වැඩිහිටි දීමනාව අයදුම්කර පොරොත්තු
ලේඛනයේ සිටින අයටත් එය ලබා දෙනවා

- ඇමැති එස්‌. බී. දිසානායක

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

වැඩිහිටි දීමනාව අයදුම්කර පොරොත්තු ලේඛනයේ සිටින අයටත් එම දීමනාව ලබාදීමට කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීමේ සහ සුබ සාධන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

අයවැය කාරක සභා අවස්‌ථා විවාදයට එක්‌වෙමින් ඇමැතිවරයා එසේ කීය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙන්කෝලය තැන්පත් කළ පසුව කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (08 දා) පෙරවරු 9.30 ට රැස්‌විණි.

නිවේදන, වාර්තා, ලිපිලේඛන සහ පෙත්සම් ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු උත්තර දුන්හ.

අනතුරුව අයවැය කාරක සභා අවස්‌ථාවේ විවාදය ඇරැඹිණි. පළාත් සභා හා පළාත් පාලන, මහා නගර හා බස්‌නාහිර සංවර්ධන, සමාජ සවිබල ගැනීමේ හා සුභසාධක යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදය ආරම්භ කරමින් කාරක සභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෙක්‌කලනාදන් මහතා (ද්‍ර ජා. ස) -

දෙමළ ජනතාව විඳින දුක්‌කරදර වලට මුල්ලෙවයික්‌කාල් දක්‌වා හඬ නංවා තමිල්නාඩුවේදී එක්‌සත් ජාතීන්ගේ සංගමයට අප වෙනුවෙන් ඡන්දය දුන් තමිල්නාඩු ජනතාව විපතට පත්ව සිටිනවා. ඔවුන් ඉන් මිදේවි කියා දෙවියන්ට අයදිනවා. උතුරු නැගෙනහිර පළාත් සභාව අරමුදලක්‌ පිහිටුවා තිබෙනවා. තමිල්නාඩුවේ අපේ ඥතීන් සියලු දෙනාට උදව් කළ යුතුයි.

පළාත් සභාවලට බලය පැවරිය යුතුය යන යෝජනාව සාර්ථකවී තිබෙනවා. නමුත් පළාත් සභාවලට වෙන් කරන මුදල් ඔවුන් තමයි තීරණය කළ යුත්තේ කිනම් කරුණුවලට වෙන් කරනවාද කියා පොලිස්‌, ඉඩම් බලතල කතාවට විතරයි. ක්‍රියාත්මක වන්නේ නෑ. එම නිසා උතුරු නැගෙනහිර පළාත් සභාවට ඒවා ක්‍රියාත්මක කිරීමට අවස්‌ථාව ලබා දිය යුතු වෙනවා.

මහානගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා - බස්‌නාහිර පළාතේ ග්‍රාම සේවක වසම් දෙදාහේ පොදු සංවර්ධන කටයුතු අප සම්බන්ධීකරණය කරනවා.

දැනටමත් සෑම ග්‍රාමසේවා වසමකින්ම ජනතා අවශ්‍යතා ලබාගෙන තිබෙනවා. ඉදිරියේ කරන පොකුරු ගම්මාන වැඩපිළිවෙළත්, නාගරික සංවර්ධනයත් විධිමත්ව කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික භෞතික සැලැස්‌ම අපේ තුන්වැනි වගකීමයි. බස්‌නාහිර මහා නගර සැලැස්‌ම එකත්. අනෙක හා ගැටෙන්නේ නැති ලෙසට එකම පොදු සැලසුමකට යටත්ව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනවා.

අද බස්‌නාහිර යාචකයන් විශාලයි. කොළඹ හා අවට 500 ක්‌ යාචකයන්. ළමයින් 200 ක්‌ විතර සිටිනවා. දුගී මගී යාචක ප්‍රශ්නය අප හමුවේ ඇත. පැල්පත් වාසීන් 68000 ක්‌ කොළඹ පමණක්‌ සිටිනවා. දුගී පැල්පත්වාසීන් ලක්‍ෂයක්‌ පමණ සිටිනවා. හුදු නිවාස ලබාදීමෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙළක්‌ ගැන අප අවධානය යොමු කර තිබෙනවා. කොළඹට ජනයා විසි ලක්‍ෂයක්‌ වාහන පන්ලක්‍ෂයක්‌ දිනකට පැමිණෙනවා. 2045 දී අපේ ශ්‍රම බළකාය වියපත්වීම බරපතළ ප්‍රශ්නයක්‌.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මුලසුනට පැමිණේ.

