ජාත්‍යන්තර තරග ඉසව්වල පෙරහැරේ
යන්නන් වෙනුවට කොටන් අදින්නන්ට අවස්‌ථාව

ජාතික ඔලිම්පික්‌ කමිටු තීරණයක්‌

ඉන්ද්‍රජිත් සුබසිංහ

මින් ඉදිරියට ජාතික ඔලිම්පික්‌ කමිටුව මගින් සම්බන්ධීකරණය කෙරෙන ජාත්‍යන්තර ඉසව් සඳහා ශ්‍රී ලංකාවේ නියෝජනය ලබාදීමේදී, ක්‍රීඩකයා හැරුණු විට මීළඟ ප්‍රමුඛත්වය ලබාදෙනුයේ ක්‍රීඩකයාගේ දක්‍ෂතාව සම්බන්ධයෙන් වැඩිම බලපෑමක්‌ කළ හැකි තැනැත්තා හෙවත් පුහුණුකරුවාට යෑයි, ජාතික ඔලිම්පික්‌ කමිටු ලේකම් මැක්‌ස්‌වෙල් ද සිල්වා මහතා පවසයි.

ලබන වසරේ පැවැත්වෙන රියෝ ඔලිම්පික්‌ උළෙලේ ශ්‍රී ලංකා මාධ්‍ය නියෝජනය සම්බන්ධයෙන් ඊයේ ඔලිම්පික්‌ නිවසේදී පැවැති දැනුවත් කිරීමකදී මෙම අදහස්‌ දැක්‌වූ ඔලිම්පික්‌ කමිටු ලේකම්වරයා, රියෝ ඔලිම්පික්‌ උළෙලේ ශ්‍රී ලංකා නියෝජනය මේ ප්‍රමුඛත්වය අනුව සැකසෙන බව අවධාරණය කළේය.

ඒ අනුව ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලීන්හිදී, අදාළ ක්‍රීඩා සංගමයේ මුල් පුටු දරන්නන් හෝ ක්‍රීඩකයාගේ ක්‍රීඩා දක්‍ෂතාව සඳහා සෘජු සහයක්‌ ලබාදිය නොහැකි අනෙක්‌ උදවිය සඳහා පුමුඛත්වය දීමේ සම්ප්‍රදාය වෙනස්‌ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩා නියෝජනයට උපරිම සහය ලැබෙන ක්‍රමවේදයක්‌ සකසන බව ඔහු පවසා සිටියේය.

මෙවැනි ක්‍රමවේදයක්‌ සැකසීමේදී යම්කිසි විවේචන සහ බලපෑම් එල්ලවිය හැකි වුවත්, මෙරට ක්‍රීඩාව ජාත්‍යන්තරයේදී ප්‍රතිඵලදායක නියෝජනයක්‌ වෙත ගෙන යැම සඳහා අපහසුවෙන් හෝ එවැනි තීරණ ගතයුතු යෑයි මැක්‌ස්‌වෙල් මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම ජාත්‍යන්තර තරගාවලියක්‌ ක්‍රියාත්මකවීමේදී වෛද්‍යවරයාට වඩා භෞත චිකිත්සකවරයාගේ වැඩි යෙදීමක්‌ ඇති බවත් ඒ අනුව ඉදිරියේදී ජාතික ඔලිම්පික්‌ කමිටුවේ මැදිහත්වීම ලබන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම තේරීමේදී භෞත චිකිත්සකවරයාට වැඩි අවස්‌ථාවක්‌ හිමිකරදීමට කටයුතු කළ යුතුය යන්න, ජාතික ඔලිම්පික්‌ කමිටුවේ මතය යෑයි ඒ මහතා මෙහිදී පවසන ලදී.

සිය පුහුණුකරුවා වෙනුවට අදාළ ක්‍රීඩාවේ වෙනත් නිලධාරීන් සහභාගීවීම හේතුවෙන් තරග අවස්‌ථාවේදී විශේෂ සහයක්‌ ලබාගැනීමට නොහැකිව ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාගත හැකිව තිබූ ජාත්‍යන්තර ජයග්‍රහණ ගිලිහී ගිය අවස්‌ථා පිළිබඳවද මෙහිදී ඔලිම්පික්‌ කමිටු ලේකම්වරයා සිය මතකය අවදිකර සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.