මහජන බැංකුවට තෙවන කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵලයක්‌

* වාර්ෂිකව බදුවලට පෙර ලාභයේ 8.5%ක වර්ධනයක්‌
* වාර්ෂිකව බදුවලට පසු ලාභයේ 7.5%ක වර්ධනයක්‌
* කාර්තුවකදී මහජන බැංකුව විදහා පෑ හොඳම ප්‍රතිඵල

රු. ටි්‍රලියන 1ක ශේෂ පත්‍රයක්‌ පමණක්‌ නොව, ගෝලීය සම්භාවනාවන් ගණනාවක්‌ රැස්‌කර ගනිමින් ඉතා ඉහළ වර්ධනයක්‌ සහිතව 2014 වසර අවසන් කළ මහජන බැංකුවේ තුන් වන කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ 2015 අවසන් වන විට එය සාර්ථක වසරක නිමාව දකින බවයි.

එදා මෙදාතුර තුන් වන කාර්තුවකදී ලද හොඳම ප්‍රතිඵල අත්කරගෙන සිටින මහජන බැංකුවේ සියලු ප්‍රධාන කාර්ය සාධන දර්ශක ස්‌ථාවර වර්ධන මට්‌ටමක්‌ පෙන්නුම් කිරීම මහජන බැංකුව සිය ස්‌ථාවරත්වය, ශක්‌තිමත් බව සහ තිරසර භාවය අඛණ්‌ඩව පවත්වා ගෙනයැම සඳහා කරන කැපවීම පිළිබඳ සාක්‌ෂියකි.

එබැවින් මහජන බැංකුවේ තුන්වන කාර්තුවේ බදුවලට පෙර ලාභය රු. බිලියන 12.5ක්‌ වෙමින් අත්කර ගෙන තිබෙන 8.5%ක වර්ධනය පසුගිය වසරේ මෙම කාල පරිච්ඡේදය අවසානයේ තිබූ රු. බිලියන 11.5ක ලාභය ඉක්‌මවා යන්නකි.

එමෙන්ම පසුගිය වසරේ පැවති රු. බිලියන 8.3 ඉක්‌ම යමින් බදුවලට පසු ලාභයද 7.5%ක වාර්ෂික වර්ධනයක්‌ අත්කර ගත් අතර එහි ලාභදායකත්වය රු. බිලියන 8.9ක්‌ වේ.

මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා මෙම ජයග්‍රාහී ප්‍රතිඵල පිළිබඳව කියා සිටියේ, බැංකුවේ සාර්ථකත්වයට පදනම වූයේ බැංකුව ගනුදෙනුකරුවන්ගේ සිතුම් පැතුම් මනා ලෙස හඳුනාගනිමින් ලබාදෙන සේවාව බවයි. ශේෂ පත්‍රයේ ගමන් මග අති සාර්ථක ඉහළ වර්ධනයක්‌ අත්කර ගනිමින් රු. ටි්‍රලියන 1.1ක්‌ කරා ළඟාවී තිබෙනවා. එයින් පෙන්නුම් කෙරෙන්නේ අප සතු ශූරත්වය හා අප අඛණ්‌ඩව පවත්වාගෙනවිත් තිබෙන මූල්‍ය ස්‌ථාවරත්වයයි. පසුගිය වසරේ රු. බිලියන 15.3ක්‌ වූ බදුවලට පෙර ලාභය රු. බිලියන 16.9ක්‌ දක්‌වා ඉහළ නංවමින් අපේ සමූහය විශිෂ්ට ආකාරයෙන් කටයුතු කර තිබෙන බව කිව යුතුයි. එමගින් යළි යළිත් කියෑවෙන්නේ අප අපගේ සමුහය තුළ ව්‍යාපාර ගැන ඉතා තීක්‍ෂණ කතිකාවක යෙදෙන බව සහ එම කතිකාව තිරසර වූවක්‌ හා සාර්ව ආර්ථික දර්ශක සමග මැනවින් පෙළ ගැසුනක්‌ බවයි.

ශාඛා 740 කින් පමණ හා ලංකා පේ ජාලයත් සමග සම්බන්ධ වූ 2,500කට වැඩි ස්‌වයංක්‍රිය ටෙලර් ජාලයෙන් සහ ගනුදෙනුකාර සේවාවන් නව මංපෙත් කරා රැගෙන යන මනා නායකත්වයකින් හෙබි කණ්‌ඩායමකින් සමන්විත වූත් රට පුරා සෑම ප්‍රදේශයකින්ම පාහේ ප්‍රවේශ විය හැකි හා සේවා සලසා ගත හැකි වූත් මහජන බැංකුවේ වැදගත්කම කොතරම්ද යත් එහි වේගවත් ගමන සමගින් එහි තැන්පතු සජිවීකරණයද අඛණ්‌ඩව සිදු වී ඇත. ඒ අනුව මුළු තැන්පතු ප්‍රමාණය 9.6%කින් වර්ධනය වී ඇත. ඒ අතර අඩු පිරිවැය තැන්පතු අනුපාතය 47.3%ක්‌ වූ දූරදර්ශී මට්‌ටමක රැඳී සිටි මුළු තැන්පතු ප්‍රමාණය රු. බිලියන 869.8 දක්‌වා ළඟාවී ඇත. මේ දක්‌වා රට තුළ පවත්නා විශාලතම ඉතිරි කිරීම් සංචිතය තුන් වන කාර්තුවේදී රු. බිලියන 363.3ක්‌ වූ සිත් ගන්නා සුලු මට්‌ටමක නැගී සිටී. 2014 දෙසැම්බර් සිට 2015 සැප්තැම්බර් දක්‌වා කාල පරිච්ඡේදය තුළදී ඉතිරි කිරීම් තැන්පතු 13.9%ක ප්‍රශංසනීය වර්ධනයක්‌ අත්කර ගෙන තිබේ.

අපට අපගේ ණය ආදායම වැඩිකර ගත හැකිවීමත් අඩු වියදම් තැන්පතු වැඩි වැඩියෙන්

රැස්‌කර ගත හැකිවීමත් නිසාවෙන් ව්‍යාපාරික වශයෙන් මේ සාර්ථකත්වය අත්කර ගැනීමට හැකි වුණේ. එම සාර්ථකත්වය අපට යහපත් ප්‍රතිඵල විදහාපෑමේ හැකියාව ලබාදුන් ධනාත්මක බලවේග අතරින් එකක්‌ බව නිසැක වශයෙන්ම කිව හැකි යෑයි මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි / සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතා පැහැදිලි කළේය. ඔහු තවදුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ ශුද්ධ පොලී ආදායමේ වර්ධනය පසුගිය වසරේ පැවති රු. බිලියන 19.9 සිට රු. බිලියන 32.4 දක්‌වා ඉහළ යමින් 62.5% මට්‌ටමටද ඒ අතර මුළු දළ ණය ආදායම රු. බිලියන 811.4 දක්‌වා 18.4% කින්ද වර්ධනය වී ඇති බවයි. වත්කම් මත ලාභය (බදුවලට පෙර) 1.5%ක්‌ ද ස්‌කන්ධය මත ප්‍රතිලාභය 25.7% ක්‌ද වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.