ඇමැති රණවක මහතා - වරාය නගරය වගේම විධිමත් ගුවන් නගරයක්‌ හදන්නත් බලාපොරොත්තු වෙනවා. ජනාධිපති, අගමැති කාර්යාල හා මන්දිරත් පාර්ලිමේන්තුව අවට ස්‌ථාපිත කරනවා.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා - පළාත් සභාවලින් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු පළාත් සභාවට විරුද්ධව තමයි කටයුතු කරන්නේ. මම ඒකට විරුද්ධයි. පළාත් සභාවලට එන්න ඕනෑ මුදල් පළාත් සභා අමාත්‍යාංශයට ලබාදීම ගැන මම එකඟ නෑ.

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා - සවුදියේදී ගල් ගසා මරා දැමීමට තීන්දු කර තිබෙන කාන්තාව මුදා ගැනීම සඳහා අවශ්‍ය නීතීඥ සහාය ලබා දෙමින් උපරිම මැදිහත්වීමක්‌ සිදු කිරීමට විදේශ අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරයට බලහත්කාර කමෙන් මේක අපි කරන්නේ නෑ.

ගම්පහ දිස්‌ත්‍රික්‌ (ජවිපෙ) මන්ත්‍රී විජිත හේරත් මහතා - බලෙන් දැම්මත් කැමැත්තෙන් දැමීමත් දෙකෙන්ම කරන්නේ වයසක කාන්තාවකට මේක්‌අප් දැමීමක්‌. හැබැයි මේක්‌ අප් එක ඉක්‌මනින්ම දියවෙලා යනවා. විධායක ජනාධිපති බලතල අහෝසි කරන්න වර්තමාන ජනාධිපති එකඟ වුණා. ඒත් ගමේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට තියෙන අත්තනෝමතික බලතල තවම තියෙනවා. පසුගිය කාලේ එය වෙනස්‌ කළා. යළිත් ඒ බලතල පසුගිය ආණ්‌ඩුව ලබා දුන්නා. මූල්‍ය බලතල, චෙක්‌පත් අත්සන් කිරීමේ බලතල සභාපති සතුයි.

සභාපතිවරයා තෝරාගත්, ඔහුගේ ගුණ වර්ණනා කරන මාධ්‍යවේදීන්ට පමණයි සමහර ප්‍රාදේශීය සභා රැස්‌වීම්වලදී ගැලරියට එන්න දෙන්නේ. මහානගර සභා ආඥපනතේ දෙමළ පිටපතක්‌ තවමත් නෑ. මේ විදිහට ජාතික සංහිඳියාවක්‌ ඇති කළ හැකිද. මහජනතාවගේ සංවර්ධනය සඳහා තිබෙන හොඳම ආයතනය ප්‍රාදේශීය සභාවයි.

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා - 2016 වසරේදී ලංකාවේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් විශාල වෙනසක්‌ වීමට නියමිතයි. පළාත් රාජ්‍ය සේවය විධිමත් ලෙස ස්‌ථාපිත කළ යුතුයි. ඒ සඳහා සුදුසුකම් ලත් පළාත් පාලන නියෝජිතයන් අවශ්‍යයි. බලතල බෙදීමේ පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නම් පහසුකම් සහිත පළාත් පාලන ආයතන අවශ්‍යයි. පළාත් පාලන ආයතන සඳහා ඇති විශාල මුදලක්‌ ඒ සඳහා මෙවර වෙන්කර තිබෙනව. පළාත් පාලන ආයතන පිළිබඳව මධ්‍ය ආණ්‌ඩුවේ මීටත් වඩා සැලකිල්ලක්‌ යොමුවිය යුතු යෑයි අපේ අදහසයි.

වන්නි දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ශිවශක්‌ති ආනන්දන් මහතා (ද්‍රජාස) - උතුරු පළාත් සභාවට අඩු සැලකිල්ලක්‌ හිමිවීම කනගාටුදායකයි. ආරක්‌ෂාව සඳහා විශාල මුදලක්‌ වෙන්කර තිබීම අනවශ්‍ය කරුණක්‌. පහුගිය ආණ්‌ඩුවෙන් වගේම මේ ආණ්‌ඩුවෙනුත් අපට කුඩම්මාගේ සැලකිලි හිමි වෙනව.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එස්‌. එම්. මරික්‌කාර් මහතා (එජාප) - වසර 110 ක්‌ තිස්‌සේ කොළොන්නාව ජලනළ පද්ධතිය අලුත්වැඩියා කරලා නැහැ. අඹතලේ සිට ඔරුගොඩවත්ත මාර්ගය පසුගිය ආණ්‌ඩුව හැදුවේ නැත්තේ මේ ජල නළ මාර්ග අලුත්වැඩියා කරන්න බැරි නිසයි. කොළඹ කුණුවලට කොළොන්නාව පළි නැහැ. අපේ ගමට කුණු දමන්න එපා.

