පෞද්ගලික පන්තිවලට යන බව කියා
මාතර නගරයේ කාමරවලට දරුවෝ රිංගනවා


ලුණුගම්වෙහෙර - තලල්ලේ ප්‍රඥරත්න විදානගමාච්චි

මාතර නගරයේ පවත්වාගෙන යන පෞද්ගලික පන්ති සඳහා පැමිණෙන තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිසා මාතර අවට පෞද්ගලික කාමර බදු දෙන්නන්ට සහ ත්‍රී රෝද රථ හිමියනට මෙන්ම චිත්‍රපට ශාලාවලටද විශාල ආදායම් මාර්ගයක්‌ උත්පාදනය වී ඇත.

මේ තත්ත්වය නිසා රජයේ ලියාපදිංචි කර ඇති සංචාරක නිවාස, සංචාරක හෝටල්වලද ආදායම් මාර්ග පහත බැස ඇත.

පෞද්ගලික පංති සඳහා පැමිණෙන තරුණ පිරිස්‌ නිසා මාතර නගරය සහ ඒ අවට පෞද්ගලික කාමර බදු දෙන අයටද විශාල ආදායම් මාර්ගයක්‌ උත්පාදනය වී ඇත.

පෞද්ගලික පන්ති සඳහා යෑයි ප්‍රකාශ කරමින් නිවෙස්‌වලින් පිටත්වන අති විශාල ශිෂ්‍ය පිරිසක්‌ කුලියට දෙන කාමර තුළ පමණක්‌ නොව මාතර මුහුදු තීරය දිගටම කුඩවලින් මුහුණ වසා ගෙන අශෝභන ලෙස හැසිරීම නිසා ඒ අසලින් ධාවනය කරනු ලබන වාහනවල ගමන් ගන්නා කුඩා දරුවන්ගේ පවා අවධානය ඒ සඳහා යොමු වීමද ඉතා දුක්‌ත කරුණක්‌ වී ඇත.

මාතර නගරයේ පවත්වාගෙන යන චිත්‍රපට ශාලා හිමියන්ටද මෙම තරුණ පිරිස්‌වල පැමිණීම නිසා අලාභයක්‌ නොවී චිත්‍රපට ශාලා පවත්වාගෙන යාමටද හැකියාව ලැබී ඇත.

පෞද්ගලික උපකාරක පන්තිවල ඉගෙනීම කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාසය ආරම්භයේදීම එම පංති සඳහා මුදල් ගෙවීම් සිදුකරන බැවින් එම සිසුන්ගේ පන්තිවලට සහභාගි නොවීමේ අවස්‌ථා ගැන එම ගුරුවරුන්ද පසුවිමසීම් නොකිරීමද මෙම සිසුන්ගේ වාසියට යෙදී ඇත.

මාතර මුහුදු තීරය පුරා මෙසේ ගැවසෙන තරුණ පිරිස්‌ පොලිසිය මගින් රැගෙන ගොස්‌ එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් ගෙන්වා මේ ගැන දැනුම් දීම් කීප වතාවක්‌ම සිදුකර ඇතත් මේ වනතෙක්‌ එයින් නියම ප්‍රතිඵල අත්වී නැත.

මෙම මුහුදු තීරයේ කුඩයෙන් මුහුණ වසාගෙන වෙරළ පරිශ්‍රය අවලස්‌සන සහ අපිරිසිදු කරන එම තරුණ පිරිස්‌ පොලිස්‌ අත්අඩංගුවට ගැනීමට සමහර දේශපාලනඥයන් විරෝධය පළ කිරීම නිසා පොලිස්‌ පරීක්‍ෂණයන්ද නතර කිරිමට සමහර අවස්‌ථාවලදී පොලිස්‌ නිලධාරීන්ටද සිදුවී ඇත.

කෙසේ වෙතත් විශේෂයෙන්ම මාතර වෙරළ තීරයේ ඉතාමත්ම අශෝභන ලෙස හැසිරෙන පිරිස්‌ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් මුහුදු තීරයේ සෙල්ලම් කරන කුඩා දරුවනටද විශාල යහපතක්‌ වන බවද ප්‍රදේශවාසීහු පවසති.

මෙසේ හැසිරෙන උපකාරක පන්ති සිසු සිසුවියන් උපකාරක පන්ති අවසන් වන කාල වේලාව අනුව නැවත තම නිවෙස්‌ කරා යැමටද පුරුදු පුහුණු වී ඇත.

දෙමාපියන් මෙයට වඩා උනන්දුවෙන් උපකාරක පන්තිවලට යන දරුවන් ගැන සොයා බැලිය යුතුව ඇතැයිද ප්‍රදේශවාසීහු පවසති.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.