, ඒ අයුරින් ආණ්‌ඩුව පිටරට සංවිධානවලට අද මෙරටට ඒමට එම හිඩැස බන්දේසියක දමා තිබෙන බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. ඇල්. පීරිස්‌ මහතා පැවැසීය.

"සමගි බල මුළුව" සංවිධානයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ සාමාජිකයන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

අනුරාධපුර සාම විහාරස්‌ථානයේ ධර්ම ශාලාවේදී පෙරේදා (07 දා) පෙරවරුවේ "සමගි බල මුළුව" සංවිධානයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ එච්. බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් කථා කළ ජී. ඇල්. පීරිස්‌ මහතා මෙසේද පැවැසීය.

අද අප රට මුහුණ දී තිබෙන අභියෝග සම්බන්ධයෙන් කථා කිරීමට මෙවැනි සාකච්ඡාවක්‌ සංවිධානය කිරීමට මුල්වූ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ සියලුම දෙනාට මගේ ස්‌තුතිය පුද කරනවා. අවුරුදු තිහක කාලයක්‌ බියකරු යුද්ධයක්‌ තිබුණු රටේ යුද්ධය අවසන් කිරීමෙන් පසු මේ විදිහට නිදහසේ කථා කිරීමට පුළුවන් පරිසරයක්‌ නිර්මාණය වෙයි කියා අපි හිතුවේ නෑ.

මහින්ද රාජපක්‍ෂ මැතිතුමයි, ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයයි එක්‌ව ගත් දේශපාලන තීරණවලට පිං සිදුවන්න බිහිසුණු ත්‍රස්‌තවාදය අවසන් කිරීමට හැකිවුණා. ඒ අනුව බිහිවෙලා තිබෙන සාමකාමි පරිසරය ඒ අයුරින් පවත්වා ගෙන යන එක තමයි දැන් තිබෙන අමාරුම දේ වෙලා තිබෙන්නේ.

දැනට බන්ධනාගාර ගතව සිටින සියලුම එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කරන බවට පසුගියදා විදේශ ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ කරමින් කිව්වා. මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයේ පාලන කාලය තුළ එල්. ටී. ටී. ඊ. සැකකරුවන් සහ සාමාජිකයන් දොළොස්‌ දහසක්‌ පමණ පුනරුත්ථාපනය කොට සමාජගත කළා. ඒ විතරක්‌ නොවෙයි එම සියලු දෙනාටම වෘත්තීය පුහුණුවක්‌ ලබාදී මානසිකත්වය සහ ඔළුව හැදුවා.

ඊට අමතරව බරපතළ ගණයේ වැරදි කළ අය දෙසිය පනස්‌ දෙනකු අත්අඩංගුවේ රඳවා තබා ගත්තා. අනුරාධපුර ජය ශ්‍රී මහාබෝධියට සහ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට ප්‍රහාර එල්ල කළ ත්‍රස්‌තවාදීන් මෙන්ම හිටපු අමාත්‍ය ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට සම්බන්ධවූ අය තමයි මේ විදිහට තියා ගත්තෙ. ඔවුන් මේ විදිහට රඳවා ගෙන තබා ගෙන සිටියෙ ඒ අය නැවත සමාජගත කළොත් ලොකු ප්‍රශ්නයක්‌ වෙන හින්දයි.

මේ රජය කොන්දේසි විරහිතව දැන් එල්. ටී. ටී. ඊ. සැකකරුවන් නිදහස්‌ කරනවා. අනික්‌ පැත්තෙන් යුද්ධය ජයග්‍රහණය කිරීමට දිවිහිමියෙන් කැපවූ ආරක්‍ෂක හමුදා නිලධාරීන්, සෙබළුන් අත්අඩංගුවට ගන්නවා. අද ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත සම්පූර්ණයෙන්ම කනපිට පෙරළිලා, ත්‍රස්‌තවාදී පනත තියෙන්නෙ සමාජයේ ආරක්‍ෂාවට. ඒත් අද කළුපාට සුදුවෙලා සුදුපාට කළුවෙලා. තව අවුරුදු දෙකකින් රටේ ත්‍රස්‌තවාදී තර්ජනයක්‌, වගේම මායිම් ගම්මාන ඇති වෙන බවයි අපට පෙනී යන්නෙ. මේවා සුළුකොට තකන්න බෑ.

මීට දින කීපයකට පෙර උතුරේ පැවතුණා මහ විරුදිනය සැමරීම. ඒක ප්‍රභාකරන්ගේ ගුණ සමරු දිනයක්‌. ඒක අතිශය භයානක තත්ත්වයක්‌. එය කිසිසේත් සුබදායක තත්ත්වයක්‌ විදිහට සලකන්නට බෑ. උතුරේ පදිංචි වයස අවුරුදු 17 ක පාසල් සිසුවෙක්‌ දුම්රියට පැන සිය දිවි නසා ගත්තා. සියලු එල් ටී. ටී. ඊ. සාමාජිකයින් නිදහස්‌ කරන්න කියා සඳහන් කරපු ලියවිල්ලක්‌ ඒ ළමයාගේ සාක්‌කුවේ තිබී හමුවුණා. කිසිවෙකුටත් විශ්වාස කළ හැකිද වයස අවුරුදු 17 ක ළමයෙක්‌ මේ අයුරින් ලිපියක්‌ තනිවම ලියාගෙන සිය ජීවිතය හානි කර ගැනීමට දුම්රියට පනී කියලා.

මෙතරම් ආත්ම විශ්වාසයක්‌ වයස අවුරුදු 17 ක ළමයෙකුට තියෙන්න පුළුවන්ද? ඊට පසු ඒ ළමයාගෙ සාක්‌කුවේ තිබූ ලිපිය පොලිසිය විසින් සොයා ගැනීමට පෙර ස්‌විස්‌ටර්ලන්තයේ ඩයස්‌පෝරාව අන්තර්ජාලයට එකතු කර තිබුණා. එය මොනතරම් සැලසුම් සහගත ක්‍රියාවක්‌ද කියලා බැලු බැල්මට කාටත් පේනවා. මෙය මහා සංවිධාන ජාලයක එක්‌ පුරුකක්‌ විතරයි.

තමන්ව වහාම නිදහස්‌ කරන ලෙසට ඊට පසුවදාම එල්. ටී. ටී. ඊ. රැඳවියෝ ප්‍රකාශයක්‌ කළා. දුම්රියට පැන සිය දිවි හානි කර ගත් ළමයා කියා තිබුණෙත් එල්. ටී. ටී. ඊ. රැඳවියන් නිදහස්‌ නොකළොත් මේ රට මහ අඳුරු යුගයකට තල්ලු වන එක නතර කළ නොහැකි බවයි. ඊට පසු උතුරු පළාත් සභාව සිය දිවි හානි කර ගත් ළමයට ශෝකය පළ කර එම පළාතේ සියලුම පාසල් දිනක්‌ වැහුවා. ඒක කළේ උතුරේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගෙ නියෝගයෙන්. අපට නැවත ඊළාම් ඕන කියලා යාපනය විශ්වවිද්‍යාලයේ කළු කොඩි දැම්මා. ප්‍රභාකරන්ගෙ පෝස්‌ටර් ඇලෙව්වා.

මෙහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර, සමගි බලමුළුව සංවිධානයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් නීතීඥ මහේෂ් කොටුවැල්ල යන මහත්වරුන් සහ පූජ්‍ය පාගොඩ චන්ද්‍රවංශ හිමියෝද කථා කළහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.