පත්කළ මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප) - පළාත් සභාව සුදු අලියෙක්‌ යන කතාව මිථ්‍යාවක්‌. පළාත් සභා අවශ්‍ය වෙන්නේ උතුරු නැගෙනහිරට පමණක්‌ නොවේ. එය හැම පළාතකටම අවශ්‍යයි.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා (එජනිස) - බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශයක්‌ ඇති කිරීම හොඳ ක්‍රියාවක්‌. කුණු ප්‍රශ්නය අපට විශාල වශයෙන් පීඩා ගෙන දෙනව. ඒ සඳහා ස්‌ථිර සාර වැඩපිළිවෙළක්‌ ඇති කරනව.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා (එජාප) - පහුගිය රජය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය හමුදාවේ රෙජිමේන්තුවක්‌ බවට පත්වුණා. කොළඹ නගරයේ මිනිසුන්ගේ නිවාස කඩාදමන බිල්ලෙක්‌ ලෙස තමයි එම අධිකාරිය එදා හැඳින්වූවේ. රාත්‍රියේ ගෙවල්වලට කඩාපැනලා. උදේ වෙනකොට මිනිසුන්ව ගෙවල්වලින් පලවා හැරියා. ශේ්‍රෂ්ඨාධිකරණ නියෝග පවා පිළිගත්තේ නැහැ. ජනතාව නගරයෙන් පිටමං කරන්න සංවර්ධනය බැහැර කරමින් ජනතාව ඒ කටයුතුවලට සම්බන්ධ කරගත් සංවර්ධනයක්‌ අපි ඇති කරනවා.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ඡේ. සී. අලවතුවල මහතා (එජාප) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝමයකගේ මූලාරම්භය පළාත් සභාවයි. පළාත් සභා බලය මධ්‍යම ආණ්‌ඩුවට ගන්නවා නම් එය අනුමත කරන්න බැහැ. පළාත් සභාවලට කවුරුවත් බිය වෙන්න අවශ්‍ය නැහැ. එය රට බෙදන ක්‍රමයක්‌ නොවේ. පළාත් සභා ක්‍රමය තවදුරටත් ශක්‌තිමත් කිරීමට අවශ්‍යයි. පළාත් පාලන ආයතන ජනතාවගේ ගැටලු විසඳීමට මැදිහත්වීම නිසියාකාරව සිදු වෙනවාද යන්න සොයා බැලිය යුතුයි. පළාත් පාලන ආයතන සභාපතිවරයාට ඒ සඳහා බලය තිබිය යුතුයි.

බදුල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී චමින්ද විඡේසේකර මහතා (එජාප) - අපි යහපාලන ගමනක්‌ යනවා. ඒ සඳහා පළාත් පාලන ආයතනවලට නිසි බලතල සහ ප්‍රතිපාදන හිමිවිය යුතුයි. ඌව පළාත් ප්‍රධාන ඇමැතිවරයාට සම්බන්ධීකරණ ලේකම්වරු 6 දෙනකු සිටිනවා. පළාත් සභා සුදු අලියෙක්‌ කියලා මම කියන්නේ මේ කරුණු නිසයි. සමහර පළාත් සභා දේශපාලන පළිගැනීම් සිදු කරනවා.

ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී විඡේපාල හෙට්‌ටිආරච්චි මහතා (එජාප) - පාර්ලිමේන්තුව තුළ ඇති යහපාලනය පළාත් පාලන ආයතනවලටත් ගෙනියන්න. පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ කොට්‌ඨාස ක්‍රමයටද? මනාප ක්‍රමයටද? ගාල්ල නගරයට විශේෂ සැලකිල්ලක්‌ දක්‌වන්න. පසුගිය කාලයේ එහි සංවර්ධනයක්‌ සිදු වුණේ නැහැ.

