කායවර්ධන සම්මේලනය තුළ කැරැල්ලක්‌

චමිල කරවිට

ක්‍රීඩා පනතට අනුකූලව කායවර්ධන සම්මේලන ව්‍යවස්‌ථාව සකස්‌ කළද අදාළ නීති රීති වත්මන් කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලන සභාපතිවරයා සහ ලේකම්වරයා විසින්ම උල්ලංඝනය කරමින් කටයුතු කරන සෘජුවම චෝදනා එල්ල වී තිබේ.

කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලන මහ සභා රැස්‌වීම ඉකුත් සති අන්තයේදී පැවැති අතර එහිදී කරුණු කිහිපයක්‌ මුල් කොට වත්මන් සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ ක්‍රියා කලාප ක්‍රීඩා සමාජ නිලධාරීන් විසින් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්‌කර තිබේ.

මෙහිදී වත්මන් ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන හේමාල් ඩයස්‌ මහතා, එම තනතුරට පත්කර ගැනීමට කටයුතු යොදන ලද්දේ ගණ පූර්ණයක්‌ නොමැතිව වන බව මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වී තිබෙන බව සඳහන් වේ. අදාළ පත්කර ගැනීමේදී මව් සම්මේලනයේ ලියාපදිංචි නිල ක්‍රීඩා සමාජ නිලධාරීන් වන චින්තක රංගජීව, රනිල් පෙරේරා සහ ලේකම් ධුරය සඳහා ඉදිරිපත් වූ සිසිලසිරි සෝමපාල යන මහත්වරුගෙන් එල්ල වුණු විරෝධතාවයන් නොසලකා වීමද විශේෂත්වයක්‌ වී තිබේ.

එමෙන්ම ඉකුත් නොවැම්බර් මස 15 වැනි දින කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයට කිසිසේත්ම සම්බන්ධයක්‌ නැති වෙනත් ව්‍යායාම මධ්‍යස්‌ථාන සංවිධානයක්‌ සමග එකතුව ක්‍රීඩා සමාජවලින් මුදල් එකතු කිරීමට ආධාර අනුබල දීම වත්මන් සම්මේලන ලේකම්වරයාට එල්ල වී ඇති තවත් බරපතලම චෝදනාවක්‌ වේ.

විකල්ප සංවිධානයක්‌ මැදිහත්ව සිය ක්‍රීඩා සමාජ වලින් මුදල් එකතු කළේය යන්න යාපනය ප්‍රදේශයේ ක්‍රීඩා සමාජවල නිලධාරීන් කීප දෙනෙකුම වත්මන් ලේකම්වරයාට ඇඟිල්ල දිගු කර සිටීමත් සමග අදාළ මහ සභා රැස්‌වීමේදී ලේකම්වරයා නිරුත්තරව සිටි බවද කියෑවේ.

කායවර්ධන නිලධාරියෙකුව සිටියදී ක්‍රීඩා අමාත්‍යාංශයේ තහනමකට ලක්‌ව සිටින අයෙකු ලෙස සැලකෙන චන්දන අලුත්ගේ යන අය සමග අදාළ විකල්ප සංවිධානය පිහිටුවා තිබෙන බවත්, එහිදී යාපනය දිස්‌ත්‍රික්‌කයේ ක්‍රීඩා සමාජයකින් රු. 3,500 බැගින් මුදල් එකතු කිරීමට ලේකම්වරයා අනුබල දී තිබීම බරපතල වරදක්‌ බව මෙම මහ සභා රැස්‌වීමේදී සාක්‌ෂි සහිතවම පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් මේ සබැඳිව ඉදිරියේදී ලේකම්වරයාට එරෙහිව විනයානුකූල පියවරක්‌ නොගත හොත් තමන් ඔහුට එරෙහිව විරෝධතාවයක්‌ ආරම්භ කිරීමට කටයුතු යොදන බව එම පිරිස සඳහන් කර සිටිති.

කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ව්‍යවස්‌ථාවට අනුව ලේකම්වරයාට හිමි වගකීම හෝ කාර්ය භාරය කුමක්‌ද යන්න පවා නොදැන කටයුතු කිරීම සම්බන්ධව ලේකම්වරයාට ක්‍රීඩා සමාජ බහුතරයකගේම දැඩි විරෝධයක්‌ මෙන්ම අප්‍රසාදයක්‌ එල්ල වී තිබුණද එම නිලධාරියා ආරක්‍ෂා කිරීමේ සූක්‌ෂ්ම වැඩපිළිවෙළක්‌ වත්මන් සභාපතිවරයා විසින් සිදු කරමින් සිටින්නේ යන්න මෙහිදී ඔහුටද චෝදනා එල්ල වී තිබේ.

මේ පිළිබඳව 'දිවයින' හමුවේ අදහස්‌ දක්‌වා සිටි කායවර්ධන සම්මේලනයට සම්බන්ධ නිලධාරියෙක්‌, ''දශක 3 කට අධික කාලයක්‌ පුරා යුද්ධයෙන් පීඩා විඳි අපි ක්‍රීඩාව දියුණුවට කටයුතු කරමින් සිටින අවධියක මේ වගේ ජාවාරම් සිදු කිරීම කිසි විටෙකත් අනුමත කරන්න බැහැ. විශේෂයෙන් ක්‍රීඩාවේ සංහිඳියාව තුළින් උතුරු සහ දකුණ වඩාත් සාර්ථක ලෙස යා කළ හැකි විදියේ වැඩපිළිවෙළක්‌ රජය විසින් කරගෙන යන අවස්‌ථාවකදී. කොහොම වුණත් මේ ගැන සම්මේලන නිලධාරීන් පියවරක්‌ ගන්නේ නැතිනම් ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.