නිදන් හොරු
(සිමෙන්ති කණු ටිකක්‌ පමණක්‌ ඉතිරිවීමට පෙරය)

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයට අයත් අක්‌කර 582 ක ප්‍රමාණයකින් යුත් පුදබිම නිදන් හොරුන් විසින් විනාශ කරමින් සිටින බව පසුගිය දිනෙක වාර්තාවී තිබිණි. මිහින්තලා පුදබිම මිහිඳු මාහිමිපාණන් ප්‍රමුඛ මහරහතන් වහන්සේලාගේ පාදස්‌පර්ශය ලැබූ ඓතිහාසික වශයෙන් අතිශය වටිනා පුද බිමකි. එතරම් වටිනා තැනක්‌ විනාශකරන කවරෙකු වුව හොරු ලෙස හැඳින්වීමටත් වඩා ඉතිහාසය මත පහරන්නන් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය.

මේ නින්දිත පිරිස නිදන් හැරීම මෙන්ම මිහින්තලා අභයභූමිය තුළ වෙසෙන සතුන් දඩයම් කිරීම, ඓතිහාසික උරුමයක්‌ ලෙස සැලකිය හැකි ගල්ලෙන්, ගල්තලා විනාශ කිරීම, ඉතා වටිනා ගහ කොළ (ඖෂධීය පැළෑටි) විනාශ කිරීමද සිදුකරන බව වාර්තාවේ. කොටින්ම කිවහොත් සමස්‌ත වනයම විනාශ කර දැමීම මේ දෙපා ලද තිරිසනුන්ගේ වෑයම වී තිබේ.

වනාන්තරයේ ඇති ගල් ගුහා බොහෝමයක්‌ හාරා එහි ඇති පෞරාණික ගල් කණු පිටතට ඇද තිබේ. මේ සමහර ගල් ගුහාවල බ්‍රහ්මීය අක්‍ෂර ද කොටා ඇති බව නිරීක්‍ෂණය කළ හැකිය. කෙසේ හෝ ගම්වාසීන් පවසන පරිදි මෙරට ප්‍රථම විහාරස්‌ථානය, ලොව ප්‍රථම අභයභූමිය ලෙස සැලකෙන මිහින්තලාව රැක ගැනීම කෙරෙහි අදාළ අංශ දක්‌වන උනන්දුව ප්‍රමාණවත් නැත. මේ තක්‌කඩි වන සංහාරකයන් ඓතිහාසික මිහින්තලා පුද බිම විනාශ කර දමන්නේ ජංගම දුරකථන මාර්ගයෙන් පණිවුඩ හුවමාරුවේ යෙදෙමින්ය. ඒ නිසාම වන සංරක්‍ෂණ හා පොලිස්‌ ආරක්‍ෂක අංශ පැමිණෙද්දී වහා සැඟව යාමට තරම් උන් කපටිය.

රට පුරාම ඇති මෙවැනි පුරාවිද්‍යාත්මක හා පූජනීය වශයෙන් වැදගත් ස්‌ථාන නිදන් හැරීම පිණිස වනසා දැමීම අලුත් කතාවක්‌ නොවේ. අලුත් වන්නේ අදාළ ස්‌ථානයන් පමණි. 80 දශකයේ මැද භාගයේ සිටම මේ නිදන් පිස්‌සුව රටට බෝවූ වග අමුතුවෙන් මතක්‌ කළ යුතු නැත. මෙරට ඉතිහාසගත වටිනාකමකින් යුත් ස්‌ථාන විනාශ කර දැමීම් කොතරම් සිදු වුවද ඒවා රැක ගැනීමට තවමත් නිසි වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක නොවීම බරපතළ කාරණයකි. අදාළ වගකිවයුතු අංශ එදා සිට අද දක්‌වාම කියන්නේ ඒ සඳහා අදාළ නිලධාරීන්ගේ හිඟයක්‌ පවතින බවය. නැතහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් නැති බවය. මේ තත්ත්වය ආණ්‌ඩුවේ අවධානයට යොමුවිය යුත්තකි.

අවම වශයෙන් මේ "නිදන් වස්‌තු" කතාවෙහි ඇති යථාර්ථය ජනතාවට පැහැදිලි කරදීම ඉන් සිදුවිය යුත්තකි. සාමාන්‍යයෙන් නිදන් වස්‌තු ලෙස තැන්පත් කරනු ලබන බොහෝ දේට හිමිවන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ මිස වෙනත් කිසිවක්‌ නොවේ. පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති දේට මිලක්‌ නියම කිරීම අසීරු කාරණයකි. ප්‍රශ්නය වන්නේ නිදන් වස්‌තු හෑරීමට යෑයි ඉපැරණි වටිනාකමක්‌ ඇති පිළිම, දාගැබ්, වෙහෙර විහාර ඉවක්‌ බවක්‌ නොමැතිව විනාශ කර දැමීමය. බොහෝ තැන් විනාශ කර නිදන් වස්‌තු සොයා බැලුවද හමුවී ඇත්තේ මැටියෙන් තනන ලද බුද්ධ රූප වැනි දේය.

නිදන් වස්‌තු ගැනීමට යෑයි විනාශ කර දමනු ලබන බොහෝ පුරා විද්‍යාත්මක වටිනාකමක්‌ ඇති දේ නැවත පෙර තත්ත්වයට ගෙන ඒම පහසු කාරණයක්‌ නොවේ. අතීතයේ මැටියෙන් තැනු පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති දේ විනාශ කර දැමූ පසු ඒවා නැවත සිමෙන්තියෙන් තැනීම ප්‍රායෝගික නැත. එවැන්නකට පෙර තිබූ පුරා විද්‍යාත්මක වටිනාකමක්‌ද නැත.

මේ කාරණය නිසි ලෙස රටේ ජනතාවට (ජනතාව අතර සිටින නිදන් හොරුන්ට තේරෙන පරිදි) පැහැදිලි කර දීමේ වැඩපිළිවෙලක්‌ අදාළ වගකිවයුතු ආයතන කිසිවකටත් නැති බව පෙනෙන්නට තිබේ. අවම වශයෙන් පාසල් මට්‌ටමින් විශ්වවිද්‍යාල මට්‌ටමින් හෝ මේ දැනුවත් කිරීම් සිදුකළ යුතුයි. එමෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුත් ප්‍රදේශවල ඒ ඒ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්‌ථානවල ආරක්‍ෂාව හා සංරක්‍ෂණය සඳහා විධිමත් වැඩපිළිවෙලක්‌ සැකසිය යුතුය. ඒ ආසන්න ගම් ප්‍රදේශයේම පිරිස්‌ මේ කටයුතු සඳහා යොදා ගැනීම වඩාත් ප්‍රායෝගිකය. නිලධාරීන් නැතැයි කියන්නේ නම් යා යුත්තේ එවැනි වැඩපිළිවෙලකටය. පසුගිය කාලය පුරාම වාර්තා වුණේ නිදන් වස්‌තු හෑරීමට විවිධ ආරක්‍ෂක අංශවල හා පොලිsසියේම සමහර උදවිය සහභාගි වූ බවය. එවැන්නන්ට සහයෝගය දෙන ඓතිහාසික ස්‌ථානවල වගකීම ඇති උදවිය හඳුනා ගැනීමද සිදුවිය යුත්තකි. නොඑසේනම් සිදුවන්නේ සිමෙන්ති කණු ටිකක්‌ පමණක්‌ රටට ඉතිරිවීමය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.