මඩකලපුව දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අලි සහීර් මව්ලානා මහතා (එජාප) - රටක පරිපාලනය නිසි පරිදි ක්‍රියාත්මක වීමට පළාත් පාලන ආයතනවල යහපැවැත්ම වැදගත්. එම පළාත් පාලන නියෝජිතයන් ස්‌වයං පාලනයකින් යුක්‌තව කටයුතු කළ යුතුයි.

මාතලේ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා (එජාප) - පළාත් පාලන ක්‍රියාවලිය නිසි පරිදි සිදුවීම ප්‍රමාණවත් පරිදි මුදල් සහ නිලධාරීන් අවශ්‍යයි. ඒ සඳහා වැඩපිළිවෙලක්‌ ඇති කරන්න.

මහ නගර සහ බස්‌නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා - නව තාක්‍ෂණයද උපයෝගී කරගනිමින් අපට ලැබී ඇති දැවැන්ත මුදලද නිසි පරිදි භාවිත කර ඒ හරහා රටටත් ජනතාවටත් සෙතක්‌ සලසනවා. අපි ඒ සඳහා එක්‌ව කටයුතු කරනවා. පළාත් පාලන ආයතනවලින් රටට විශේෂ සේවයක්‌ ඉටු වෙනවා.

පළාත් පාලන හා පළාත් සභා ඇමැති µයිසර් මුස්‌තාµd මහතා - 1988 පළාත් සභා ක්‍රමය ඇරැඹුණා. ඒත් එක්‌ එක්‌ වසරවල වැය ශීර්ෂයන් පැවතුණේ වෙනස්‌ අයුරකිනුයි. ක්‍රමවේද දෙකක්‌ පළාත් සභාවලට මුදල් වෙන්කිරීම පිළිබඳ පසුගිය අයවැයවලදී සිදු වුණා. ගමට වගකියන මන්ත්‍රීවරයකු බිහිකර දූෂිත මනාප ක්‍රමය ඉවත් කිරීමට ජනපති අගමැති පොරොන්දු වුණා. පළාත් පාලන ඡන්දයේදීවත් එය කර ගැනීමට නොහැකි නම් අපි අසාර්ථකයි. සීමා නිර්ණය කිරීම සම්බන්ධයෙන් අභියාචනා 500 ක්‌ ඇවිත් තිබෙනවා. ඒ සියල්ල එකඟතාවයෙන් විසඳීමට කටයුතු කරනවා. කාන්තා නියෝජනය පළාත් පාලන ආයතනවලදී 1/3 ක්‌ බවට පත් කරනවා. කුණු ප්‍රශ්නය විසඳීම සඳහා පළාත් පාලන ආයතන 108 ක්‌ සමඟ කටයුතු කරනවා.

දිවා විවේකයෙන් පසුව නියෝජ්‍ය කාරක සභාපති එස්‌. අඩෙක්‌කලනාදන් මහතාගේ මුලසුනින් යුතුව සභාව රැස්‌විය.

පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ) - දිවි නැඟුම අද අභියෝගයක්‌ බවට පත්වෙලා. දිවි නැඟුම බැංකුවල නිලධාරීන් හිඟයි. නිලධාරීන් හිඟය සහ තාක්‍ෂණය ප්‍රමාණවත් නොවීමෙන් ප්‍රතිලාභීන්ට නොයෙක්‌ අපහසුතා විඳින්න සිදුවෙලා. දිවි නැගුම සමාජ ආරක්‌ෂණ අරමුදල මගින් මොනවද කළේ? සමෘද්ධිලාභීන් ගැන හැමදාම සමීක්‌ෂණ සිදු වෙනව. මෙහෙම සමීක්‌ෂණ කරලා ලබාගත් ප්‍රතිඵලය කුමක්‌ද?

ඇමැති එස්‌. බී. දිසානායක මහතා - පසුගිය සමීක්‍ෂණවල බරපතළ වැරැදි සිදුවී තිබෙනවා. ඒවා නිවැරැදි කර ගන්නැයි මේ සමීක්‍ෂණ සිදු කරන්නේ.

හඳුන්නෙත්ති මහතා - ඒ සමීක්‌ෂණය වැරදි නම් රුපියල් අසූ ලක්‌ෂයක්‌ ඒ සඳහා වියදම් වුණා නම් දැන් සමීක්‌ෂණය කළ යුතAතේ ඒ වැරදි සමීක්‌ෂණය පිළිබඳවයි. රන්ජන් නියෝජ්‍ය ඇමැතිතුමාටත් මං කියන්නේ තමන්ගේ අමාත්‍යාංශයේ දේවල් පිළිබඳව සොයා බලන්න. අනුන්ගේ අමාත්‍යාංශවල වැරදි හොයනවාට වඩා එය වැදගත්. මේ අමාත්‍යාංශය ඉතා ප්‍රබල විදිහට දේශපාලනීකරණය වී තිබූ අමාත්‍යාංශයක්‌. දිවි නැඟුම දෙපාර්තමේන්තුවත් එලෙසමයි.

