යාල අභය භූමියේ පෞද්ගලික
ඉදිකිරීම වහාම නතර කරන්න

අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්‌

ලුණුගම්වෙහෙර - තලල්ලේ ප්‍රඥරත්න විදානගමාච්චි

"යාල ජාතික වනෝද්‍යානයේ ඉදිකිරීමට වනජීවියෙන් රුපියල් මිලියන 500 "වනය වනසන්නදැයි පරිසර සංවිධානවලට සැකයක්‌" යනුවෙන් 2015 සැප්තැම්බර් මස 01 දා "දිවයින" පත්‍රයේ පළවීමෙන් පසු ඒ ගැන සැලකිල්ල යොමුකර ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යාල අභයභූමිය ආශ්‍රිතව ඉදිවෙමින් පවතින සියලුම පෞද්ගලික අංශයේ හෝටල් ඉදිකිරීම වහාම නතර කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස්‌ ලබාදී ඇත්තේ දකුණු ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දක්‍ෂිණ ලංකා සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කොග්ගල සංචාරක නිකේතනයේදී දකුණු පළාත් මැති ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සමග පැවැති රැස්‌වීමකදීය.

යාල සංචාරක කලාපය තුළ ව්‍යාපෘති හතක්‌ ක්‍රියාත්මක කිරීමට අවසර ඉල්ලා ඇතත් ස්‌ථීර වශයෙන් අවසර දී ඇත්තේ ව්‍යාපෘති තුනකට බව ද මේ වන විට ඉන් හෝටලයක වැඩකටයුතු අවසන් අදියරේ පවතින බවද ඉතිරි ඉදිකිරීම් මෙතෙක්‌ ආරම්භ වී නොමැති බවත් සංචාරක මණ්‌ඩලයේ නිලධාරීහු පැවසූහ.

ඒ අනුව අවසන් අදියරේ පවතින හෝටලය ඉදිකිරීමට ඉඩදෙන ලෙසත් ඉතිරි ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා සංචාරක මණ්‌ඩලයේ නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.