සමාජ සවිබල ගැන්වීමේ හා සමාජ සේවා සුබසාධක නියෝජ්‍ය ඇමැති රන්ජන්රාමනායක මහතා. - හඳුන්නෙත්ති මහතා සහ මම හොරු අල්ලන්න යෑයි කියමින් නිතර අල්ලස්‌ කොමිසමට යන දෙදෙනෙක්‌. බැසිල් රාජපක්‌ෂ ඇමැතිවරයාට විරුද්ධව මුලින්ම අල්ලස්‌ කොමිසම හමුවට ගියේ මේ රන්ජන් රාමනායක බව අමතක කරන්න එපා. තමා කුස පිරෙන්ට කෑවට පසුව කන ඉතිරි හැම දෙයක්‌ම අනුන්ගේ. රටේ දේශපාලනඥයන් කළෙත් මේ දෙයයි. තමන්ට පුළුවන් තරම් ගොඩගහ ගත්තා. දුප්පතුන්ගේ දේවල්ද උදුරා ගත්තා. එස්‌ බී. ඇමැතිතුමා සහ මා අතර හොඳ එකතුවීමක්‌ තිබෙනවා. ඇතැමුන් ඒ පිළිබඳව බොරු ප්‍රචාර කලත් අපේ සුසංයෝගය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. සමෘද්ධිය නොලැබිය යුතු සියයට 30 ක්‌ දෙනා සමෘද්ධිය ලබනවා. අපි ඒ අයව හඳුනාගෙන ඔවුන්ව ඉවත් කරනවා. ඒ වගේම හිටපු ඇමැතිවරයා සමෘද්ධිය මුවාවෙන් සිදු කළ සියලු ගසාකෑම් අධිකරණය වෙත යොමු කරනවා.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා (එජනිස) -පළාත් පාලන ආයතන සඳහා වෙන් කළ මුදල ගිය වසරට වඩා බිලියන 61 කින් අඩු කරලා. ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේක කුමන්ත්‍රණයක්‌. කසළ ප්‍රශ්නයට මුදල් වෙන්කර නැහැ.

මාතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා (එජාප) -විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් වැඩි අවධානයක්‌ යොමු කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෙරෙහිත් විශේෂ අවධානය යොමු කළ යුතුයි. නැත්නම් ඉදිරියේදී මෙය රටට ප්‍රබල අභියෝගයක්‌ වේවි.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා (එජනිස) - පළාත් පාලන ආයතනවල ස්‌වර්ණමය යුගය තිබුණේ පසුගිය රජය කාලයේදීයි. කොළඹ සුන්දර කළේ අපේ රජය යටතේයි. ගසාකෑම් ගැන දැන් කතා කරලා වැඩක්‌ නැහැ. රාජපක්‌ෂවරු කළ වැරදි වගේම ප්‍රේමදාස, ඡේ.ආර්ලා කළ වැරදිත් තිබෙනවා. පුළුවන් නම් ඒ ගැනත් කතා කරන්න.

අගමැති -මේ පක්‌ෂවලට කාලය බෙදලා තිබෙනවා. තමන්ගේ වෙලාව සන්ධානයෙන් ඉල්ලා ගන්න. අපි වෙලාව බෙදා දුන්නාට පසුව ඒ ගැන කියන්න එන්න එපා. කතාවේදී එක වචනයක්‌ කිව්වෙ නැහැ මෛත්‍රීපාල ජනාධිපති ගැන. කොහෙන් වැටුණු එක්‌ කෙනෙක්‌ද දන්නේ නැහැ ඒ කතා කළේ. මම මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවත් ආශ්‍රය කරලා තිබෙනවා. ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා නොදන්න දේවල් ගැන කතා කරනවා.

මේ දියවන්නා ඔය ආශ්‍රයෙන් පාර්ලිමේන්තුව හැදුවේ ඡේ.ආර්. ජනාධිපතිතුමායි. ප්‍රෙAමදාස ජනාධිපතිතුමා ලක්‌ෂ ගණන් ගෙවල් හදලා දුන්නා. ඒ අයට හොරකම් කරන්න වුවමනාවක්‌ නැහැ.

ඡේ.ආර්. ජනාධිපතිතුමායි. ස්‌තුතිවන්ත වෙන්නටයි ගම්පහ දියුණු වුණේ.

ලකී ජයවර්ධන මහතා මුලසුනට පැමිණියේය.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එජාප)-මේ අයට සන්ධානයේ ඉන්නත් ඕනා. විපක්‌ෂයේ ඉන්නන් ඕන. එක්‌කො සන්ධානයේ ඉන්න. එක්‌කො විපක්‌ෂයේ ඉන්න. කොන්ද පණ ඇති සරල තීරණයක්‌ ගන්නා.

එක කකුලක්‌ එක තැනක. අනෙක්‌ කකුල තව තැනක. මේ දියවන්නාව ප්‍රාදේශීය සභාවක්‌ කරගන්න එපා. සමෘද්ධියේ හිරවෙන්නෙ නැතිව සමෘද්ධියෙන් එගොඩවෙන්න කොහොමද කියන තත්ත්වයට එම ප්‍රතිලාභීන් හැඩ ගැස්‌විය යුතුයි.

නැවත පදිංචි කිරීමේ රාජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා මහතා - යුද්ධයෙන් විපතට පත් ජනතාව ගැන අපි විශේෂ අවධානය යොමු කළ යුතුයි. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් අපිට සමාජයෙන් කොන් කරන්න බැහැ.

රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී හේෂා විතානගේ මහතා (එජාප) -දිවි නැඟුම සහ සමෘද්ධි පිළිබඳ හිටපු ඇමැතිවරයා අත්තනෝමතිකව කටයුතු කළා. පාක්‌ෂිකයන්ට පමණක්‌ සියලු වරප්‍රසාද දුන්නා. ඒ ඇමැතිවරයාගේ ගෝල බාලයෝ අද පාර්ලිමේන්තුවට ඇවිත් කුමන්ත්‍රණ කරනවා. ඔවුන්ට වෙන කරන්න දෙයක්‌ නැහැ. අද යහපාලන ආණ්‌ඩුවක්‌ තිබෙන්නේ. සමෘද්ධි අමාත්‍යාංශය එස්‌. බී. ඇමැතිතුමා යටතට පවරා තිබෙනවා. ඔහු දක්‌ෂ ඇමැතිවරයෙක්‌.

රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ජානක වක්‌කුඹුර මහතා (එජනිස) -සමෘද්ධි දීමනාව හිමි වූ සියලු දෙනා මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුවට ඡන්දය දුන් අය කියලා හිතන්න එපා. අපි පක්‌ෂ පාට භේදයෙන් තොරව සමෘද්ධි දුන්නා. අහිංසක මිනිසුන්ගේ සමෘද්ධිය නැති නොකරන්න කියලා ඉල්ලා සිටිනවා.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ඉඳුනිල් අමරසේන මහතා (එජාප) -එදා මේ සමෘද්ධිය හිඟන්නන්ගේ තුවාලය ලෙස භාවිත කළා. එය දේශපාලනීකරණය වී තිබුණා.

මාතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නිරෝෂන් ප්‍රෙAමරත්න මහතා (එජනිස) -සමෘද්ධි ව්‍යාපාරයේ මුදල් බිලියන 17 ක්‌ වෙනත් ව්‍යාපෘතියකට යොදවන්න සූදානමක්‌ තිබෙන බවට ආරංචියක්‌ තිබෙනවා. සමෘද්ධි බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා ඒකාබද්ධ කිරීමට කටයුතු කෙරෙනවාද කියලා දැන ගන්න අවශ්‍යයි. රණසිංහ ප්‍රෙAමදාස මහතාගෙන් පසුව එජාපය තුන්වැනි පන්තිය ගැන හිතුවේ නැහැ.

ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතා - ජාතික ව්‍යාපාරයක්‌ ලෙස සමාද්ධි සංගම් හදලා මඟුලට, අවමඟුලට මුදල් ආධාර ලබාදෙන්න ගම තුළ අති විශාල මුදලක්‌ සංසරණය වුණා. ග්‍රාමීය ප්‍රජා මූල සංවිධාන, වකුගඩු රෝග නිවාරණය, දිවි නැඟුම වැඩසටහන් මේ යටතට අද ඒකාබද්ධ වී තිබෙනවා.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.